බුරුම වන්දනා ගාථා

මේ වන්දනා ගාථා පෙළ බුරුමයේ බාලයන්ට අකුරු ඉගැන්වීමේදී ම උගන්වති. එබැවින් බුරුම ජාතිකයන් වැඩි දෙනකුන්ට මෙයින් ගාථා කීපයක්වත් සන්න සහිතව පාඩම් තිබේ. බුදුන් වඳින්නේ මේ ගාථා කීමෙනි. මේ ගාථා සියල්ල ම වෙන් වෙන් වූ වන්දනා ගාථා බැවින් කැමති පමණක් ගාථා පාඩම් කරගෙන වන්දනා කළ හැකි ය. තමාට කැමති ගාථා තැනින් තැනින් තෝරා පාඩම් කරගෙන වුව ද වන්දනා කළ හැකි ය. මේ ඒ ගාථා පෙළ ය.

1. සුගතං සුගතං සෙට්ඨං, කුසලාකුසලං ජහං,

අමතං අමතං සන්තං, අසමං අසමං දදං,

.

2. සරණං සරණං ලෝකං, අරණං අරණං කරං,

අභයං අභයං ඨානං, නායකං නායකං නමේ.

තේරුම:-

සුන්දර කථා ඇත්තා වූ සුන්දර නිර්වාණයට යන්නා වූ ශ්‍රේෂ්ඨ වූ කුශලාකුශලයන් ප්‍ර‍හාණය කළා වූ මරණයක් නැත්තා වූ අමෘතයක් වූ ශාන්ත වූ අසදෘශ වූ අසදෘශ මාර්ගඵල නිර්වාණයන් දෙන්නා වූ ලෝකත්‍ර‍යට පිළිසරණ වූ ලෝකය දන්නා වූ රාගාදි කෙලෙස් සහිත වූ විනේය ජන සන්තානයෙහි රාගාදි කෙලෙසුන් නැති කරන්නා වූ ජාතිභයාදිය ඉක්මවා සිටින බැවින් නිර්භය වූ ජාති භයාදිය නැති හෙයින් අභය ස්ථානය වූ නිවනට විනේය ජනයන් පමුණුවන්නා වූ ලෝකයට නායක වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වඳිමි.

3. නයන සුභග කායංගං,

මධුර වර සරෝපේතං,

අමිත ගුණ ගුණාධාරං,

දසබල මතුලං වන්දේ.

තේරුම:-

සකල සත්ත්වයන් ගේ ම නේත්‍ර‍යන්ට ශෝභන වූ කායාංග ඇත්තා වූ මිහිරි වූ උත්තම ස්වරය ඇත්තා වූ, ප්‍ර‍මාණ කළ නො හෙන ගුණ සමූහයට ස්ථාන වූ අතුල්‍ය වූ දශබලධාරීන් වහන්සේ වඳිමි.

4. යෝ බුද්ධෝ ධිතිමාඤ්ඤධාරකෝ,

සංසාරේ අනුභෝසි කායිකං,

දුක්ඛං චේතසිකං ච ලෝකතෝ

තං වන්දේ නරදේව මංගලං,

තේරුම:-

ස්ථිර ව පිහිටි සමාධි ඇත්තා වූ අර්හත්ඵල නමැති ඡත්‍ර‍ය දරන්නා වූ යම් බුදු කෙනෙකුන් වහන්සේ ලෝක සත්ත්වයන් නිසා සංසාරයේ කායික වූ ද මානසික වූ ද බොහෝ දුක් අනුභව කළ සේක් ද දෙවි මිනිසුන්ට මංගල වූ ඒ භාග්‍යවතුන් වහන්සේ වඳිමි.

5. බත්තිංසති ලක්ෂණ චිත්‍රදේහං,

දේහජ්ජුති නිග්ගත පජ්ජලන්තං,

පඤ්ඤා ධිති සීල ගුණෝඝවින්දං,

වන්දේ මුනිමන්තිම ජාති යුත්තං.

