විවේක කාලය
දවල් වැඳීමෙන් පසු 2 දක්වා හෝ 2-30 දක්වා හෝ විවේක ගන්න. මුළු දවස ම වාඩිවීමෙන් හා සිටගෙන සිටීමෙන් ගත කිරීම අපහසු බැවින් විවේක කාලයේ හාන්සි වී හෝ වැතිරගෙන හෝ සිටින්න. එසේ සිටින කාලයේ කාමවිතර්කාදියෙන් තොරව යම්කිසි කමටහනක් මෙනෙහි කරන්න. සමහර විට එසේ සිටින ඔබට නින්ද යන්නට ද පිළිවන. නින්ද යාමෙන් ඔබේ ශීලයට හානියක් නොවනු ඇත. නින්ද ගියහොත් වේලාවට නැඟිට මුහුණ සෝදා ගෙන වැඩ පටන් ගන්න.
දවල් 2 සිට 5 දක්වා
විවේක කාලයෙන් පසු ගිලන්පස ඇති නම් වළඳා 5 වන තුරු දහම් පොත් කියවීම, දහම් ඇසීම, භාවනා කිරීම, ධර්ම සාකච්ඡා කිරීම යන මේ කටයුතුවල සුදුසු පරිදි යෙදෙන්න. දහම් පොත් කියවීම ධර්ම සාකච්ඡා කිරීම යන වැඩ දෙක එකවර ද කළ හැකිය. කියවීමට සමත් කෙනකු විසින් උපාසක පිරිසට අසා ගෙන සිටීම සඳහා දහම් පොතක් කියවන්න. ඒ අතර ඒ පොතේ කරුණු ගැන සාකච්ඡා කරන්න. සාකච්ඡා කරමින් ම දහම් පොත් කියවීම වඩා ප්‍රයෝජන ය.
5 සිට 6 දක්වා
මේ වත් පිළිවෙත් කරන කාලය ය. මේ කාලයේ දී මලසුන්වල ඇති උදේ පූජාකළ මල් ඉවත් කොට ඒවා පිරිසිදු කරන්න. විහාර ගෙය, චෛත්‍ය මළුව, බෝමළුව හැමද පිරිසිදු කරන්න. විහාරස්ථානයේ අපවිත්‍රව ඇති අනෙක් තැන් ද හැමද කසළ ඉවත් කොට පිරිසිදු කරන්න. මිදුල්වල තණ පැළවී ඇති නම් ඒවා උදුරා ඉවත් කරන්න. මේ දවසේ දී උදලු පාවිච්චි නොකිරීම වඩා හොඳ ය.
තව ද මේ කාලයේ දී සවස පූජාව සඳහා මල් පහන් සුවඳ දැහැත් ගිලන්පස පිළියෙල කරන්න. ඒවා පිළියෙල කර තබා සවස 6 ට නැවත ද සිල් සමාදන් වන්න. උදේ සමාදන් වූ ශීලය නොබිඳී නිර්මල ව ඇති නම් සවස සිල් සමාදන් නුවූව ද වරද නැත. වත් පිළිවෙත් කිරීමේ දී මේ ගාථාව සිහි කරමින් ඒවා කිරීම යහපති.
“බුද්ධෝති කිත්තයන්තස්ස
යස්ස කායේ භවති යා පීති
වරවෙ හි සා පීති
කසිනේනපි ජම්බුදීපස්ස”
“බුද්ධ යන වචනය කියන්නා වූ යමකුගේ කයෙහි යම් බුද්ධාලම්භන ප්‍රීතියක් ඇති වේ ද, ඒ ප්‍රීතිය අපමණ දෙවිමිනිස් සැප සම්පත් ලැබීමට හේතු වන ප්‍රීතියක් වන බැවින් මුළු දඹදිවට ද වඩා උතුම්ය” යනු එහි තේරුම ය.