“තත්ථ කතමං තණ්හාපච්චයා උපාදානං? කාමූපාදානං, දිට්ඨුපාදානං, සීලබ්බතුපාදානං, අත්තවාදුපාදානං ඉදං වුච්චති තණ්හාපච්චයා උපාදානං” යනුවෙන් කාමුපාදානය, දිට්ඨුපාදානය, සීලබ්බතුපාදානය, අත්තවාදුපාදානය යන සතර; තෘෂ්ණා හේතුවෙන් හටගන්නා උපාදානය යි ප්‍රකාශිත ය.
ආදාන යන වචනයේ තේරුම ගැනීම යනු යි. සර්පයකු විසින් මැඩියකු ගන්නාක් මෙන් ද, කබරගොයකු විසින් සර්පයකු ගන්නාක් මෙන් ද ලෙහෙසියෙන් නො හරින පරිද්දෙන් තදින් ගැනීමට උපාදානය යි කියනු ලැබේ. සිත්හි හටගන්නා යම් ධර්මයක් තෙමේ අරමුණ එසේ තදින් ගැනීම කෙරේද, ඒ ධර්මයට ද උපාදානය යි කියනු ලැබේ. මෙහි උපාදානය යි කියනුයේ අරමුණ එසේ තදින් ගැනීම කරන චෛතසික ධර්මයන්ට ය. ඔවුහු කියන ලද සතර දෙන ය. සංක්ෂේපයෙන් කියත හොත් උපාදාන යනු තෘෂ්ණා දෘෂ්ටි යන ධර්ම දෙක ය.
කාමුපාදානය කවරේ දැයි කොටින් කියත හොත් ප්‍රිය කරන්නා වූ අඹු - දරු - නෑ - මිතුරු ආදි පුද්ගලයන් හා ඇත් - අස් - ගව - ආහාර - පාන - ගෙවල් - වස්ත්‍ර - රන් - රිදී - මුතු - මැණික් - කෙත් - වතු - මිල - මුදල් ආදි පණ ඇති නැති වස්තූන් ද ඕනෑම ය කියා තදින් ගන්නා වූ ද, අයත් කරගන්නා වූ ද, මිදවීමට පහසු නො වූ නැවත නැවත ඇති වීමෙන් කල් පැවතීමෙන් වැඩුනා වූ ද ලෝභය කාමුපාදාන ය යි කිය යුතු ය.
“කාම” යන වචනයෙන් කැමති විය යුතු වස්තුය, ඒවාට කැමති වන්නා වූ තෘෂ්ණාවය යන අර්ථ දෙක ම ලැබෙන්නේ ය. ‘කාම’ යන වචනයේ අර්ථය කැමති විය යුතු - ඇලුම් කළ යුතු දෙය ය යි ගන්නා කල්හි, කැමති විය යුතු වස්තු වූ කාමය තදින් ගන්නා වූ ධර්මය කාමුපාදාන නම් වේ. ‘කාම’ යන වචනයෙන් ඇලුම් කරන තෘෂ්ණාවය යන අර්ථය ගන්නා කල්හි තෘෂ්ණා සංඛ්‍යාත තදින් ගැනීම හෙවත් තදින් ගැනීම කරන තෘෂ්ණාව කාමුපාදාන නම් වේ.
ඇටයෙන් පැළ වූ සැටියේ ම ගස ඉතා දුබලය. එය පහසුවෙන් නැසිය හැකි ය. තිබෙන තැනින් පහ කළ හැකි ය. වර්ෂ ගණනක් ගතවීමෙන් ඒ පැළය විශාල ප්‍රදේශයක් වසා සිටින අතු පතර ඇති පොළොවේ බොහෝ යටට කා වැදුණු බොහෝ දුර පැතිර ගිය බොහෝ ලොකු කුඩා මුල් ඇති, අලියකු විසින් ද නො සෙල්විය හැකි හෛසියෙන් නො නැසිය හැකි ලෙහෙසියෙන් තිබෙන තැනින් නො පහ කළ හැකි මහ ගසක් වන්නේ ය. එකල්හි එය පැළයක් නො වේ. එමෙන් යම් කිසි අරමුණෙක ප්‍රථම කොට දුබල තෘෂ්ණාවක් උපදී. එය මහ ගසක් නොවී නැසී යන පැළයක් මෙන් සමහර විට ඉබේම ද දුරුවන්නේ ය. දුරු කිරීමට උත්සාහ කළහොත් පහසුවෙන් ම දුරු කළ හැකි වන්නේ ය. මුලදීම දුරු නොවී ඒ අරමුණෙහි නැවත නැවත ඒ තෘෂ්ණාව උපදින්නට පටන් ගත හොත් නැවත නැවත ඉපදීම් වශයෙන් පරණ වුව හොත් පැළය සේම වැඩී අන්තිමේ දී ලෙහෙසියෙන් නො නැසෙන දුරළීමට අතිශයින් දුෂ්කර වූ බලවත් තෘෂ්ණාවක් වන්නේ ය. බලවත් වූ ඒ තෘෂ්ණාවට කාමුපාදානය යි කියනු ලැබේ.