තේරුම:-

දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් විචිත්‍ර‍ වූ ශ්‍රී දේහය ඇත්තා වූ ශ්‍රී දේහයෙන් නික්මෙන ෂඩ්වර්ණ රශ්මියෙන් දිලිසෙන්නා වූ, ප්‍ර‍ඥා සමාධි ශීල ගුණ සමූහය ලබා ඇත්තා වූ අන්තිම ජාතියෙන් යුක්ත වූ භාග්‍යවතුන් වහන්සේ වඳිමි.

6. පාතෝදයං බාල දිවාකරං ව,

මජ්ඣෙ යතීනං ලසිතං සිරීහි,

පුණ්ණින්දු සංකාස මුඛං අනේජං,

වන්දාමි සබ්බඤ්ඤු මහං මුනින්දං.

තේරුම:-

උදයකාලයේ උදාවන බාලසූර්යයා මෙන් භික්ෂු සමූහය මැද ශ්‍රීයෙන් ලීලෝපේත වන්නා වූ පූර්ණ චන්ද්‍ර‍යා බඳු මුව ඇත්තා වූ තෘෂ්ණා විරහිත වූ සියල්ල දන්නා වූ මුනීන්ද්‍ර‍යන් වහන්සේ මම වඳිමි.

7. උපේත පුඤ්ඤෝ වර බෝධිමූලේ,

සසේන මාරං සුගතෝ ජිනිත්වා,

අබුජ්ඣි බෝධිං අරුණෝදයම්හි,

නමාමි තං මාරජිනං අභංගං.

තේරුම:-

සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයෙහි රැස් කළ පාරමිතා කුසලස්කන්ධයෙන් යුක්ත වූ සුගතයන් වහන්සේ උත්තම වූ බෝධි මූලයේ දී සේනා සහිත වශවර්ති මාරයා පරදවා වෛශාඛ පෞර්ණමී දිනයේ අරුණෝදයේදී සම්‍යක් සම්බෝධිය අධිගමනය කළ සේක. පස්මරුන් දිනූ මාරයන් විසින් පැරදවිය නොහැකි වූ ඒ භාග්‍යවතුන් වහන්සේ වඳිමි.

8. රාගාදිජේදා මල ඤාණ ඛග්ගං

සතී සමඤ්ඤා ඵලකාභිගාහං,

සීලෝඝ ලංකාර විභූසිතං තං,

නමාමි භිඤ්ඤා වරමිද්ධුපෙතං.

තේරුම:-

රාගාදි කෙලෙසුන් සිඳින නිර්මල වූ අර්හත් මාර්ග ඥාන සංඛ්‍යාත කඩුව ඇත්තා වූ සම්මාසති නම් වූ පලිහ ගෙන සිටින්නා වූ ශීල රාශිය නමැති අලංකාරයෙන් සැරසී සිටින්නා වූ අභිඥා නම් වූ උත්තම සෘධි ඇත්තා වූ භාග්‍යවතුන් වහන්සේ වඳිමි.

9. දයාලයං සබ්බධි දුක්කරං කරං,

භවණ්ණවාතික්කම මග්ගතං ගතං

තිලෝකනාථං සුසමාහිතං හිතං,

සමන්තචක්ඛුං පණමාමි තං මිතං.

තේරුම:-

කරුණා මෛත්‍රී ගුණයන්ට වාසස්ථාන වූ සියලු භවයන්හි සම්බෝධිය පිණිස නොයෙක් දුෂ්කර ක්‍රියා කළා වූ කාම රූප අරූප සංඛ්‍යාත භවත්‍ර‍ය නමැති සාගරය ඉක්මවා ලෝකයෙහි අග්‍ර‍ භාවයට පැමිණ වදාළා වූ තුන්ලොවට පිහිට වූ ලාභාලාභාදි ලෝක ධර්‍මයන් නිසා නොසැලෙන සමාධිය ඇත්තා වූ ලෝකවාසීන්ට හිත වූ සියල්ල දන්නා නුවණැස ඇත්තා වූ ප්‍ර‍මාණ කළ නො හෙන්නා වූ ඒ භාග්‍යවතුන්වහන්සේ වඳිමි.

