ඉක්බිත්තෙන් පිය මහරජ්ජුරුවෝ යශෝධරා දේවීන් පුතණුවන්ට අගමෙහෙසින් කරනු කැමැති ව උන්ගේ පියාණන් සුප්‍රබුද්ධ රජ්ජුරුවන්ට කියා යැවූහ. සුප්‍රබුද්ධ රජ්ජුරුවෝ කියන්නාහු “තමන් පුතණුවෝ සිද්ධාර්ථ කුමාරයෝ නො බෝ කලෙකින් මහණවනු සඳහා රජය හැර යෙත් ල. එ දවස් මාගේ දියණියෝ වැන්දඹු වෙති. මහණ නො වන රජක්හට පාවා දෙමි”යි කියා යවූහ. බෝධිසත්ත්‍වයෝ එ පවත් අසා “මහණත් වෙම් ම ය. යශෝධරාවන් මට පාවා නුදුනහොත් රාජ්‍යය මට නො කැමැත්තේ යැ”යි කියති. යශෝධරා දේවී ද “සිද්ධාර්ථ කුමාරයෝ සෙට මහණ වෙත් නමුත් සරණෙක රැකෙම් නම් උන් කෙරේ ම රැකෙම් ම යැ”යි කියති. ශුද්ධෝදන රජ්ජුරුවෝ මේ දෙදෙනාගේ පවත් අසා තමන් ශාක්‍යකුලයට අධිපති හෙයිනුත්, නැගනියන් වැදූ දියණියන් හෙයිනුත්, හිමිකම් බැණ ගිවිස්සා මහ පෙළහරින් මඟුල් කොට යශෝධරා දේවීන් ගෙන්වා රුවන් ගොඩක් පිට සිටුවා බෝධිසත්ත්‍වයන්ට අගමෙහෙසුන් කොට පාවා දී ත්‍රිශඞ්ඛයෙන් ම දෙදෙනා මුදුනෙහි අභිෂේක ජලය වත්කොට දෙදෙනා එක විට වොටුනු පලඳවා සියලු රාජ්‍යය ම පාවා දුන්හ.
තව ද රජ්ජුරුවෝ “එකෙකි කුලෙන් එකෙකි කුමරියක් මපුතණුවන්ට අන්තඃපුර කොට සරහා එවන්නේ යැ”යි සියලු ශාක්‍ය-කෝළිය නෑයන්ට කියා යැවූහ. ශාක්‍යයෝ එ තෙපුල් අසා “ඒ සිද්ධාර්ථකුමාරයෝ ඉතා සිවුමැලියෝ ය, ඉතා ළදරුවෝය, තව දක්වා ත් එක ද ශිල්පයකුත් නූගත්හ. මතු සංග්‍රාමයෙක් වී නම් කෙසේ ජය ගනිද්ද? අපගේ දරුවන් කෙසේ ඔහු පොෂ්‍යය කෙරෙද්ද? නිශ්ශිල්පී තැනැත්තන්ට අප දරුවන් නො දෙම්හ” යි කියා යවූහ.