එ කල මාගේ ශ්‍රී මහා බෝධිසත්ත්‍වයෝ ඇතුළෙහි කිසි කෙනකුනුත් නැති සේ දැක, යහනින් නැගී, පලක් බැඳ වැඩහිඳ, ආනාපානස්මෘති භාවනා කොට ප්‍රථමධ්‍යාන උපදවා, ධ්‍යාන සුවයෙන් උන්සේක. එවේලෙහි කිරිමවුන් ඇතුළට වැද පලක් බැඳ හුන් බෝසතාණන් දැක ඒ දඹගස ඡායාව ද පෙරවරු බස්නාහිරට නො ගොසින්, පස්වරු නැගෙනහිරට නො ගොසින් හැමවේලෙහි පිල්කුඩයක් සේ බෝසතුන් වසාගෙන සිටිනා ආශ්චර්‍ය්‍ය දැක එ කෙණෙහි රජ්ජුරුවන් කරා දිව දිව ගොස් ‘හිමි! තොපගේ මේ මගුල් තබා තොප පුතණුවන් සිද්ධාර්ථකුමාරයන්ගේ මගුලක් වහා බලව”යි කීහ.
රජ්ජුරුවෝ එ බස් අසා වප්මගුල් හැර දිව දිව අවුත් දඹගස ඡායා කිසි අතෙක නො ගොස් සිටිනා පරිදි ගස සිසාරා ඇවිද බලා විස්මය පත්ව ඇතුළට වැද ධර්‍මාසනයෙක වැඩහුන් මහ තෙර කෙනකුන් සේ, දිවි දලින් ඔප්නැගූ රන්පිළිමයක් සේ, පතුල්සුං පිට පතුල්සුං තබාගෙන අතුල්සුං පිට අතුල්සුං තබාගෙන දසදිග් නො බලා, ඇසිපිය නො මරා, නො සැලී, කරබාගෙන ප්‍රථමධ්‍යාන සුවයෙන් වැඩහුන් පස් මැසි වූ පුතණුවන් වහන්සේගේ පෙළහර බලා රජ්ජුරුවෝ පුතණුවන්ට ජීවිතය පුදාපියන්නා සේ මහමෙර සේ, පැන නැගී ප්‍රේමස්කන්‍ධය ධරාගත නො හෙන්නාහු සන්තෝෂ බාෂ්පයන් පවත්වා “පුතනුවනි! මේ කෙසේ වූ විසමයෙක් ද, දැන් ම නුඹ බුදු ව ගියේ ද, නුඹ මෑණියෝ මහාමායාදේවී අද ඇත්නම්, මේ පෙළහර දුටුවූ නම්, නුඹට තමන්ගේ ජීවිතය පුදා නො පියද්ද. මා එකලා වූ පියක්හට මෙසේ වූ සුරතල් කුමක් නිසා පානේ ද” යනාදීන් කිය කියා පුතණුවන්ගේ සිරි පතුල්සුං දෙක තමන් හිස්මුදුනෙහි තබා වැඳ, සන සනා මෙසේ දෙවන වාරයෙහි පිය මහ රජ්ජුරුවෝ මාගේ ම ස්වාමිදරු වූ, මාගේ ම ගුරු වූ, මාගේ ම මිත්‍ර වූ, මාගේ ම දෙවි වූ, මාගේ ම බඹ වූ, මාගේ ම ලෝක ස්වාමියාණන්ට නමස්කාර පූජා කළහ.
මෙසේ මාගේ බුදුරජාණෝ තමන් පස්මැසි අවස්ථාවෙහි ද ප්‍රාතිහාර්‍ය්‍ය දක්වා පිය මහ රජ්ජුරුවන් අතින් නමස්කාර පූජා ලත් හෙයිනුත්, මෙසේ වූ පූජා විඳීමට සුදුසු හෙයිනුත් අර්හත් නම් වන සේක.
ඉක්බිත්තෙන් මෙසේ මාගේ ශ්‍රි මහා බෝධිසත්ත්‍වයෝ ප්‍රථම මාස චන්‍ද්‍රයා සේ රූපශ්‍රීන් විරාජමාන ව වැඩී සත් හැවිරිදි ව ශක්‍ර දේවේන්‍ද්‍රයාගේ නියෝගයෙන් විශ්වකම්ම දිව්‍යපුත්‍රයා මවා දුන් ශීතල ජල සම්පූර්ණ වූ පස්පියුමෙන් සැදී සිටි රුවන්මය වූ මඟුල් පොකුණෙහි ජල ක්‍රීඩා කොට ක්‍රමයෙන් වැඩී සොළොස් හැවිරිදි වූ දෑ ය.