10. තහිං තහිං පාරමි සඤ්චයං චයං,

ගතං ගතං සබ්භි සුඛප්පදං පදං,

නරා නරානං සුඛ සම්භවං භවං

නමා නමානං ජින පුංගවං ගවං.

තේරුම:-

ඒ ඒ ආත්මභාවයෙහි දානාදි පාරමී ධර්ම සමූහය රැස් කළා වූ සත්පුරුෂයන් විසින් සෙවුනා ලද්දා වූ සුඛයට හේතු වූ නිර්වාණයට පැමිණ වදාළා වූ දෙවිමිනිසුන්ට සැප ඇති කර දෙන්නා වූ ගරු කළ යුත්තන්ට ධර්මයට නො නැමෙන්නා වූ ගවයන් වැනි අඥ ජනයා දිනූ පුරුෂෝත්තමයන් වහන්සේට වඳිමි.

11. මග්ගංග නාවං මුනි දක්ඛ නාවිකො,

ඊහා පියං ඤාණකරෙන ගාහකො,

ආරුය්හ යෝ තාය බහූ භවණ්ණවා,

තාරේසි තං බුද්ධ මඝප්පහං නමේ.

තේරුම:-

වීර්‍ය්‍ය නමැති හබල, නුවණ නමැති අතින් ගත්තා වූ දක්ෂ නාවික වූ යම් මුනීන්ද්‍ර‍යන් වහන්සේ කෙනෙක් මාර්ගාංග නමැති නැවට නැග බොහෝ සත්ත්වයන් සංසාර සාගරයෙන් එතර කළ සේක් ද සත්ත්වයන් ගේ දුක් දුරු කරන්නා වූ ඒ භාග්‍යවතුන් වහන්සේ වඳිමි.

12. සමතිංසති පාරමිතම්භරණං,

වර බෝධිමූලේ චතු සච්චදසං,

පරමිද්ධිගතං නර දේව හිතං,

තිභවූපසමං පණමාමි ජිනං.

තේරුම:-

සමත්‍රිංශත් පාරමිතාවන් රැස් කළා වූ උත්තම වූ බෝධි මූලයේ දී සිවුසස් දැක වදාළා වූ පරම සෘද්‍ධියට පැමිණ ඇත්තා වූ දෙවිමිනිසුන්ට හිත වූ භවත්‍රයෙන් මිදුණා වූ ජිනයන් වහන්සේ වඳිමි.

13. සතපුඤ්ඤජ ලක්ඛණිකං විරජං,

ගගනූඵමධිං ධිති මේරුසමං,

ජලපූපම සීතල සීල යුතං,

පඨවි සහනං පණමාමි ජිනං.

තේරුම:-

බොහෝ කුශලයන්ගෙන් හටගන්නා වූ දෙතිස් මහාපුරුෂලක්ෂණ ඇත්තා වූ රාගාදි කෙලෙස් රජස් නැත්තා වූ ආකාශය බඳු නුවණ ඇත්තා වූ මහමේරු පර්වතය සේ අකම්ප්‍ය සමාධි ඇත්තා වූ පියුම් සේ සිසිල් වූ ශීලයෙන් යුක්ත වූ පෘථිවිය බඳු ඉවසීම් ඇත්තා වූ ජිනයන් වහ්නසේ වඳිමි.

14. යෝ බුද්ධෝ සුමති දිවේ දිවාකරෝ’ව,

සෝභන්තේ රතිජනනේ සිලාසනම්හි,

ආසින්නෝ සිවසුඛදං අදේසි ධම්මං,

දේවානං තමසදිසං නමාමි නිච්චං.

