සිල් සමාදන් වීමට සූදානම් වීම

සිල් සමාදන් වන පින්වතුන් පෝයට පෙර දිනයේ ම ඒ සඳහා සූදානම් විය යුතු ය. පොහෝ දිනයේ කරන්නට ඇති යමක් ඇති නම්, ඒ සියල්ල කලින් කිරීමෙන් හෝ අනිකකුට පැවරීමෙන් හෝ කල් තැබීමෙන් හෝ පොහෝ දිනය සම්පූර්ණයෙන් අවකාශ ඇති දිනයක් කර ගත යුතු ය. හැඳීමට සුදු වතක් සුදු බැනියමක් ද ඒකාංස කොට පෙරවීමට සතර රියනක් හෝ පස් රියනක් ඇති සුදුවතක් ද පිළියෙළ කර ගත යුතු ය. තමන් වෙත ඇති වස්ත්‍ර‍ කිලිටි වී ඇති නම් ඒවා පිරිසිදු කර තබා ගත යුතු ය. සුදු රෙදි නැති නම් තමන්ට ඇති වස්ත්‍ර‍යක් හැඳ සිල් ගැනීම ද වරද නැත. සුදුවත් හැඳ පෙරවීම චාරිත්‍ර‍යක් මිස ශීලයේ අංගයක් නොවේ. සිල් සමාදන් වීමෙන් පසු දානය, ගිලන්පස ලැබෙන ක්‍ර‍මයක් සලසා ගත යුතු ය. ඒවා තමා විසින් ම පිළියෙළ කර ගැනීමෙන් ද වරදක් නැත. තමා ම ඒවා පිළියෙළ කර ගන්නවා නම් වුවමනා උපකරණ කලින් සූදානම් කර තබා කාලය පැමිණි කල්හි ආහාර පිස ගත යුතු ය. ගිලන්පස පිළියෙළ කර ගත යුතු ය.

ගෙදර තමන් විසින් සත්කාර කළයුතු දුබලයකු හෝ රෝගියකු හෝ ඇති නම් සිල් සමාදන් වී සිට ඔවුන්ට සත්කාර කිරීම ද වරද නැත. සිල්සමාදන් වූ දිනයේ සිකපද නොබිඳෙන පව් නොවන කිනම් දෙයක් වුව ද කිරීමෙන් වරදක් නොවේ.

පොහෝ දිනයට එළිවෙන්නට කලින් අලුයම සතරට පහට පමණ නැගිට මුහුණ සේදීම් ආදියෙන් ශරීරය පිරිසිදු කරගෙන, මල් නෙලා ගන්නට ඇති නම් නෙලා ගෙන, උදයට අනුභව කිරීමට ආහාරයක් ඇති නම් එය ද වළඳා කනේ, කරේ හිසේ හා අත්වල පැළඳි අබරණ ඇති නම් ඒවා ශරීරයෙන් මුදා පරෙස්සම් වන සේ තබා, සුදුවත් හැඳ පෙරවා මල් ආදී පූජා භාණ්ඩ ගෙන උදේ හයට කලින් සිල් සමාදන් වන ස්ථානයට යා යුතු ය.

සිල් සමාදන් වීමට කලින් ආහාර ගැනීම නුසුදුසු යයි ඇතැම්හු සිතති. ඒ වැරදි හැඟීමකි. වඩා හොඳ ක්‍ර‍මය උදයට ගන්නා ආහාරය සිල් සමාදන්වන්නට කලින් වැළඳීම ය. එසේ නො කළහොත් සිල්සමාදන් වූ සැටියේ ම ආහාර සොයා යන්නට සිදුවේ. එය සිල් සමාදන් වී කරන භාවනාදි කටයුතුවලට බාධාවකි. කලින් ම ආහාර ගෙන සිල් සමාදන් වූ කල්හි එතැන් පටන් දවල් දාන වේලාව පැමිණෙන තුරු භාවනාදි කටයුතුවල බාධාවක් නැතිව යෙදිය හැකි ය.

සිල් සමාදන් වී වැඳුම් පිදුම් ආදිය කොට දවල් වී අටට නවයට පමණ උදයට ගන්නා ආහාර ගැනීම නුසුදුසු ය. සිල් සමාදන් වූවන් විසින් දවල් දොළහට කලින් ආහාර ගත යුතු ය. වරක් ගත් ආහාරය දිරවීමට අඩු ගණනින් සතර පැයක් ගත වන්නේ ය. අට නවය වී ගන්නා ආහාරය දවල් දානය වේලාවට නො දිර වන්නේ ය. වරක් ගත් ආහාය දිරවන්නට කලින් තවත් ආහාර ගැනීම ශරීරයට අහිත ය. එයින් රෝග හට ගන්නට ඉඩ ඇත. උදේ ගත් ආහාරය දිරවන්නට පෙර දවල් ආහාර ගන්නහුට දවසට සෑහෙන ආහාර ගන්නට නො පිළිවන් විය හැකි ය. එයින් රාත්‍රි කාලයේ නිරාහාරව සිටීමේ දී අපහසුකම් ද ඇතිවිය හැකි ය. එබැවින් සිල් සමාදන් වීමට කලින් ඉතා උදෑසනින් ම ආහාර වළඳා සිල් සමාදන් වීම ඉතා හොඳ බව සැලකිය යුතු ය.