විදර්ශනා භාවනාව

විදර්ශනා භාවනාව යනු සංස්කාරයන්ගේ අනිත්‍ය දුඃඛ අනාත්ම යන ලක්ෂණ තුන මෙනෙහි කිරීම ය. නුවණින් බැලීම ය. විදර්ශනා භාවනාව ගැන විස්තර දැන ගැනීමට කැමති නම් විදර්ශනා භාවනා ක්‍ර‍මය නමැති පොත කියවන්න. කේසාදි කොටස් දෙතිස විදර්ශනා කරන්නේ මෙසේ ය:

විදර්ශනා භාවනා වාක්‍යය

මේ ශරීරයේ කේසයෝ විකාරයට පැමිණෙන බැවින් ද නැසෙන බැවින් ද අනිත්‍යයෝ ය. කෙස් හිමියාට කෙස්වලට ඇලුම් කරන්නාහට අනේකාකාරයෙන් පීඩා කරන බැවින් දුඃඛයෝ ය. කිසිවකුගේ කැමැත්තේ සැටියට නො පවත්නා බැවින් අනාත්මයෝ ය.

මේ ශරීරයේ ලෝමයෝ විකාරයට පැමිණෙන බැවින් නැසෙන බැවින් අනිත්‍යයෝ ය. හිමියාට අනේකාකාරයෙන් පීඩා කරන බැවින් දුඃඛයෝ ය. කිසිවකුගේ කැමැත්ත පරිදි නොපවත්නා බැවින් අනාත්මයෝය.

මෙසේ කොටස් දෙතිස ගැන ම භාවනා කරනු.