තේරුම:-

සුන්දර ප්‍ර‍ඥාව ඇත්තා වූ යම් බුදුවරයන් වහන්සේ කෙනෙක් දිවාකාලයේ දිවාකරයා මෙන් බැබලෙමින් රතිජනක වූ පාණ්ඩුකම්බල ශෛලාසනයෙහි වැඩහුන් සේක් නිවන් සුව ගෙන දෙන්නා වූ අභිධර්මය දෙවියනට දේශනය කළ සේක් ද අසදෘශ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ නිත්‍යයෙන් වඳිමි.

15. යෝ පාදපංකජ මුදුත්තල රාජිකේහි,

ලෝකෙහි තීහිවිකලෙහි නිරාකුලේහි,

සම්පාපුණේ නිරුපමෙය්‍ය තමේව නාථෝ,

තං සබ්බලෝකමහිතං අසමං නමාමි.

තේරුම:-

යම් බුදුවරයන් වහන්සේ කෙනෙක් අවිකල වූ ද නිරාකුල වූ ද පාදපත්ම නමැති මෘදු තලයෙහි හටගත්තා වූ එකසිය අටක් චක්‍ර‍ ලක්ෂණයන් කරණ කොට තුන්ලෝ වැසියන් හා උපමා නො කළ යුතු බවට පැමිණි සේක් ම ය. සකල ලෝකවාසීන් විසින් පුදන ලද්දා වූ අසම වූ ඒ ලෝකනාථයන් වහන්සේ වඳිමි.

16. බුද්ධං නරානර සමෝසරණාධිචිත්තං,

පඤ්ඤා පදීප ජුතියා විහතන්ධකාරං,

අත්ථාභිකාම නර දේව හිතාවහන්තං,

වන්දාමි කාරුණික මග්ග මනන්ත ඤාණං.

තේරුම:-

දෙවි මිනිසුන් එක්රැස් වන ස්ථානය වූ ස්ථිර සිත් ඇත්තා වූ ප්‍ර‍ඥා නමැති ප්‍ර‍දීපාලෝකයෙන් නැසූ මෝහාන්ධකාර ඇත්තා වූ දෙවිමිනිසුන්ගේ යහපත අතිශයින් කැමති වන්නා වූ දෙවිමිනිසුන්ට යහපත සිදුකරන්නා වූ කාරුණික වූ උත්තම වූ අනන්තඥාන ඇත්තා වූ ඒ භාග්‍යවතුන් වහන්සේ වඳිමි.

17. අඛිල ගුණනිධානෝ යෝ මුනින්දෝ පගත්න්වා,

වන මිසි පතනව්හං සඤ්ඤාතානං නිකේතං,

තහිමකුසල ඡෙදං ධම්මචක්කං පවත්තෝ,

තමතුල මහිකන්තං වන්දනෙය්යං නමාමි.

තේරුම:-

සකල ලෞකික ලෝකෝත්තර ගුණයන්ගේ පිහිටි ස්ථානය වූ යම් මුනීන්ද්‍ර‍යන් වහන්සේ කෙනෙක් කාය චිත්තයන් හික්මවා සිටිනා යතීන්ගේ වාසස්ථානය වූ ඉසිපතන නම් වූ වනයට එළඹ එහි අකුසල් නසන්නා වූ ධර්ම චක්‍ර‍ය පැවැත්වූ සේක් ද ඉතා යහපත් වූ අසම වූ වැඳීමට සුදුසු ඒ භාග්‍යවතුන් වහන්සේ වඳිමි.

18. සුචිපරිවාරිතං සුරුචිරප්පභාගි රත්තං,

සිරිවිසයාලයං ගුපිත මින්ද්‍රියේහුපේතං,

රවිසසි මණ්ඩලප්පභූති ලක්ඛණෝපචිත්තං,

සුරනර පූජිතං සුගත මාදරං නමාමි.

