පොහොය දිනය සොයන ක්‍ර‍මය

බෞද්ධයන් විසින් පොහෝ දිනයන් සොයා ගන්නා ක්‍ර‍මය දත යුතු ය. ඒ මෙසේය: පොහෝ දිනයන් නියම කර ගෙන ඇත්තේ චන්ද්‍ර‍යාගේ පැවැත්ම අනුව ය. මසකට සම්පූර්ණයෙන් සඳ නොපෙනෙන එක් රාත්‍රියක් ඇත්තේ ය. එයට පසු දින පටන් මඳින් මඳ වැඩි වැඩී සඳ පෙනෙන්නට වන්නේ ය. සඳ පෙනෙන්නට පටන් ගන්නා පළමුවන දිනය පෑළවිය නම් වේ. දෙවන දිනය දියවක නම් වේ. තුන්වන දිනය තියවක නම් වේ. සතරවන දිනය ජලවක නම් වේ. පස්වන දිනය විසේනිය නම් වේ. සවන දිනය සැටවක නම් වේ. සත්වන දිනය සතවක නම් වේ. අටවන දිනය “අටවක” නම් වේ. ඒ දිනයේ චන්ද්‍ර‍යාගෙන් බාගයක් පෙනෙන්නේ ය. ඒ දිනය එක් පොහෝ දිනයකි.

අටවක පොහෝ දිනයෙන් පසු දිනවල ද පිළිවෙළින් නවවක, දසවක, එකොළොස්වක, දොළොස්වක, තෙළෙස්වක, තුදුස්වක, ‘පසළොස්වක’ යන නම් ව්‍යවහාර කරනු ලැබේ. ක්‍ර‍මයෙන් වැඩෙන සඳ පසළොස්වක දිනයේ සම්පූර්ණ වී පවතී. පූර්ණ චන්ද්‍ර‍යා දක්නා ලැබෙන ඒ දිනය එක් පොහෝ දිනයෙකි.

පසළොස්වක පොහෝ දිනට පසු දින පටන් ක්‍ර‍මයෙන් චන්ද්‍ර‍යා පිරිහෙන්නට පටන් ගනී. චන්ද්‍ර‍යා සම්පූර්ණයෙන් පිරිහී යාමට ද දින පසළොසක් ගත වේ. ඒ දිනවලට ද සිංහල ව්‍යවහාරයෙන් පෑළවිය දියවකාදි ඉහත කී නාමයන් ම පිළිවෙළින් ව්‍යවහාර කරනු ලැබේ. පිරිහෙන පක්‍ෂයේ පසළොස්වන දිනට ‘අමාවක’ ය යි කියනු ලැබේ. පිරිහෙන පක්‍ෂයේ අටවක දිනය එක් පොහෝ දිනයෙකි. එදින දක්නා ලැබෙන්නේ සඳෙන් බාගයකි. ඒ අඩසඳ මධ්‍යම රාත්‍රියේ නැගෙනහිර දිගින් උදාවන්නේ ය. වැඩෙන පක්‍ෂයේ අටවක දිනයේ අඩසඳ සවස් කාලයේ අහස මුදුනේ දැකිය හැකිය. පසළොස්වක් පොහෝ දිනයේ පුන්සඳ රාත්‍රිය මුළුල්ලේ පවත්නේය. පිරිහෙන පක්‍ෂයේ පසළොස්වක දිනයේ සඳ සම්පූර්ණයෙන් ම නො පෙනෙන්නේ ය. පිරිහෙන පක්‍ෂයේ පසළොස්වන දිනය වූ අමාවක පොහෝ දිනයට “මාසේපෝය” යි ද කියනු ලැබේ.

චන්ද්‍ර‍යා වැඩෙන්නට පටන් ගත් දිනයේ පටන් සම්පූර්ණයෙන් පිරිහී යන දින දක්වා දින තිසක් ඇත්තේ ය. ඒ තිස් දිනය එක් චන්ද්‍ර‍ මාසයකි. බක්, වෙසක්, පොසොන් ආදි නම් ව්‍යවහාර කරන්නේ ඒ චන්ද්‍ර‍ මාස වලට ය. චන්ද්‍ර‍ මාසයේ සඳ වැඩෙන පසළොස් දිනයට ‘පුරපක්ෂය’ යි ද, පිරිහෙන පසළොස් දිනයට “අව පක්‍ෂය” යි ද කියනු ලැබේ. සඳ වැඩෙන පක්‍ෂයේ අටවක දිනයට “පුර අටවක් පෝය” යයිද, පිරිහෙන පක්‍ෂයේ අටවක පොහෝ දිනයට “අව අටවක පෝය” යයිද කියනු ලැබේ. දින තිසක් නො ලැබෙන විසිනවයක් පමණක් ඇති චන්ද්‍ර‍ මාස ද ඇත්තේ ය. ඒ මාසවල අවපක්‍ෂයට දින තුදුසකි. ඒ මාසවල අවපක්‍ෂයේ තුදුස්වක දින මාසේපෝය ලෙස ගණන් ගනු ලැබේ.

ඇතැම් සැදැහැවත්හ පෙරගමන් කිරීම් වශයෙන් පෝයට පෙර දිනයේ ද, පසුගමන් කිරීම් වශයෙන් පෝයට පසු දිනයේ ද සිල් සමාදන් වෙති. එසේ කරන්නවුන්ට මසකට සිල් සමාදන් වන දින දොළොසක් ඇත්තේ ය. “ප්‍රාතිහාර්‍ය්‍යපක්‍ෂය” කියා තවත් පොහොයක් ඇත්තේ ය. ඇතැම්හු භික්ෂූන් වහන්සේ වස් එළඹ සිටින තෙමස ප්‍රාතිහාර්‍ය්‍යපක්‍ෂය වශයෙන් ගෙන සිල් සමාදන්ව වෙසෙති. ඇතැම්හු වස්කාලයෙන් පසු ලබන පළමුවන මාසය ප්‍රාතිහාර්‍ය්‍යපක්‍ෂය වශයෙන් ගෙන ඒ මාසයේ සිල් සමාදන්ව වෙසෙති.