ධර්මකාය වන්දනා ක්‍ර‍මය

ධර්මවලින් ම බුදුරුව තමාගේ සිතින් නිර්මාණය කර ගෙන වන්දනා කරන මේ ක්‍ර‍මය පැරණි පුස්කොළ පොතක තුබූ දුර්ලභ වන්දනා ක්‍ර‍මයකි. මේ වන්දනා ක්‍ර‍මය ඉංගිරියේ මඩකඩ අරණ්‍ය සේනාසනයෙහි වැඩවෙසෙන මාබෝපිටියේ පඤ්ඤාරතන ආයුෂ්මතුන් වහන්සේ නිතර භාවිත කරති. අපට මෙය ලැබුණේ ඒ ආයුෂ්මතුන්ගෙනි.

වන්දනා වාක්‍යය:-

සබ්බඤ්ඤුත ඥාණපවර සීසං, නිබ්බාණාරම්මණ විලසිත කේසං, චතුත්ථජ්ඣාන පවර ලළාටං, වජිරඥාණ සමාපත්ති පවර උණ්ණාහාසං, නීළකසිණ සෝභාතික්කන්ත පවර භමුයුගලං, දිබ්බචක්ඛු පඤ්ඤා චක්ඛු සමන්තචක්ඛු බුද්ධචක්ඛු ධම්මචක්ඛු පවරචක්ඛු ද්වයං, දිබ්බසෝතඥාණ පවර සෝතද්වයං, ගෝත්‍ර‍භූ ඤාණ පවර උත්තුංග ඝාණං, මග්ගඵල විමුත්තිඵල ඤාණ පවර ගණ්ඩද්වයං, සත්තිංස බෝධිපක්ඛිය ඤාණපවර සුභ දන්තං, ලෝකිය ලෝකුත්තර ඤාණ පවර ඔට්ඨද්වයං, චතුමග්ග ඤාණ පවර චතුදාඨං, චතුසච්ච ඤාණපවර ජිව්හං, අප්පටිහ ඤාණ පවර හණුකං, අනුත්තර විමොක්ඛාධිගම ඤාණ පවර කණ්ඨං, තිලක්ෂණ ඤාණ පවර ගීවවිරාජිතං, චතුසච්ච ඤාණ පවර බාහුද්වයං, දසානුස්සති ඤාණ පවර වට්ටංගුලි සේභං. සත්තසම්බොජ්ඣංග පවර උරතලං, ආසයානුසය ඤාණ පවර ථන යුගලං, දසබල ඤාණ පවර මජ්ඣිමංගං, පටිච්චසමුප්පාද ඤාණ පවර නාභිං, පඤ්චින්ද්‍රිය පඤ්චබල පවර ජඝනං, චතුසච්චඤාණ පවර ඌරුද්වයං, දසකුසල කම්මපථ පවර ජංඝාද්වයං, චතුරිද්ධිපාද පවර පාදද්වයං, සීල සමාධි පඤ්ඤා පවර සංඝාටිං, හිරොත්තප්ප පවර පංසුකූල චීවරං, අට්ඨංගික මග්ග ඤාණ පවර අන්තරවාසකං, චතුසතිපට්ඨාන පවර කායබන්ධනං, අඤ්ඤෙසං දේව මනුස්සානං යස්ස තමග්ගාදි ඤාණං සබ්බඤ්ඤුත ඤාණාදි ධම්මකාය මනං, තං බුද්ධං නමේහං ලෝකනායකං.

තේරුම

සියල්ල දත් නුවණ නමැති උතුම් හිස ඇත්තා වූ නිවන් අරමුණ නමැති ලෙල දෙන කේශයන් ඇත්තා වූ, සිවුදහන් නමැති උතුම් නළල ඇත්තා වූ, වජිරඥාණ සමාපත්ති නමැති උතුම් ඌර්ණරෝම ශෝභා ඇත්තා වූ, නීල කසිනයාගේ අලංකාරය ඉක්මවා සිටින උතුම් බැම යුවල ඇත්තා වූ, දිබ්බචක්ඛු පඤ්ඤාචක්ඛු සමන්ත චක්ඛු බුද්ධචක්ඛු ධම්මචක්ඛු යන පඤ්ච ඤාණ නමැති උතුම් නෙත් යුවළ ඇත්තා වූ, දිව්‍යංශ්‍රෝත්‍ර‍ඥාන නමැති උතුම් කන් යුවල ඇත්තා වූ ගෝත්‍ර‍ඥ ඤාණ නමැති උතුම් උස් නාසය ඇත්තා වූ, මාර්ගඵල විමුක්ති ඵලඥාන නමැති උතුම් දෙකන්මුල් ඇත්තා වූ, සත්තිස්බෝධිපාක්ෂික ධර්ම නමැති උතුම් දන්තයන් ඇත්තා වූ, ලෞකික ලෝකෝත්තරඥාන නමැති උතුම් තොල් සඟල ඇත්තා වූ, සතර මාර්‍ග ඤාණ නමැති උතුම් දාඨා ඇත්තා වූ, චතුස්සත්‍යඥාන නමැති උතුම් දිව ඇත්තා වූ, අප්‍ර‍තිහත ඥාන නමැති උතුම් හනු ඇත්තා වූ, අනුත්තර විමෝක්ෂාධිගමඥන නමැති උතුම් කණ්ඨය ඇත්තා වූ, ත්‍රිලක්ෂණඥාන නමැති උතුම් ග්‍රීවය ඇත්තා වූ, චතුස්සත්‍ය ඥාන නමැති උත්තම බාහු ඇත්තා වූ දශානුස්මෘතිඥාන නමැති උතුම් වට ඇඟිලි ශෝභාව ඇත්තා වූ, සප්ත බෝධ්‍යංග නමැති උතුම් ළය ඇත්තා වූ, ආශයානුශයඥාන නමැති උතුම් තන යුවළ ඇත්තා වූ, දශබලඥාන නමැති උතුම් මධ්‍ය ශරීරය ඇත්තා වූ, ප්‍ර‍තීත්‍යසමුපත්පාදඥාන නමැති උතුම් නැබ ඇත්තා වූ, පඤ්චේන්ද්‍රිය පඤ්චබල නමැති උතුම් උකුල ඇත්තා වූ, චතුස්සත්‍යඥාන නමැති කලවා යුවළ ඇත්තා වූ, දශකුශලකර්මපථ නමැති උතුම් කෙණ්ඩා ඇත්තා වූ, සතර සෘද්ධිපාද නමැති උතුම් පා යුවල ඇත්තා වූ, ශීල සමාධි ප්‍ර‍ඥා නමැති උතුම් සඟල සිවුර ඇත්තා වූ, හිරිඔතප් නමැති පාංශුකූල චීවරය ඇත්තා වූ, අෂ්ඨාංගික මාර්ගඥාන නමැති උතුම් අඳන සිවුර ඇත්තා වූ, සතරසතිපට්ඨාන නමැති පටිය ඇත්තා වූ අන් දෙවිමිනිසුන්ට වඩා අතිශයින් බබලන්නා වූ, සර්‍වඥතාඥානාදි ධර්‍මකායචිත්තයන් ඇත්තා වූ, ලෝකනායක වූ ඒ බුදුරජාණන් වහන්සේ මම වඳිමි.