තේරුම:-

රාගාදි කෙලෙස් මල නැති හෙයින් ශුද්‍ධ වූ ආර්‍ය්‍යයන් විසින් පිරිවරන ලද්දා වූ අතිශයින් ශෝභාවත් වූ ශරීර කාන්තියෙන් රඤ්ජිත වූ ප්‍ර‍ඥා පුණ්‍ය සංඛ්‍යාත ශ්‍රී සමූහයාට වාසස්ථාන වූ ආරක්ෂා කරන ලද චක්ෂුරාදි ඉන්ද්‍රියයන් ගෙන් යුක්ත වූ සූර්‍ය්‍යමණ්ඩල චන්ද්‍ර‍ මණ්ඩලාදි ලක්ෂණ වලින් විචිත්‍ර‍ වූ පතුල් ඇත්තා වූ දෙවිමිනිසුන් විසින් පුදන ලද්දා වූ සුගතයන් වහන්සේ ආදරයෙන් වඳිමි.

19. මග්ගෝළුම්පේන මුහපටිඝාසාදි උල්ලෝල වීවිං

සංසාරෝඝංතරිත මභයං පාරපත්තං පජානං,

තාණං ලේණං අසම සරණං ඒකතිත්ථං පතිට්ඨං

පුඤ්ඤක්ඛෙත්තං පරමසුඛදං ධම්මරාජ නමාමි.

තේරුම:-

ආර්‍ය්‍ය අෂ්ඨාංගික මාර්ගය නමැති පසුරෙන් ලෝභ ද්වේෂ මෝහාදි මහරළ කුඩාරළ ඇත්තා වූ සංසාර සාගරය එතර කළාවූ ජාත්‍යදි භය රහිත වූ සංසාර සාගරයාගේ පරතෙරට පැමිණ වදාළා වූ සත්ත්වයනට ආරක්ෂාවක් වූ ද භයට පත් වූවන් සැඟවීමට ස්ථානයක් වූ ද අසහාය පිළිසරණයක් වූ ද නිවන නමැති පරතෙරට යාමට එකම තීර්ථය වූ ද සත්ත්වයනට පිහිට වූ ද පුණ්‍යක්ෂේත්‍ර‍ වූ ද පරම සුඛය දෙන්නා වූ ද ධර්මරාජයන් වහන්සේ වඳිමි.

20. කණ්ඩම්බ මූලේ පරහිතකරෝ යෝ මුනින්දො නිසින්නෝ,

අච්ඡෙරං සීසං නයන සුභගං ආකුලන්නග්ගි ජාලං

දුජ්ජාලද්ධංසං මුනහි ජහිතං පාටිහේරං අකාසි,

වන්දේ තං සෙට්ඨං පරම රතිජං ඉද්ධි ධම්මේහුපේතං.

තේරුම:-

පරහිතකර වූ යම් මුනීන්ද්‍ර‍යන් වහන්සේ කෙනෙක් කණ්ඩ නම් වූ අඹරුක මුල වැඩහිඳ ජනයන් විශ්මයට පත්කරන්නා වූ දෙවිමිනිසුන්ගේ නේත්‍ර‍යන්ට යහපත් වූ ජලයෙන් ආකුල ගිනිදැලින් යුක්ත වූ දෘෂ්ටි ජාලයන් විධ්වංසනය කරන්නා වූ සකල සර්‍වඥවරයන් වහන්සේලා විසින් නො හරන ලද්දා වූ ප්‍රාතිහාර්යය ශීඝ්‍රයෙන් කළ සේක් ද ශ්‍රේෂ්ඨ වූ පරම රතිජනක වූ සෘද්ධිධර්මයන්ගෙන් යුක්ත වූ ඒ මුනීන්ද්‍ර‍යන් වහන්සේ වඳිමි.

