මෙසේ මාගේ බෝධිසත්ත්‍වයෝ යශෝධරා දේවීන් ප්‍රධාන වූ මේ සතලිස් දහසක් නාටකස්ත්‍රීන් පිරිවරා මාණික්‍ය ශෝභාවෙන් දිලියෙන්නා වූ කනක ප්‍රාසාද බඳුවූ, පියරජහු කරවා දුන් තුන් ප්‍රාසාදයෙහි සුරඟනන් බඳු වරඟනන්ගේ මඳහස ලැසි බැල්මෙන් පින පිනා මහත් වූ රාජ්‍යශ්‍රී සම්පත් වීදුණා කල ඒ බෝසතාණෝ එක් දවසෙක උයන්කෙළි කෙළනා කැමතිව රථාචාර්‍ය්‍යයා කැඳවා මඟුල් රථය සරහා ලවයි කී දෑය. රථාචාර්‍ය්‍යයා ‘යහපතැ’යි ගිවිස උතුම් වූ රථයක් රථාලඞ්කාරයෙන් සරහා නෙළම්පත පැහැ ඇති මඞ්ගල අශ්වරාජයන් සතරදෙනකු යොදාලා බෝසතුන්ට දැන්වීය. බෝසතාණෝ දිව්‍යරථයක් වැනිවූ ඒ රථයට පැනනැගී මහ පෙළහරින් උයනට නික්මුණු සේක. ඒ කෙණෙහි දේවතාවෝ ‘සිද්ධාර්ථ කුමාරයන් බුදුවන කල් ආසන්නය, තපසට කාරණා දක්වම්හ’යි එක් දිව්‍යපුත්‍රයකු ජරා වෙනස් ගන්වා කඩ දත් ඇතිව. නර ඉස් ඇති වක ගසාගෙන දණ්ඩක් අතින් ගෙන වෙව්ල වෙව්ලා සිටියා සේ දක්වාලූහ. ඒ ජරාරූපය බෝසතුන් හා රථාචාර්‍ය්‍යයාට පෙනෙයි. සෙස්සවුන්ට නො පෙනෙයි බෝසතාණෝ “සබඳ රථාචාර්‍ය්‍යය! මේ කෙසේවූ රූපයෙක්දැ?”යි විචාළදෑය. ස්වාමීනි! මහළු මිනිසෙකැයි කීය. මොහු මේ උපන් සැටිම දැයි විචාළ දෑය. “නැත, ස්වාමීනි! පෙර අප සේම ළදරුය. දැන් දිරා ගියේ යැ”යි කීය. තවත් මෙසේ සත්හු ලොව ඇද්දැ?යි විචාළ දෑය, ස්වාමීනි! ඉතා සුලභ යැයි කීය. මටත් මේ ජරා රූපය ඇද්දැ?යි විචාළ දෑය. සියලු සතුන්ටම ඇතැයි දෙවියන්ගේ ආනුභාවයෙන් කීය.
ඉක්බිත්තෙන් බෝධිසත්ත්‍වයෝ “මේ මනුෂ්‍යාත්මය නම් මෙසේ අනිත්‍ය දෙයක් වනැයි මේ ජීවිතයට නින්දා වේව”යි කියා අනිත් ලකුණු උපදවා මෙසේවූ ජරා ඇති මට ක්‍රීඩාවෙන් කම් නැතැයි සසර කලකිරී නැවත ප්‍රාසාදයටම වන් දෑ ය. ශුද්ධෝදන රජ්ජුරුවෝ “කුමක් නිසා මපුතණුවෝ උයනට නො ගොස් නැවත අවුදැ”යි විචාරා ජරා රූපයක් දැක කලකිරී ආ සේකැයි අසා “එබඳු රුවක් දැක මහණ වෙතියි පෙරම ඇසීමි. කොල! මා නො නසව! වහා නළු වන්දි මපුතණුවන් ක්‍රීඩාවෙන් සතුටු කරවා මහණ වීමෙහි ලෝභය නැති සේ කරව” නියෝග කොට තව ද නුවර සතර දිගින් දෙගවු දෙගව්වේ රැකවල් ලැවූහ.
තවද සාරමසක් ගිය කල පෙර සේ ම උයන් කෙළියට යනදෑ දෙවියන් මවා පෑ කුෂ්ඨයෙන් පිරීගිය ශරීර ඇති, මහ සැළ සේ උදර ඇති, [1]වන්ඩු සා සීපද ඇති, ව්‍යාධිගත වූ රූපයක් දැක පෙර සේ ම රථාචාර්‍ය්‍යයා අතින් විචාරා එදා ද සසර කලකිරී නැවත මාලිගාවට ම වැඩිසේක. එ පවත් රජ්ජුරුවෝ අසා මහත් වූ ශෝක කොට නුවර සිසාරා තුන් තුන් ගව්වේ රැකවල් ලැවූහ.
නැවත ද සාරමසක් ගිය කල උයන් කෙළියට යන දෑ එදා ද දෙවියන් මවා පෑ, කට දල්වා ගෙන ඉදිම, නිල්ව ගිය ශරීර ඇති ව, නව දොරින් නික්මෙන පණුකැලන් විසින් ආකුල වූ මෘතරූපයක් දැක, එ දවස් ද පෙර සේ ම කලකිරී උයන්කෙළියට යන ගමන් හැර ප්‍රාසාදයටම නැගි දෑ ය. එ දවස් ද රජ්ජුරුවෝ විචාරා දොම්නස් ව තව ද නුවර සිසාරා සතර සතර ගව්වේ රැකවල් ලැවූහ.
-
වන්බිඩි. ↑