සිල් සමාදන්වීම

තමන්ගේ සිත පහදින සිල්වත් ගුණවත් සම්භාවනීය මහතෙර නමක් ලවා සිකපද කියවා ගෙන සිල් සමාදන් වීම ඉතා හොඳ ය. එබඳු කෙනකුන් නොලබන කල්හි කුඩා සාමණේර නමකගෙන් වුව ද සිල් සමාදන් විය යුතු ය. ශීලය සිල් සමාදන් කරවන භික්ෂූන් වහන්සේ වෙත තිබී ගිහියා වෙතට එන දෙයක් නොවේ. භික්ෂූන් වහන්සේ කරනුයේ ගුරුවරයකු වශයෙන් සිකපද කියවීම ය. ඒවා කියා ගැනීමෙන් ගිහියාට ශීලය ඇති වේ. ගිහියාට සිල් පිහිටීමට සිල් දෙන භික්ෂූන් වහන්සේ සිල්වත් වීම හෝ නොවීම කරුණක් නො වේ. එබැවින් සිල් දෙන භික්ෂුවට සිල් ඇති නැති බව සොයන්න නො යා යුතු ය. භික්ෂුවක් නැති කල්හි උපාසක කෙනකු ලවා සිකපද කියවා ගැනීමට ද සුදුසු ය. සිකපද කියවා සිල් සමාදන් කරවන කෙනකු නැති කල්හි තමා සිකපද දන්නේ නම් විහාරයකට හෝ චෛත්‍යයක් බෝධියක් සමීපයකට හෝ ගොස් තමා විසින් ම සිකපද කියා සමාදන් වීම ද සුදුසු ය. විහාරාදියක් නැති තැනක් වී නම් කොතැනක හෝ හිඳ තුනුරුවන් ගුණ සිහි කොට වැඳ තමා විසින් ම සිකපද කියා සමාදන් වීම ද සුදුසු ය.

උදේ හයට සිල් සමාදන් වීම අපහසු නම් හතට අටට වුවද සිල් සමාදන්වීම සුදුසු ය. සිල් සමාදන් වීමට නියමිත නැකැත් වේලාවක් නැත. උදේ හයට ම සමාදන්වීම වඩා හොඳ බව පමණක් කිය යුතු ය. ශීලය කිනම් වේලාවක සමාදන් වුවත් සිංහල පැයින් සැට පැයක් ව්‍යවහාර පැයින් සූවිසි පැයක් ශීලයෙහි පිහිටා සිටිය යුතු ය. පොහෝ දින උදයේ හයට සිල් සමාදන් වන තැනැත්තා පසුදින උදයේ හය වනතුරු ද, හතට සිල් සමාදන් වූ තැනැත්තා පසුදින උදයේ හත වන තුරු ද, අටට සිල් සමාදන් වූ තැනැත්තා පසු දින උදයේ අට වන තුරු ද, ශීලයෙහි පිහිටා දවස සම්පූර්ණ කළ යුතු ය.