වේදනාපච්චයා තණ්හා

star_outline

සසර සැරිසරන පෘථග්ජන සත්ත්වයන් විසින් ඉතා ම උසස් කොට සලකන දෙය සුඛ වේදනා, සෝමනස්ස වේදනාය යි කියනු ලබන සැපය ය. ඔවුන් සසර නො කලකිරෙන්නේ, මේ මහා දුඃඛස්කන්ධය ඔවුනට එපා නොවන්නේ, අතර අතර වත් ඇතිවන්නා වූ මේ සැපය නිසා ය. අඹු - දරු - නෑ - මිතුරු ආදීන් උතුම් කොට සලකනුයේ ද සැපය ලබාගැනීමට උපකාර වන පුද්ගලයන් නිසා ය. ආහාර පාන වස්ත්‍ර‍ ගෘහාදිය උතුම් කොට සලකනුයේ ද සැපය ලැබීමට උපකාර වන නිසා ය. උසස් කොට සලකන අඹු දරු ආදීන් නැති ව වස්තූන් නැති ව ඒ සැපය නිකම්ම ලැබේ නම් කිසිවෙක් පුත්‍ර‍ කලත්‍රාදීන් උසස් කොට නො සලකන්නාහ, ඔවුන්ට ඇලුම් නො කරන්නා හ. ආහාර පාන මිලමුදල් ආදිය උසස් කොට නො සලකන්නාහ. ඕවාට ඇලුම් නො කරන්නාහ. මෙසේ සත්ත්වයන් ඒ සැපය උසස් කොට සලකන බැවින් එය සඳහා ඔවුන් නොකරන දෙයක් නැත. නො ගන්නා දුකක් නැත.

සත්ත්වයන් විසින් ඉතා ම නපුරු කොට සලකන බිය වන දෙය නම් දුක්ඛ වේදනා, දෝමනස්ස වේදනාය යි කියනු ලබන දුකය. සත්ත්වයෝ යමක් කෙරෙත් නම් ඒ සියල්ල ම කරනුයේ සැප ලැබීම ය, දුක දුරු කර ගැනීම ය යන මේ දෙ කරුණ සඳහා ය. වේදයිත සුඛය උතුම් කොට ගන්නා වූ පෘථග්ජනයාහට ඉෂ්ට රූපාදීන් ගේ ස්පර්ශයෙන් සුඛ වේදනාව හෝ සෝමනස්ස වේදනාව හෝ ඇති වූ කල්හි “බොහෝ සැපය, බොහෝ ප්‍ර‍ණීත ය, ඉතා හොඳ ය” යනාදීන් සුඛ සෝමනස්ස වේදනා පිළිබඳ තෘෂ්ණාව ඇති වේ.

අනිෂ්ටාරම්මණයන්ගේ ස්පර්ශයෙන් දුඃඛ දෞර්‍මනස්‍ය වේදනාවන් ඇති වී එයින් පීඩිත කල්හි “සුවය ඕනෑ ය, සුවය ඕනෑ ය, සුවය කෙසේ ලබම් දැ” යි සුවය පිළිබඳ තෘෂ්ණාව ඇති වේ. දුඃඛයෙන් පීඩිත සත්ත්වයා හට සැපයක් නුවූයේ ද උපේක්‍ෂා වේදනාව මුත් ඇති වුවහොත් “මෙයත් ඇත, මෙයත් සැනසිල්ලෙක, මෙයත් සැපයකැ” යි උපේක්‍ෂා වේදනා පිළිබඳ ව ද තෘෂ්ණාව උපදී. මෙසේ සුඛදුඃඛෝපේක්‍ෂා සංඛ්‍යාත ත්‍රිවිධ වේදනාව ම නිසා තෘෂ්ණාව උපදනා බැවින් තථාගතයන් වහන්සේ “වේදනා පච්චයා තණ්හා” යි වේදනාව නිසා තෘෂ්ණාව උපදීය යි වදාළ සේක. වේදනා ප්‍ර‍ත්‍යයෙන් හටන්නා වූ තෘෂ්ණාව කවරෙක් ද යන බව දැක්වීම පිණිස විභංගපාළියෙහි මෙසේ වදාළ සේක.

“තත්ථ කතමා වේදනාපච්චයා තණ්හා? රූප තණ්හා සද්දතණ්හා ගන්ධතණ්හා රසතණ්හා පොට්ඨබ්බ තණ්හා ධම්මතණ්හා. අයං වුච්චති වේදනා පච්චයා තණ්හා.”

