ඉක්බිත්තෙන් ශුද්ධෝදන රජ්ජුරුවෝ බමුණන් ගෙන්වා “කෙසේ වූ පූර්වනිමිත්තක් දැක මපුතණුවෝ තපසට වලට යෙද්දැ”යි විචාළහ. බ්‍රාහ්මණයෝ කියන්නාහු “ආදි වාරයෙහි ජරා රූපයක් දකිති. දෙ වන වාරයෙහි ගිලන් රුවක් දකිති. තුන්වන වාරයෙහි මළ රුවන් දකිති. සතර වන වාරයෙහි මහණ රුවක් දැක රජය හැර ගොස් තුමූ ද මහණ වෙති”යි කීහ. රජ්ජුරුවෝ එ බස් අසා “එසේ වී නම් මපුතණුවන් බුදුවීමෙන් කම් නැත. බුදු වන දා වසවර්ති නම් මාරයෙක් යක්සෙන් ගෙන දිව ඒ ල. මුළු තුන්ලොව ම ඒ යක්‍ෂයා දැක නො බා සිටිනා එක ද සත්ත්‍වෙයක් නැත් ල. මපුතණුවන්ට එ දා ඔහුගෙන් උපද්‍රවයෙක් වී නම් නපුර. චක්‍රවර්ති වූ නම් මේ මුළු සක්වළට නායක වූ සතර මහ දිවයින ආකාශයෙන් ඇවිදිති. මපුතණුවන්ගේ චක්‍රවර්ති සම්පත් දක්නා කැමැත්තෙමි. මෙ තැන් පටන් නර ඇති එකකුත් මපුතණුවන් දැක්ක නො දෙව. ව්‍යාධිගත එකකුත් ළංවිය නො දෙව. මළ රුවකු ත් දැක්ක නො දෙව. මහණ රුවකුත් දැක්ක නො දෙව”යි නියෝග කොට නුවරට සතර දිග ගවු හමුවේ රකවල් ලවා පුතණුවන් කාමබන්‍ධනයෙන් බඳිමි යි සිතා හිමත් - ගිමන් - වසන් යන තුන් සෘතුවට සුදුසු වූ තුන්පායක් කරවා දුන්හ. එයින් එක් පායෙක් නව මල. එක් පායෙක් සත් මහල. එක් පායෙක් පස් මහල. තුන් පාය ම උස හා මහත එක සමය. ඒ ඒ සෘතුවට සුදුසු වන සේ මාල් භෙද විය.