උපාදානත්වයට පැමිණි තෘෂ්ණාවක් දුරු කරවීම බුදුවරයකුට වුව ද පහසු නැත. තමන් වහන්සේ ගේ සස්නෙහි පැවිදි වූ නන්ද කුමාරයන් ගේ තෘෂ්ණාව දුරු කරවීමට හා පන්සියයක් ශාක්‍ය-කෝලිය කුමාරවරුන් ගේ තෘෂ්ණාව දුරු කරවීමටත් තථාගතයන් වහන්සේට බොහෝ වෙහෙසෙන්නට සිදු වූයේ එහෙයිනි. වැඩුණු තෘෂ්ණාව ය, නො වැඩුණු තෘෂ්ණාව ය යන දෙක ධර්ම වශයෙන් සම වුව ද, පැළය හා මහ ගස මෙන් එකිනෙකට තත්ත්වයෙන් ඉතා වෙනස්ය. යම්කිසි අරමුණක නැවත නැවත තෘෂ්ණාව උපන හොත් එය වැඩී බලවත් වීම ඒකාන්තයෙන් ම සිදු වන්නකි.
යම්කිසි භාණ්ඩයක් ප්‍රථමයෙන් දුටු කල්හි එය හොඳ ය ලස්සනය යි පළමුකොට තෘෂ්ණාව උපදී. එය නැවත නැවතත් උපදනා කල්හි ඒ බඩුව තමන් අයිති දෙයක් කර ගැනීමේ ආශාව ඇති වේ. අයිති කරගත් පසු නැවත අන්‍යයකුට අයත් නො වන සැටියට, නො නැසෙන සැටියට, ආරක්‍ෂා කිරීමේ ආශාව ඇති වේ. මෙසේ තෘෂ්ණාව ක්‍රමයෙන් වැඩීමට පැමිණේ. ස්ත්‍රී පුරුෂයන් සම්බන්ධයෙන් උපදනා වූ ද ඇතැම් ආහාරයන් සම්බන්ධයෙන් උපදනා වූ ද, මත්ස්‍ය මාංශ සම්බන්ධයෙන් උපදනා වූ ද, මද්‍යයන් සම්බන්ධයෙන් උපදනා වූ ද, මෛථුනය සම්බන්ධයෙන් උපදනා වූ ද සූදුව සම්බන්ධයෙන් උපදනා වූ ද, මිල මුදල් සම්බන්ධයෙන් උපදනා වූ ද තෘෂ්ණාව, විශේෂයෙන් ම වැඩී උපාදානත්වයට පැමිණෙන්නේ ය. ‘වේදනාපච්චයා තණ්හා’ යන තන්හි දැක්වෙනුයේ නො වැඩුණු දුබල තණ්හාව ය. “තණ්හා පච්චයා උපාදානං” යන මෙහි ගැනෙනුයේ වැඩීමෙන් බලවත් වූ තෘෂ්ණාව ය. රූපාදි ආරම්මණ විෂයෙහි වේදනා ප්‍රත්‍යයෙන් තෘෂ්ණාව නූපන හොත් උපාදාන නම් වූ දෘඪතෘෂ්ණාව නූපදනේ ය. එය උපදිනුයේ පළමු දුබල තෘෂ්ණාව උපන හොත් පමණෙකි. තෘෂ්ණාව නිසා උපාදානය වේ ය යි වදාළේ එහෙයිනි.