21. මුනින්දක්කෝ යවේකොදයුදයරුණෝ ඤාණවිත්තිණ්ණ බිම්බෝ

විනෙය්‍යප්පාණෝඝං කමල කථිකං ධම්මරංසී වරේහි

සුබෝධෙසි සුද්ධේ තිහවකුහරේ බ්‍යාපිතක්කිත්තිනඤ්ච

තිලෝකේකචක්ඛුං දුඛමසහනං තං මහේසිංනමාමි.

තේරුම:-

මහා කරුණා සංඛ්‍යාත අරුණාලෝකය ඇත්තා වූ ඥාන සංඛ්‍යාත පුළුල් මඩුලු ඇත්තා වූ අසහාය වූ යම් මුනීන්ද්‍ර‍ නමැති සූර්‍ය්‍යමණ්ඩලයක් භවත්‍ර‍ය නමැති විලෙහි ශුද්ධ වූ පද්මනමැති විනේයජන සමූහය උත්තම වූ ශ්‍රී සද්ධර්ම රශ්මියෙන් ප්‍රබෝධ කළ සේක් ද පතළා වූ කීර්ති ඇති තුන්ලොවට අසහාය නේත්‍ර‍යක් වූ සෙස්සන්ට ඉවසිය නොහෙන කරුණු ඉවසීමට සමත් වූ මහේර්ෂීන් වහන්සේ වඳිමි.

22. යෝ ජිනෝඅනේක ජාතියං සපුත්තදාරමංගජීවිතම්පි

බෝධිපේමතෝ අලග්ගමානසෝ අදාසියෙව අත්ථිකස්ස,

දානපාරමිං තතෝ පරං අපූරි සීලපාරමාදිකම්පි

තාසමිද්ධියො පයාත මග්ගතං තමේක දීපකං නමාමි.

තේරුම:-

පස්මරුන් දිනූ හෙයින් ජින නම් වූ යම් බුදුවරයන් වහන්සේ කෙනෙක් සම්බෝධිය කෙරෙහි ප්‍රේමයෙන් අඹුදරුවන් සහිත වූ ශරීරාවයවයන් ද ජීවිතය ද ඒවා කෙරෙහි ඇල්මක් නැතිව ඒවායින් වුවමනා තැනැත්තාට දුන් සේක් ද දාන පාරමිතාව ද නැවත ශීල පාරමිතාදිය ද පිරූ සේක් ද ඒ පාරමීන්ගේ සමෘද්ධියෙන් ලෝකයෙහි අග්‍ර‍ බවට පැමිණිසේක් ද ලෝකයාට අසහාය පිළිසරණක් වූ ඒ භාග්‍යවතුන් වහන්සේ වඳිමි.

23. දේවාදේවාති දේවං නිධන වපුධරං මාරභංගං අභංගං

දීපං දීපං පජානං ජයවරසයනේ බෝධිපත්තං ධිපත්තං

බ්‍ර‍හ්මා බ්‍ර‍හ්මාගතානං වරගිරකථිතං පාපහීනං පහීනං

ලෝකා ලෝකාභිරාමං සතත මහිනමේ තං මුනින්දං මුනින්දං

තේරුම:-

සම්මුතිදේව උප්පත්ති දේවයන්ට උත්තම හෙයින් අතිදේව වූ අන්තිම දේහය ධරන්නා වූ මාරයන් භංග කරන්නා වූ මාරයන්ට හිංසා කළ නොහෙන්නා වූ සත්ත්වයන්ට ප්‍ර‍ඥා නමැති පහන දල්වන්නා වූ උත්තම වූ බෝධි පර්ය්‍යංකයෙහි සම්බෝධියට පැමිණ වදාළා වූ ද නිවනට පැමිණ වදාළා වූ ද තමන් වහන්සේ වෙත පැමිණෙන මනුෂ්‍ය දිව්‍ය බ්‍ර‍හ්මයන්ට උත්තම වූ ධර්මය වදාරන්නා වූ හීන වූ පාපයන් අර්හත් මාර්ගයෙන් දුරු කළා වූ මනුෂ්‍ය දේවබ්‍ර‍හ්මය් ඇලුම් කරන්නා වූ පඤ්චවිධ මුනීන්ට ඊශ්වර වූ මුනීන්ද්‍ර‍යන් වහන්සේ සැමකල්හි වඳිමි.