“රූප තෘෂ්ණාවය, ශබ්ද තෘෂ්ණාවය, ගන්ධ තෘෂ්ණාවය, රස තෘෂ්ණාවය, ස්ප්‍ර‍ෂ්ටව්‍ය තෘෂ්ණාවය, ධර්ම තෘෂ්ණාවය යන මේ වේදනා ප්‍ර‍ත්‍යයෙන් හටගන්නා තෘෂ්ණාව ය” යි එයින් දැක්වේ.

චක්ඛායතන මනායතන දෙක්හි ස්පර්ශ වන රූපය පිළිබඳ තෘෂ්ණාව රූපතෘෂ්ණාව ය. සෝතායතන මනායතන දෙක්හි ස්පර්ශ වන ශබ්දය පිළිබඳ තෘෂ්ණාව ශබ්ද තෘෂ්ණාව ය. ඝාණායතන මනායතන දෙක්හි ස්පර්‍ශ වන ගන්ධය පිළිබඳ වූ තෘෂ්ණාව ගන්ධ තෘෂ්ණාව ය. ජිව්හායතන මනායතන දෙක්හි ස්පර්ශ වන රසය පිළිබඳ වූ තෘෂ්ණාව ගන්ධ තෘෂ්ණාව ය. ජිව්හායතන මනායතන දෙක්හි ස්පර්ශ වන රසය පිළිබඳ වූ තෘෂ්ණාව රස තෘෂ්ණාවය. කායායතන, මනායතන දෙක්හි ස්පර්ශ වන ස්ප්‍ර‍ෂ්ටව්‍යය පිළිබඳ තෘෂ්ණාව ස්ප්‍ර‍ෂ්ටව්‍ය තෘෂ්ණාව ය. මනායතනයෙහි පමණක් ස්පර්ශ වන ධම්මාරම්මණය පිළිබඳ තෘෂ්ණාව ධර්ම තෘෂ්ණාව ය.

වේදනාව නිසා සවැදෑරුම් තෘෂ්ණාව ඇති වන වැඩෙන සැටි මෙසේ දත යුතුය. ඉතා උස් නො වූ ඉතා මිටි නො වූ ඉතා කළු නො වූ ඉතා සුදු නො වූ ඉතා ස්ථුල නො වූ ඉතා කෘශ නො වූ මනා හැඩහුරුකම ඇත්තා වූ තරුණ වියෙහි වූ කාන්තාවකගේ ශරීරයෙහි, දුටුවන් ගේ සිත් නෙත් පිනවන්නා වූ ඇදගන්නා වූ ප්‍රබෝධ කරන්නා වූ සිත් නෙත්වලට සුව එළවන්නා වූ කාමුක පුරුෂයන්ගේ සිත් අවුල් කරන්නා වූ එක්තරා ස්වභාවයක් ඇත්තේ ය. එයට රූපරසය ය යි කියනු ලැබේ. ඒ කාන්තාව පුරුෂයකු ගේ නෙතට හමුවන කල්හි ඒ පුරුෂයා කෙරෙහි චක්ඛු සම්ඵස්සය හා මනෝ සම්ඵස්සය ඇති වේ. ඒ ස්පර්‍ශයෙන් පුරුෂයා ගේ සිතට කාන්තාව ගේ රූප රසය මතුකර දෙනු ලැබේ. ඒ හේතුවෙන් පුරුෂයා ගේ සන්තානයෙහි “මේ කාන්තාව බොහොම හොඳය, බොහොම ලස්සන ය” යි රූප රසය ගන්නා වූ විඳින්නා වූ වේදනාව ඇති වේ. ඒ වේදනාව නිසා පුරුෂයා ගේ සිත පිනා යේ. හිරු රැස් පහස ලත් පද්මයක් සේ ප්‍රබෝධ වේ. සිතට අනුව ඔහු ගේ මුහුණ ද ප්‍රබෝධ වේ. පැහැපත් වේ. එබැවින් පුරුෂයාට ඒ වේදනාව ඉතා අගය ඇති දෙයකි. ඉතා රස ඇති දෙයකි. ඉතා මිහිරි දෙයකි. එබැවින් ඒ පුරුෂයාට “බොහො ම සැප ය, බොහො ම හොඳ ය, බොහො ම මිහිරිය” යි වේදනාව පිළිබඳ තෘෂ්ණාවක් ඇති වේ.

