“තත්ථ කතමා ඵස්සපච්චයා වේදනා? චක්ඛු සම්ඵස්සජා වේදනා, සෝතසම්ඵස්සජා වේදනා, ඝාණ සම්ඵස්සජා වේදනා, ජිව්හාසම්ඵස්සජා වේදනා, කාය සම්ඵස්සජා වේදනා, මනෝසම්ඵස්සජා වේදනා, අයං වුච්චති ඵස්ස පච්චයා වේදනා”
යනුවෙන් විභංගපාළියෙහි චක්ඛුසම්ඵස්සජ වේදනා ය, සෝත සම්ඵස්සජ වේදනා ය, ඝාණසම්ඵෂ්සජ වේදනා ය, ජිව්හා සම්ඵස්සජ වේදනා ය, කායසම්ඵස්සජ වේදනා ය, මනෝසම්ඵස්සජ වේදනා ය යන වේදනා සය ස්පර්ශය නිසා හටගන්නා වේදනාව ය යි දක්වන ලදී. රස විඳීමේ ආකාරයෙන් වනාහි සුඛ වේදනාවය, දුඃඛ වේදනාවය, උපේක්‍ෂා වේදනාව ය යි ස්පර්ශය නිසා හටගන්නා වූ වේදනාව තුන් ආකාර වේ.
විඥානය කරණ කොට ගෙන දැනගන්නා වූ දේවලට ආරම්මණය යි කියනු ලැබේ. අරමුණුවල හොඳ බවක් හෝ නරක බවක් හෝ මධ්‍යස්ථ බවක් හෝ ඇත්තේ ය. අරමුණුවල ඇති ඒ ස්වභාව තුනට ආරම්මණරසය යි කියනු ලැබේ. ආරම්මණය අනෙකකි. ආරම්මණරසය අනෙකකි. ඒ දෙක එකක් කොට නො සැලකිය යුතුය. රසය ආරම්මණයේ ගුණ විශේෂයකි. විඥානයෙන් ආරම්මණය දැනගනී. එහෙත් එහි රසය විඥානයට නො දැනේ. යම් කිසිවක් අරමුණු කොට විඥානය උපදනා කල්හි එය හා සමග ස්පර්ශ චෛතසිකය ද උපදී. ස්පර්ශයෙන් තොර ව කිසිකලෙක විඥානයක් නූපදී. ස්පර්ශය විඥානයට අරමුණු ගැනීමට උපකාර වේ. ස්පර්ශය නිසා ආරම්මණයේ රසය මතු වෙයි. ආරම්මණ රසය මතුකිරීම ස්පර්ශයා ගේ විශේෂ කෘත්‍යයකි.
ආරම්මණ රසය මතු කර දෙන්නා වූ ඒ ස්පර්ශ චෛතසිකය යුෂය බැහැර කරනු පිණිස දෙහි ගෙඩියක් දොඩම් ගෙඩියක් මිරිකන්නා වූ අත මෙන් ද රසය දිවට ලබා දීම සඳහා ආහාරය තළන්නා වූ සුණු කරන්නා වූ දත් පෙළ මෙන් ද දත යුතු ය. ස්පර්ශය ආරම්මණ රසය මතු කරන නමුත් රසය නො දනී. ස්පර්ශයෙන් ආරම්මණ රසය මතු කළ කල්හි ඒ රසය ගන්නා වූ විඳින්නා වූ ස්වභාවයක් ඇති වේ. මෙහි වේදනාව ය යි කියනු ලබනුයේ ඒ රසය ගන්නා වූ ස්වභාවයට ය. එය විඥාන ස්පර්ශ දෙකින් අන්‍ය වූ චෛතසික ධර්මයකි. ලෝකයෙහි වේදනාව ය යි කියනුයේ දුකට ය. මෙහි වේදනාව ය යි කියනුයේ සැපය දුකය මධ්‍යස්ථභාවය යන තුනට ම ය.
හොඳ අරමුණක හොඳ බව ස්පර්ශයෙන් මතු කළ කල්හි එය ගන්නා වූ විඳින්නා වූ ස්වභාවයට සුඛවේදනාව ය යි ද සෝමනස්ස වේදනාව ය යි ද කියනු ලැබේ. නපුරු බව ඇති අරුමණක නපුරු බව ගන්නා වූ විඳින්නා වූ ස්වභාවයට දුඃඛ වේදනාව ය යි ද, දෝමනස්ස වේදනාව ය යි ද කියනු ලැබේ. මධ්‍යම අරමුණක මධ්‍යම බව ගන්නා වූ විඳින්නා වූ ස්වභාවයට අදුක්ඛමසුඛ වේදනාවය යි ද, උපේක්‍ෂා වේදනාව ය යි ද කියනු ලැබේ. ආරම්මණයන් ගේ නිශ්චිත හොඳ නරක බවක් නැත. කෙනකුට සුන්දර දෙය කෙනකුට නපුරකි. කෙනකුට නපුරු දෙය කෙනකුට සුන්දර දෙයකි. සර්පයාට සැපින්න පරම සුන්දර අරමුණකි. මැඩියාට නම් නපුරකි. කාල දේශ ද්වාරාදි වශයෙන් ද ආරම්මණයන්ගේ ඉටු අනිටු බව කිය යුතු ය.
විඥාන - වේදනා දෙක්හි ම බලාබල බව ස්පර්ශයට අනුව සිදු වේ. දුර තිබෙන දෙයක් සම්බන්ධයෙන් ඇති වන්නේ මන්දස්පර්ශයකි. එබැවින් එය දක්නා තැනැත්තාට එය සම්බන්ධයෙන් ඇති වන්නේ ආරම්මණ තත්ත්වාකාරයෙන් ගැනීමට අසමර්ථ වූ දුබල විඥානයකි. ඒ විඥානය සමග උපදිනුයේ ද ආරම්මණ රසය මනා කොට නො ලබන්නා වූ නො විඳින්නා වූ දුබල වේදනාවකි. අරමුණ සියුම් වන කල්හි ද ස්පර්ශය දුබල වීමෙන් දුබල විඥාන - වේදනාවෝ උපදිති. යම් කිසි කරුණකින් ස්පර්ශය දුබල වූ කල්හි සුඛ සෝමනස්ස වේදනාවන්ට නිසි ඉටු අරමුණ සම්බන්ධයෙන් ද උපේක්‍ෂා වේදනාවම වේ. දෝමනස්ස වේදනාවට නිසි අනිටු අරමුණු සම්බන්ධයෙන් ද උපේක්‍ෂා වේදනාව වේ. කවර ආකාරයකින් හෝ ස්පර්ශය ඇති වුව හොත් වේදනාව ඇති වීමට කිසි බාධාවක් නැත. වේදනාවගේ උත්පත්තිය වැළැක්වීමට සමර්ථ බලයක් හෝ පුද්ගලයෙක් ද නැත. ස්පර්ශය ඇති වුවහෝත එයට අනුව වේදනාව ද ඇතිවන්නේ ම ය. එබැවින් තථාගතයන් වහන්සේ ‘ඵස්සපච්චයා වේදනා’ යනු වදාළ සේක.