දිට්ඨුපාදාන - සීලබ්බතුපාදාන - අත්තවාදුපාදාන යන තුන ගන්නා ආකාරයන් ගේ වශයෙන් තුනක් වතු දු ධර්ම වශයෙන් එකක් වූ දෘෂ්ටිය ම ය. දැකීමට - දැනීමට - පිළිගැනීමට දිට්ඨිය යි කියනු ලැබේ. එය ද සම්මාදිට්ඨි - මිච්ඡාදිට්ඨිය යි දෙවැදෑරුම් වේ. යම් කිසිවක ඇති සැටිය - සිදුවන සැටිය - නිවැරදි ව දැකීම සම්මාදිට්ඨිය යි. යම් කිසිවක් ඇති සැටියෙන් අන්‍යාකාරයකට දැකීම හා යම්කිසි හේතුවකින් සිදු වන්නක් එයින් අන්‍ය හේතුවකින් සිදුවන සැටියට හෝ ඉබේ ම සිදුවන සැටියට හෝ දැකීමත්, නැති දෙයක් ඇති සැටියට දැකීමත්, ඇති දෙයක් නැති සැටියට දැකීමත් මිථ්‍යා දෘෂ්ටිය යි. අකුශල කථා විෂයෙහි මිථ්‍යාදෘෂ්ටිය දැක්වීමට නොයෙක් විට දිට්ඨි යන්න පමණක් ම ද යොදනු ලැබේ. දිට්ඨුපාදාන යනු ද එ බඳු තැනකි. දිට්ඨි උපාදානාදි උපාදාන තුන විස්තර කිරීමේ දී අන්තිම උපාදානය වූ අත්තවාදුපාදානයේ පටන් විස්තර කළ කල්හි අවබෝධ කර ගැනීම පහසු ය. එබැවින් එසේ කරනු ලැබේ.
වැරදි හැඟීම් නිසා සත්‍ය වශයෙන් නැත්තා වූ මම ය කියා දෙයක් ඇති සැටියට ගෙන “මම ය, මම ය” යි කථා කෙරෙත් ද, ඒ මම ය යි කියනු ලබන දෙය ඇති සැටියට තදින් ගැනීම, නො හොත් තදින් ගන්නා ස්වභාවය අත්තවාදූපාදානය යි. සැපදුක් විඳිමින් සිතමින් කියමින් වැඩ කරමින් සිත කය දෙකට අධිපතිකම් කරමින් එක් එක් සන්තානයක් පාසා පවත්නා වූ ප්‍රධාන දෙයකට ලෝකයෙහි ආත්මය යි කියනු ලැබේ. ඒ ඒ තැනැත්තා විසින් එයට කියනුයේ මම ය කියා ය. කෙනකු විසින් මම ය යි කියන දෙයට අන්‍යයෝ නුඹ ය යි ද, තමුසේ ය යි ද, අප්පුහාමි රාළහාමි ය යි ද, හාමුදුරුවෝ ය යි ද, ජේමිස් අප්පු, ජුවානිස් අප්පු, කරෝලිස් අප්පුය යි ද, මව ය, පියා ය, සහෝදරයා ය, සහෝදරිය යි ද, සමහර විට මුදලිතුමා මුහන්දිරම් තුමා රජතුමා ය යි ද කියති.
නුඹ - තමුසේ - අප්පුහාමි - රාළහාමි යනාදි වචන වලින් කියැවෙන දෙය හා මමය යන වචනයෙන් කියැවෙන දෙය එකක් ම බව දත යුතු. මමය යන වචනයෙන් කියැවෙන, ආත්මය කියවෙන වචන පමණ, අන් කිසි ම අර්ථයක් කියවෙන වචන කිසිම භාෂාවක නැත. ඒ අර්ථය දැක්වීමට භාෂාවල එපමණ මහත් රාශියක් වචන ඇත්තේ ලෝකයා විසින් එය අන් හැම දෙයට ම වඩා උසස් කොට ප්‍රධාන කොට ගන්නා බැවිනි. ඒ ආත්මය මම ය නුඹ ය යනාදීන් කොතෙක් මහත්කොට - කොතෙක් උසස් කොට ගන්නා ලද්දක් වුවද එය මිනිසුන් ගේ සිත්වල මිස සත්‍ය වශයෙන් ඇතියක් නම් නො වේ. එය කල්පනා මාත්‍රයක් මිස, සත්‍ය වශයෙන් ඇතියක් නොවන බව, ලෙහෙසියෙන් තේරුම්ගත නො හැක්කේ ද, ආත්මයක් ඇතය යන හැඟීම උපාදානයක් වී තිබෙන හෙයිනි.