වේදනාව එක්තරා ධර්මයකි. එබැවින් වේදනාව සම්බන්ධයෙන් උපදනා වූ තෘෂ්ණාවට ධර්මතෘෂ්ණාව ය යි කියනු ලැබේ. මිහිරි වූ ඒ සෝමනස්ස වේදනාව ඇති වූයේ කාන්තාවක ගේ රූප රසය නිසා ය. එබැවින් මිහිරි වූ ඒ සෝමනස්ස වේදනාවට හේතු වන රූප රසය පිළිබඳව ද “බොහො ම ලස්සන ය, බොහො ම හොඳ ය” කියා තෘෂ්ණාව ඇති වේ. රූප රසය නිසා හටගන්නා වූ ඒ තෘෂ්ණාවට රූප තෘෂ්ණාව ය යි කියනු ලැබේ.

ගිනිකූරක හටගත්තා වූ කුඩා ගිනි පුපුර වියළි කොළ ගොඩකට පිදුරු ගොඩකට පැමිණ මහ ගිනි කඳක් වන්නාක් මෙන් රූප රසය නිසා වරක් හටගත්තා වූ ඒ තෘෂ්ණාව රූප රසය හා සම්බන්ධ ඒ ඒ දෙයට පැමිණ මහා තෘෂ්ණා ස්කන්ධයක් වේ. ඒ මෙසේය :-

රූප රසයට ඇලුම් කරන තැනැත්තේ, ඒ රූප රසය නිසා රූපරසය ඇති වස්තුව වූ ඒ ස්ත්‍රී ශරීරයට, ‘මේ ස්ත්‍රිය බොහොම ලස්සනය, බොහොම හොඳය, බොහොම ප්‍රියංකරය’ යි ඇලුම් කරයි. ශරීරය පිළිබඳ ඇල්ම නිසා ඒ ශරීරය සරසන්නා වූ වස්ත්‍රාභරණ සුවඳ විලවුන් ආදිය ගැන ඇල්ම ඇති වේ. ඒ ස්ත්‍රිය තමා අයත් කර ගැනීමේ ආශාව ඇති වේ. ඉන්පසු ඇගේ ඥාතීන් පිළිබඳ තෘෂ්ණාව ඇති වේ. ඇය පෝෂණය කිරීමට වුවමනා ආහාර පාන ඇඳ පුටු මේස යාන වාහනාදිය පිළිබඳ තෘෂ්ණාව ඇති වේ. ඉඩකඩම් ගෙවල් පිළිබඳ තෘෂ්ණාව ඇති වේ. උවමනා දෑ ලබා ගැනීමට තිබිය යුතු මිල මුදල් පිළිබඳව තෘෂ්ණාව ඇති වේ. මෙසේ ඒ රූපතෘෂ්ණාව එකින් එකට පැමිණෙමින් මහා තෘෂ්ණාස්කන්ධයක් වන්නේ ය. ඒ තෘෂ්ණාව රූප ශබ්දාදීන් අතුරෙන් කවරකට පැමිණ වැඩුනේ වී නමුත් රූපරසය මුල් කොට ඇති බැවින් එයට රූපතෘෂ්ණාව ය යි කියනු ලැබේ.

මේ තෘෂ්ණාස්කන්ධයෙන් දීර්ඝ කාලයක් පුද්ගලයා දවනු තවනු ලැබේ. මේ කියන ලදුයේ ස්ත්‍රී රූපයක් සම්බන්ධයෙන් තෘෂ්ණාව ඇති වන ආකාරය යි. මෙසේ රූපතෘෂ්ණාව උපදිනුයේ ස්ත්‍රී රූපය සම්බන්ධයෙන් පමණක් නොවේ. රූප රසය ඇත්තා වූ පණ ඇති නැති වස්තූහු ලෝකයෙහි ඉතා බොහෝය. රූපරසය ආස්වාදනය කරන වේදනාව ඇති වුවහොත් කවර රූපයක් සම්බන්ධයෙන් වුව ද රූපතෘෂ්ණාව ඇති වී වැඩෙන්නේ ය. ඒවා ඈත් වී වැඩෙන සැටි එකින් එක කියතහොත් කෙළවරක් දැකීම දුෂ්කරය. කියන ලද්ද අනුව නො කී රූපයන් සම්බන්ධයෙන් තෘෂ්ණාව ඉපද වැඩෙන සැටි සලකා ගත යුතු ය.

