සිල් සමාදන් වීමට අයත් විශේෂ ගුණාංගය විකාල භෝජනයෙන් වැළකීම ය. සතියකට එක් දිනක් විකාල භෝජයෙන් වැළකීම ශරීරයට ද හිත ය. ආහාර දිරවීම හා මුවින් කයට ඇතුළු කළ ආහාරයන් ක්‍රමයෙන් පොඩි කර ඒවායේ ඕජස නික්මවා දී අධෝ මාර්ගය දක්වා ඒවා ගෙනයාම සඳහා දවස මුළුල්ලේ ම බඩවැල්වලට ක්‍රියා කරන්නට සිදු වී තිබේ. නොදැනෙන නමුත් මිනිසා අවදිව සිටින්නා වූ ද නිදා සිටින්නා වූ ද නොයෙක් වැඩවල යෙදී සිටින්නා වූ ද සෑම අවස්ථාවේ ම නැවතීමක් නැතිව ම බඩවැල වැඩ කරයි. නැවතීමක් නැතුව බඩවැලෙන් වැඩ ගැනීම නුසුදුසු ය. එයට විශ්‍රාමයක් දිය යුතු ය. එසේ විශ්‍රාම දීම නිරෝගී බවට හා දීර්ඝායුෂ්ක වීමටත් හේතු වේ. පොහෝ දින රක්නා සිල්වල සිකපද වලින් අමාරුවෙන් රැකිය යුතු සිකපදය විකල් බොජුන් සිකපදය ය.
එය රකින තැනැත්තාට බඩගිනි ඉවසන්නට සිදු වේ. එයින් ඔහුට ඉවසීම නමැති මහඟු ගුණය පුරුදු වේ. සත්ත්වයනට ඇතිවන තණ්හාවන් අතුරෙන් ආහාර තණ්හාව ඉතා බලවත් එකකි. ලෝකයේ කෙරෙන පව්කම් වලින් බොහෝවක් කෙරෙන්නේ ආහාර තණ්හාව නිසා ය. සිල් සමාදන් වී එක් රැයක් වුව ද ආහාර තණ්හාව දුරුකරගෙන විසීමෙන් තණ්හාව දුරුකිරීම පුරුදු වේ. එයින් මහත් චිත්ත ශක්තියක් ලැබේ. එය අනික් කෙලෙසුන් දුරුකිරීමට ද මහෝපකාරී වේ. එබැවින් දවසෙන් අඩක් සිල් රැකීමෙන් ම සෑහීමකට පත් නොවී සම්පූර්ණ දවස ම ශීලයෙන් විසීමට උත්සාහ කළ යුතු ය. ඇතැම්හු “අපි දුබලයෝ ය. රාත්‍රී භෝජනයෙන් වැළකීමට අපට අපහසු ය, ඒ නිසා අපි දවාලෙහි පමණක් සිල් සමාදන්ව වෙසෙමුය”යි කියති. රාත්‍රී භෝජනය නොගැනීමෙන් බොහෝ අපහසු ඇතිවන බව සැබෑ ය. සිල් සමාදන් වීමේ තේරුම ඒ අමාරු ඉවසීම හා ආහාර තෘෂ්ණාව මැඩ පවත්වා ගැනීමය. එසේ නො කරන්නවුන්ගේ අර්ථ උපෝසථයෙහි වටිනාකමක් නැත. අර්ථ උපෝසථය වශයෙන් දවල් කාලයට පමණක් සිල් සමාදන්විය යුත්තේ විකල් බෝජුනෙන් වැළකුණ හොත් මැරෙන තරමේ බලවත් කරුණක් ඇති විටෙක පමණ ය. අර්ථ උපෝසථය සම්පූර්ණ වීමට ද දොළොස් පැයක් ශීලයෙන් යුක්තව විසිය යුතු ය. ඇතැම්හු උදයේ හයට හතට සිල් සමාදන්වී සවස හතරට පහට පවාරණය කරති. එය නො මැනවි. එසේ කරන්නවුන්ට අර්ධ උපෝසථය ද නො ලැබේ.