නුඹ ය - මම ය යනාදි වචනවලින් කියවෙන ආත්මය සත්‍ය වශයෙන් නො ලැබෙන්නක් බව දත හැකි වනුයේ, නුඹ සේ මම සේ සත්ත්වයන් පුද්ගලයන් සේ පෙනෙන, නාම රූප ධර්ම සමූහයන් මැනවින් බෙදා ඒවා ඇති වන නැති වන සැටිද බැලීමෙනි. ගඟක් ඇති සැටියට ලෝකයා සලකති. ඒ ගඟ කුමක්ද? ජලය ගඟ නම් කළයේ වතුර ද ගඟ විය යුතුය. ජලය ගලායන බිම ගඟ නම් ජලය නැති කල්හි ද ඒ බිම ගඟ විය යුතු ය. එසේ ද නො වේ. එගොඩ ඉවුර හෝ මෙගොඩ ඉවුර හෝ ගඟ යයි කියත හොත් ජලය නැති බිමත් ගඟ විය යුතු වේ. ජලයත් ගලායන බිමත් ඉවුරු දෙකත් හැර ගඟක් ද නැත. මෙසේ වෙන්කර බලන කල්හි ගඟ නො ලැබෙන්නේ, එය මිනිසුන් ගේ සිත්හි මිස අන් තැනක සත්‍ය වශයෙන් නැති බැවිනි.
ගඟ මෙන් ම මමය - නුඹය යනාදීන් සලකන දෙය වූ ආත්මය ද, සත්‍ය වශයෙන් නො ලැබෙන්නක් බැවින්, ආත්ම වශයෙන් සලකන නාමරූප ධර්ම සමූහයක් බෙදා බැලූ කල්හි නැති වන්නේ ය. අතුරුදහන් වන්නේ ය. ඒවායේ ඉපදීම් බිඳීම් දෙක ගැන පරීක්‍ෂා කළ හොත් වඩාත් කාරණය පැහැදිලි වන්නේ ය.
බැලීම - ඇසීම - කෑම - බීම - කථාකිරීම යනාදිය සිදු කරන කර්තෘ කෙනකු ඇති විය යුතු ය. ‘ආත්මය ඒ කර්තෘය’ යනු බොහෝ දෙනා ගේ හැඟීම ය. ඒ හැඟීම ඇති වන්නේ බැලීම් ඇසීම් ආදිය සිදු වන සැටි නො දැනීම නිසා ය. මෙය තේරුම් ගැනීමට ඒවා සිදු වන සැටිය ගැන කල්පනා කළ යුතු ය. බෙරයට අතින් ගසන කල ගැසීමට අනුව කුඩා වූ හෝ මහත් හෝ හඬක් නැඟේ. ගැසිය හැකි බව මිස හඬ නංවන ශක්තියක් අතට නැත. පහර ඉසිලීමේ ශක්තිය මිස හඬ නැඟිය හැකි ශක්තියක් හෝ හඬ නැඟීමේ අදහසක් හෝ බෙරයෙහි ද නැත. ඒ හඬ බෙරයත් අතත් දෙකේ ගැටීම නිසා තෙමේ ම හටගත් දෙයකි. එහෙත් බෙරය හඬ නගති යි ලෝකයා සිතති. එමෙන් ඇසෙහි රූපච්ඡායා ගැටුණ කල්හි ඒ හේතුවෙන් ගැටුණු රූපයාගේ ආකාරය ගන්නා විඥානයක් පහළ වේ. එයින් ඒ රූපය දැනෙයි. පෙනීම ය යි කියනුයේ ද ඒ විඥානය පහළ වීමට ය. බෙර හඬ එකෙණෙහි නැති වන්නාක් මෙන් දැකීම නම් වූ ඒ විඥානය එකෙණෙහි ම නිරුද්ධ වන්නේ ය.
ඇසට බැලීමේ අදහසක් හෝ බැලිය හැකි ශක්තියක් හෝ නැත. ඇස බලන්නේ ද නැත. දැකීමය යි කියන විඥානයට ද ඇසෙහි රූප නො ගැටුණ හොත් ඉපදිය හැකි ශක්තියක් නැත. ඒ දැකීම නම් ඇසත් රූපත් අතර සිදු වන ගැටීම නිසා ඉබේ ම සිදු වන්නකි. මේ සිදුවීමේ ආකාරය නොදැනීම නිසා, “මම බලමි ය, මම දකිමි ය” යන හැඟීම ඇති වේ. දක්නා විඥානය පහළ වනුයේ ද ගැටීම සිදු වන සැටියට ය. වඩා දුර නො වූ ද වඩා ළං නො වූ ද තැනෙත තිබෙන, වඩාම කුඩා නො වූ ද රූපයක් ඇසෙහි ගැටුණ හොත් ඒ වස්තුවේ ආකාරය ඉතා හොඳින් ගන්නා වූ බලවත් වූ විඥානයක් පහළ වේ. ආලෝකය මඳ වුවහොත් ඒ ඒ පමණට දුබල වූ පෙනීමක් වේ. දුර වන කල්හි ද එසේම ය. අරමුණ ඉතා දුර වී නම් පෙනීම වනුයේ ඒ වස්තුවේ නියම ආකාරයට බොහෝ වෙනස් ආකාරයකිනි. අහසේ දුර තිබෙන ඉර හඳ තරුවල සැබෑ තත්ත්වය නො දත හැක්කේ එහෙයිනි.