24. බුද්ධෝ නිග්‍රෝධබිම්බෝ මුදුකරචරණෝ බ්‍ර‍හ්ම ඝෝසේණිජංඝෝ

කෝසච්ඡාදංගජාතෝ පුනරපි සුගතෝ සුප්පතිට්ඨිත පාදෝ,

මූදෝ දාතුණ්ණලෝමෝ අථමපි සුගතෝ බ්‍ර‍හ්මුජ්ජුගත්තභාවෝ

නීලක්ඛි දීඝපණ්හි සුඛුම මලඡවි ථෝම්‍යරසග්ග සග්ගී

තේරුම:-

බුදුරජාණන් වහන්සේ උසින් හා මණ්ඩලයේ සම වන නුග රුක සේ උසට සමාන වූ බඹයෙන් යුක්ත වන සේක. ළදරුවකුගේ අතුල් පතුල් සේ මොළොක් අතුල් පතුල් ඇති සේක. බ්‍ර‍හ්මයන්ගේ හඬ බඳු අෂ්ටාංග සමන්වාගත ස්වරයෙන් යුක්ත වන සේක. ඒණිමෘගයන්ගේ ජංඝා සෙයින් මසින් හාත්පසින් පිරුණු වට වූ ජංඝා ඇති සේක. වෘෂභාදීන්ගේ මෙන් කෝෂයෙන් වැසුණු පුරුෂව්‍යඤ්ජනය ඇති සේක. නැවත ද සුගතයන් වහන්සේ සැමතැනක්ම භූමියෙහි ස්පර්ශවන සම වූ පතුල් ඇති සේක. දෙබැම අතරෙහි පිහිටි මෘදු වූ සුදු වූ ඌර්ණරෝමය ඇති සේක. නැවත සුගතයන් වහන්සේ බ්‍ර‍හ්මයාගේ මෙන් සෘජුව පිහිටි ශ්‍රී දේහය ඇති සේක. නේත්‍ර‍යන්හි නිල් පැහැය ඇතිවිය යුතු තන්හි දියබෙරලිය මලට බඳු මනා නිල් පැහැයෙන් යුත් නේත්‍ර‍ ඇති සේක. සුදුසු සේ දික් වූ විළුම් ඇති සේක. ධූලි හෝ වැලි හෝ නො ඇලෙන සියුම් සිවිය ඇති සේක. වර්ණනා කළ යුතු අක් උඩුකුරුව පිහිටි රස නහර ඇති සේක.

25. චත්තාළීසග්ගදන්තෝ සමක ලපනජෝ අන්තරං සප්පපීනෝ

චක්කේනංකිත පාදෝ අචිරළ දසනෝ මාරපූසංඛපාදෝ

තිට්ඨන්තෝ නෝනමන්තෝභයකරමුදුනා ජණ්ණුකා නාමසන්තෝ

වට්ටක්ඛන්ධෝ ජිනෝ ගෝ තරුණපඛුමකෝ සීහ පුබ්බද්ධකායෝ.

තේරුම:-

උත්තම වූ සතළිසක් දත් ඇති සේක. කපා මට්ටම් කළාක් මෙන් සම ව පිහිටි දත් ඇති සේක. පරිපූර්ණ වූ පිට ඇති සේක. චක්‍ර‍ ලක්ෂණයන්ගෙන් යුත් පා ඇති සේක. අතර සිදුරු නැතිව මැනවින් පිහිටි දත් ඇති සේක. පස්මරුන් දිනූ තථාතයන් වහන්සේ උස්ව පිහිටි ගුල්ඵයෙන් යුත් පා ඇති සේක. මොළොක් වූ අත් යුවලින් සිට ගෙන නො නැමී දෙදණ පිරිමදිනා සේක. මනා කොට වට කළ කළයක කර සේ වට වූ ගෙල ඇති සේක. එකෙණෙහි උපන් රතුවස්සකුගේ ඇස් මෙන් විප්‍ර‍සන්න ඇස් ඇති සේක. සිංහයාගේ පූර්ව කය සෙයින් සැම තැනම පිරුණු කය ඇති සේක.