ශබ්දයන්හි ඇත්තා වූ මිහිරි බව ශබ්ද රසය යි. තරුණ තරුණියන් ගේ හඬෙහි ද, ළමා හඬෙහි ද, තූර්‍ය්‍ය භාණ්ඩයන් ගේ හඬෙහි ද එය වඩාත් ඇත්තේ ය. ගන්ධයන්හි ඇති මිහිරි බව ගන්ධ රසය යි. ආහාර පානයන්හි ඇති පැණි රස - තික්ත රස - ලුණු රස - ඇඹුල් රස - කසට රස - කටුක රස යන මේවායේ ඇති මනෝඥ භාවය රස රසය යි. ශරීරයෙහි සැපෙන තද බව - මොළොක් බව - සිහින් බව - මහත් බව - සිසිල් බව - උණුසුම් බව යන ආදියෙහි ඇත්තා වූ ප්‍රියංකර ස්වභාවය ස්ප්‍ර‍ෂ්ටව්‍ය රසය යි. ශබ්ද රසාදි මේ රස සතර නිසා ශබ්දතෘෂ්ණාදි තෘෂ්ණා සතර ඉපදී මහ ගිනි කඳු සේ වැඩී සත්ත්වසන්තානය දවන තවන ආකාරය රූපතෘෂ්ණාව සම්බන්ධයෙන් කී කරුණු අනුව සලකා ගත යුතුය. දීර්ඝ වන බැවින් මෙහි නො දක්වනු ලැබේ.

රූප - ශබ්ද - ගන්ධ - රස - ස්ප්‍ර‍ෂ්ටව්‍ය යන පසෙන් අන්‍ය වූ සියල්ලට ම කියන සාමාන්‍ය නාමය ‘ධර්‍ම’ යනු යි. එකිනෙක වෙන් වශයෙන් කියත හොත් ධර්ම බොහෝ ය. අනේක ප්‍රභේද වූ ඒ ධර්මයන් කෙරෙහි ද අනේකාකාර මනෝඥ ස්වභාවයෝ වෙති. සාමාන්‍යයෙන් ඒ සියල්ලට ම ධර්ම රසයයි කියනු ලැබේ. ධර්ම රසය විඳින වේදනාව නිසා ධර්ම රසය සම්බන්ධයෙන් හටගන්නා වූ තෘෂ්ණාවට ධර්ම තෘෂ්ණාව ය යි කියනු ලැබේ.

ජීවිතය, චක්ෂුරාදි ඉන්ද්‍රිය, ශරීර ශක්තිය, කීමෙහි දක්‍ෂ බව, වැඩ කිරීමෙහි දක්‍ෂ බව, වීර්‍ය්‍යය, නිර්භීත බව, ශූර බව, නුවණ, කරුණාව, මෛත්‍රිය, ශ්‍ර‍ද්ධාව, පවට ලජ්ජාව, පවට බිය, ලෝභය, දෘෂ්ටිය, මානය, ද්වේෂය, ප්‍රාණඝාතය, අදත්තාදානය, කාමමිථ්‍යාචාරය, මෘෂාවාදය, සුරාපානය, දානය, ශීලය, භාවනාව, සමාධිය යන මේවා තෘෂ්ණාවට හේතුවන ධර්මරසය ඇත්තා වූ අරමුණුවලින් සමහරෙකි. මේවායින් එක එකක් නිසා ධර්ම තෘෂ්ණාව ඇති වී වැඩෙන සැටි දක්වන්නට ගිය හොත් ග්‍ර‍න්ථය ඉතා දීර්ඝ වන බැවින් ක්‍ර‍මය තේරුම් ගත හැකි වනු පිණිස කරුණු දෙක තුනක් නිසා ධර්ම තෘෂ්ණාව ඇති වන සැටි පමණක් මෙහි දක්වනු ලැබේ.

