මරණානුස්මෘති භාවනාව

භාවනා වාක්‍යය

(මෙය පාඩම් කර ගෙන භාවනා කරනු.)

ජීවිතය අනියතය. මරණය නියත ය. සත්ත්වයාගේ ජීවිතය මරණින් කෙළවර වන්නේ ය. මම ද මැරෙන්නෙමි. මාගේ ජීවිතය ද මරණින් කෙළවර වන්නේ ය. සත්ත්වයා මරණය අරගෙන ම උපදින්නාහ. මරණය ගෙන උපන් සත්ත්වයෝ උදා වූ තැන පටන් මොහොතකුදු නොනැවතී අස්තය කරා ගමන් කරන හිරු මෙන් උපන් තැන් පටන් මොහොතකුදු නො නැවතී මරණය කරා ගමන් කරන්නාහ. මම ද මරණය ගෙන උපනිමි. ඒ මම දිවා රාත්‍රි දෙක්හි නො නැවතී මරණය කරා ගමන් කරමි. මහා සම්මතාදි මහසම්පත් ඇතිව සිටි රජදරුවෝ ද ජෝතිය ජටිල මෙණ්ඩකාදි මහපිනැති සිටුවරුද වාසුදේව බලදේවාදි මහ බලැතියෝ ද මහා සෘද්ධිමත්හු ද මහනුවණැතියෝ ද මරණයට පැමිණියෝ ය. මා වැනියකුට ඉන් කෙසේ ගැලවිය හැකි ද? නොහැකිම ය. මම ඒකාන්තයෙන් මරණට පැමිණෙන්නෙමි.

මරණානුස්මෘති ගාථා

මහායසා රාජවරා, මහාසම්මත ආදයෝ,

තේපි මච්චුවසං පත්තා, මාදියේසු කථාව කා.

මහ පිරිවර ඇත්තා වූ මහාසම්මතාදි රජවරු ද මරු වසඟයට පැමිණියහ. මා වැනියවුන් ගැන කවර කථා ද?

ජෝතියෝ ජටිලෝ උග්ගෝ,

මෙණ්ඩකෝ අථ පුණ්ණකෝ,

ඒතේ චඤ්ඤෝ ච යේ ලෝකේ,

මහා පුඤ්ඤාති විස්සුතා,

සබ්බේ මරණමාපන්නා,

මාදිසේසු කථාව කා.

ජෝතියය ජටිලය උග්ගය මෙණ්ඩකය පුණ්ණකය යන මහපිනැති මහසිටුවරුද ලෝකයෙහි විසූ අන්‍ය සුප්‍ර‍සිද්ධ මහ පිනැතියෝ ද යන සැම දෙනා ම මරණයට පැමිණියාහු ය. මා වැනියවුන් ගැන කවර කථා ද?

වාසුදේවෝ බලදේවෝ, භීමසේනෝ යුධිට්ඨිලො,

චානුරෝ පියදාමල්ලෝ අන්තකස්ස වසං ගතා,

ඒවං ථාමබලූපේතා, ඉති ලෝකම්හිවිස්සුතා,

ඒතේපි මරණං යාතා මාදිසේසු කථාව කා.

ලෝකයෙහි මහාබලැතියන් වශයෙන් ප්‍ර‍සිද්ධ ව විසූ වාසුදේව බලදේව භීමසේන යුධිෂ්වර චානුර පියදාමල්ල යන අය ද මරණප්‍රාප්ත වූහ. මා වැනියවුන් ගැන කවර කථා ද?

පාදංගුට්ඨකමත්තේන, වේජයන්තමකම්පයී,

යෝනමිද්ධිමතං සෙට්ඨො දුතියෝ අග්ගසාවකෝ,

සෝ පි මච්චුමුඛං ඝොරං මිගෝ සීහමුඛං විය,

පවිට්ඨෝ සහ ඉද්ධීහි, මාදියේසු කථාව කා.

සෘද්ධිමතුන්ගෙන් ශ්‍රේෂ්ඨ වූ යම් ද්විතීය අග්‍ර‍ශ්‍රාවක කෙනෙක් පයේ සුළඟිල්ලෙන් ම සක්දෙව් රජහු ගේ වේජයන්ත ප්‍රාසාදය කම්පා කළෝ ද ඒ ශ්‍රාවකයන් වහන්සේ ද මුවකු සිංහ කටකට හසුවන්නාක් මෙන් සෘද්ධීන් සමඟ ම මාර මුඛයට පිවිසියහ. මා වැනියවුන් ගැන කවර කථා ද?