26. සත්තප්පීණෝ ච දීඝංගුලිමථසුගතෝ ලෝමකූපේකලෝමෝ

සම්පන්නෝදාත දාඨෝ කනක සම තචෝ නීල මුඬග්ගලෝමෝ

සම්බු‍‍ද්‍ධෝ ථූල ජිව්හෝ අථ සිහහනුකෝ ජාලිකප්පාදහත්ථෝ

නාථෝ උණ්හීස සීසෝ ඉති ගුණ සහිතං තං මහේසිං නමාමි.

තේරුම:-

තථාගතයන් වහන්සේ දෙඅත් පිටය දෙපා පිටය අංශකූට දෙකය පිටය යන සත් තැන්හි ඇට නහර නොපෙනෙන සේ පිරුණු මස් ඇති සේක. දිගින් සම වූ අත් පා ඇඟිලි ඇති සේ. එක් එක් රෝමකූපයක් එක් එක් ලෝමය බැගින් ඇති සේක. මැනවින් සුදුස වූ දාඨා ඇති සේක. ඔප දැමූ රන් පිළිමයක් සේ රන්වන් වූ සිවි පැහැ ඇති සේක. දක්ෂිණාවෘත්තව අග උඩ බලා සිටින අඤ්ජන වර්ණ රෝමයෙන් යුක්ත වන සේක. සම්බුද්ධයන් වහන්සේ වර්ණ සම්පන්න වූ දිග පුළුලැති ජිහ්වායෙන් යුක්ත වන සේක. සිංහයන්ගේ හනු සෙයින් ස්ථුල හනු ඇති සේක. දක්ෂ වඩුවකු විසින් නිමවන ලද දැල් කවුළුවක් බඳු අත් පා ඇති සේක. ලෝකනාථයන් වහන්සේ නළල්පටක් සේ පිහිටි මාංශපටලයකින් යුක්ත හිස ඇති සේක. ද්වත්‍රිංශත්වර මහා පුරුෂ ලක්ෂණ සංඛ්‍යාත මේ ගුණයෙන් යුක්ත වූ ඒ මහේර්ෂීන් වහන්සේ වඳිමි.

27. බුද්‍ධෝ බුද්‍ධෝති ඝෝසේ අති දුල්ලභතරෝ කා කථා බුද්‍ධභාවෝ

ලොකේ තස්මා විභාවී විවිධ හිතසුඛං සාධවෝ පත්ථයන්තා

ඉට්ඨං අත්ථං වහන්තං සුරනර මහිතං නිබ්භයං දක්ඛිණෙය්‍යං

ලෝකානං නන්දිවඩ්ඪනං දසබලමසමං තං නමස්සන්තු නිච්චං.

තේරුම:-

බුද්‍ධ බුද්‍ධ යන ඝෝෂය ද අතිදුර්ලභ ය. බුදුබව ගැන කියනුම කිම? එබැවින් ලෝකයෙහි නුවණැත්තා වූ සත්පුරුෂයෝ නානාප්‍ර‍කාර හිතසුඛයන් ප්‍රාර්ථනා කරමින් ඉෂ්ටාර්ථය සිදුකර දෙන්නා වූ දෙවි මිනිසුන් විසින් පුදනු ලබන්නා වූ නිර්භය වූ දක්ෂිණේය වූ ලෝකයාගේ සතුට වර්ධනය කරන්නා වූ අසම වූ ඒ දශබලයන් වහන්සේට නිරන්තරයෙන් නමස්කාර කෙරෙත්වා.