තචපඤ්චක භාවනාව

(1) මේ ශරීරයේ කේසයෝ කළු වූ වට වූ දික් වූ ශරීරයේ උඩ කොටසෙහි ඇත්තා වූ හිස් කබල වසා සිටින සමෙහි පිහිටියා වූ යටින් වියැට අගක් පමණ සම තුළට වැද සිටින මුල්වලින් හා උඩින් අහසින් ද සරසින් ඔවුනොවුන්ගෙන් ද වෙන් ව පවත්නා කුණප කොට්ඨාසයෙකි.

ඒ කේසයෝ පැහැයෙන් ද සටහනින් ද ගඳින් ද ආශ්‍රයෙන් ද පිහිටි ස්ථානයෙන් ද පිළිකුල් ය. (මේ පස් ආකාර පිළිකුල සියලු කොටසුන්ට යොදා කියනු.)

(2) මේ ශරීරයේ ලෝමයෝ මඳක් කළු වූ කුඩා මුල්වැනි වූ ශරීරයේ උඩ යට දෙක්හි ම හටගත්තා වූ ශරීරය වසා සිටින සමෙහි පිහිටියා වූ යටින් සමට වැදී ඇති මුල්වලින් හා උඩින් අහසින් ද වෙන් වී ඇති කුණප කොට්ඨාසයෙහි.

(3) මේ ශරීරයේ නිය සුදු පැහැ ඇත්තා වූ ලොකු මසුන්ගේ කොර බඳු සටහන් ඇත්තා වූ ශරීරයේ උඩ යට දෙකෙහි ම හටගත්තා වූ ඇඟිලි අග මසින් ද උඩින් අහසින් ද වෙන් වූ කුණප කොට්ඨාසයකි.

(4) මේ ශරීරයේ දත් පැහැයෙන් සුදු වූ කළගෙඩි ගැටියක සිට වූ ලබු ඇට පෙළක් බඳු වූ උඩ කොටසෙහි හටගත්තා වූ හකු ඇට දෙක්හි පිහිටියා වූ යටින් හකු ඇටයෙහි කාවැදී ඇති මුල්වලින් හා උඩින් අහසින් ද සරසින් ඔවුනොවුන්ගෙන් ද වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.

(5) මේ ශරීරයේ සම නොයෙක් පැහැ ඇත්තා වූ රූපයකට හඳවන ලද සැට්ටයක් බඳු වූ ශරීරයේ උඩ යට දෙක්හි ම හට ගත්තා වූ ශරීරය වසා පිහිටියා වූ වටින් ශරීරයෙන් හා උඩින් ආකාශයෙන් ද වෙන් වූ කුණප කොට්ඨාසයකි.

පස් ආකාර පිළිකුල් බව කේශයන්ට කීවාක් මෙන් ම සියලු කොටස්වලට ම යොදා සජ්ඣායනා කරන ඇතැමුන් මේ තචපඤ්චක භාවනාවෙන් ම ද අර්හත්වය ලබා ඇත්තේ ය.