යම් කිසි පිය කෙනකුට වීර්‍ය්‍යවත් දරුවෙක් ඇත්තේ ය. වීර්‍ය්‍යය අර්ථදායක එක්තරා ධර්මයකි. එබැවින් පුතා ගේ වීර්‍ය්‍යය අරමුණු වන කල්හි පියා ගේ සිතෙහි ප්‍රබෝධයක් සුඛස්වභාවයක් ප්‍රීතියක් ඇති වේ. පුතා ගේ වීර්‍ය්‍යයෙහි ඇති පියා ගේ සිත ප්‍රබෝධ කළ හැකි ප්‍රීතිමත් කළ හැකි ස්වභාවය වීර්‍ය්‍ය සංඛ්‍යාත ධර්මයා ගේ රසය යි. පුත්‍ර‍යාගේ වීර්‍ය්‍යය පියා ගේ සිතට අරමුණු වන කල්හි ඇතිවන්නා වූ ස්පර්ශයෙන් වීර්‍ය්‍ය සංඛ්‍යාත ධර්මයා ගේ රසය මතු වෙයි. ඒ හේතුවෙන් ‘මේ වීර්‍ය්‍යය බොහො ම හොඳ ය, බොහොම උතුම්ය’ යි ඒ රසය විඳින්නා වූ සෝමනස්ස වේදනාව පහළ වේ. ඒ වේදනාව නිසා පුත්‍ර‍යා ගේ වීර්‍ය්‍යය ඉතා යහපතැ යි තෘෂ්ණාව හටගන්නේ ය. පළමුකොට වීර්‍ය්‍යය සම්බන්ධයෙන් හටගත්තා වූ ඒ තෘෂ්ණාව ‘මගේ පුතා බොහොම හොඳය’ යි පුත්‍ර‍යා ගේ සම්පූර්ණ පඤ්චස්කන්ධයට පැමිණ මහත් වෙයි. පුත්‍ර‍යා හට වුවමනා තවත් නොයෙක් දෙයට පැමිණ තවත් මහත් වෙයි.

ප්‍රේමය යනු ලෝභයට ම නමෙකි. තරුණියක් තරුණයකුට ප්‍රේම කරයි. ප්‍රේමය යි කියන ලෝභය තරුණයා ගේ සිත්හි ස්පර්ශ වූ කල්හි එහි ඇති ඉෂ්ටාකාරය වූ ධර්මරසය විඳින සෝමනස්ස වේදනාව තරුණයා කෙරෙහි ඇති වෙයි. ඒ සෝමනස්සය නිසා තරුණයා ගේ සන්තානයෙහි ඒ ප්‍රේමය ගැන තෘෂ්ණාවක් ඇති වෙයි. ඉක්බිති “මැය මාහට ප්‍රේම කරන්නියකැ” යි ඇගේ පඤ්චස්කන්ධයට ම ඒ තෘෂ්ණාව පැමිණ මහත් වෙයි. ඉන්පසු ඒ ස්ත්‍රිය සතුටු කරවීමට උවමනා නොයෙක් දෙයට පැමිණ ඒ තෘෂ්ණා නමැති වෘක්ෂය අතුපතරින් වැඩේ. මෙසේ කෙනකු ගේ සන්තානයෙහි හටගත් ලෝභය නිසා තවත් කෙනකුගේ සන්තානයෙහි තෘෂ්ණා ස්කන්ධයක් පහළ වේ. සමහර විට තමා තුළ හටගත්තා වූ එක් තෘෂ්ණාවක් අරමුණු කොට ද එසේම තෘෂ්ණා ස්කන්ධයක් පහළ වේ.

යම් කිසිවක් ඇතකු සිංහයකු ව්‍යාඝ්‍ර‍යකු වැනි නපුරු සතකු මරයි. පසු ව ඔහුට ‘මහ සපන් කමක් කෙළෙමි’ යි ප්‍රාණඝාතයේ රසය විඳින සෝමනස්ස වේදනාවක් ඇති වේ. ඉක්බිති ප්‍රාණඝාතය නමැති තමා කළ දස්කම පිළිබඳ ව තෘෂ්ණාව හටගනී. පසුය එය මානාදියට ද එක් වී මහත් වේ. තමන් ගේ සේවකයන් දරුවන් ආදීන් කෙනකු එබඳු ක්‍රියාවන් කළ අවස්ථාවල දී අනුන් කළ ප්‍රාණඝාතය නිසා ද තෘෂ්ණා ස්කන්ධයක් ඇති වේ. නො කියන ලද කරුණු සම්බන්ධයෙන් ද ධර්ම තෘෂ්ණාව ඇති වී වැඩෙන සැටි කල්පනා කළ යුතු. මේ සවැදෑරුම් තෘෂ්ණාවන් අතුරෙන් එක එකක් කාම තෘෂ්ණාව ය, භව තෘෂ්ණාව ය, විභව තෘෂ්ණාව ය යි තුන් ආකාර වන බව ද දක්වා තිබේ.