අභ්‍යන්තරයෙහි බැලීම් කරන, බැලිය හැකි ශක්තියක් ඇති, මම ය කියා කෙනකු හෙවත් ආත්මය කියා දෙයක් ඇති නම් සෑම කල්හි ම ඒ ආත්මයට ඒ ඒ වස්තූන් ඇති සැටියට ම බැලිය හැකි විය යුතු ය. එසේ නොහැකි වනුයේ, ඇසේ හොඳ නොහොඳ බවේ සැටියටත්, ආලෝකයේ අඩු වැඩි කමේ සැටියටත් වස්තුව දුර වීම් ළං වීම් දෙකේ සැටියටත් නොයෙක් ආකාරයෙන් සිදු වන්නා වූ එය, ඉබේ ම සිදුවන්නක් මිස කෙනකු විසින් කරන්නක් නො වන බැවිනි. ඇසීම, සිතීම, කථා කිරීම, වැඩ කිරීම යනාදිය සිදු වන්නේ ද පෙනීම සිදු වන ලෙස කරන කෙනකු නැතිවම ය. කරුණු මෙසේ හෙයින් පෘථග්ජන ලෝකයා සලකන සැටියට සත්‍ය වශයෙන් ලැබෙන මම ය - නුඹ ය - ආත්මය කියා දෙයක් නැති බව දත යුතු ය. නැත්තා වූ ආත්මයක් ඇති සැටියට ගැනීම මිථ්‍යා දෘෂ්ටියකි. අත්තවාදූපාදානය යනු දැඩි වූ ඒ දෘෂ්ටිය ය.
හිමියකු නැති දෙයක් දුටු කල්හි එයට ආශාව ඇති වූ තැනැත්තේ ම එය අයිති කර ගනී. ආශාව ඇති නො වූ තැනැත්තේ ම එය හැර යයි. එමෙන් පඤ්චස්කන්ධය හොඳ ය කියා එය ගැන තෘෂ්ණාවක් ඇති වුවහොත් ඒ පඤ්චස්කන්ධය මම ය - ආත්මය ය කියා තදින් ගනී. තෘෂ්ණාව නූපන්න හොත් ඒ ගැනීම නො කරයි. තෘෂ්ණාව ඇති වුවහොත් ඒ ගැනීම සිදුවන බැවින් මේ පටිච්චසමුප්පාද දේශනයෙහි තෘෂ්ණාව නිසා අත්තවාදුපාදානය වන බව ද වදාළ සේක. දෘෂ්ටීන් අතුරෙන් ප්‍රධාන කොට සැලකිය යුතු දෘෂ්ටිය අත්තවාදුපාදාන නම් වූ මේ ස්වකාය දෘෂ්ටිය ය. එය නැති කර ගතහොත් එයින් ම දෘෂ්ටි සියල්ල ම දුරු වන්නේ ය. හැම දෘෂ්ටියක් ම නැඟ එන්නේ මේ ස්වකාය දෘෂ්ටියේ සම්බන්ධය ඇති ව එහි ශාඛාවක් වශයෙනි. ස්වකාය දෘෂ්ටිය ප්‍රධානය යි කියනුයේ එ හෙයිනි.
උපාදාන සතර අතුරෙන් කාමුපාදාන අත්තවාදුපාදාන දෙක බෞද්ධාබෞද්ධ සැමට ම සාධාරණ වශයෙන් ඇති වන්නේ ය. දිට්ඨුපාදාන සීලබ්බතුපාදාන දෙක ඇතිවනුයේ අබෞද්ධයන්ට පමණකි. ඒකාන්තයෙන් සසර දුකින් එතර කොට නිවනට පැමිණවීමේ සත්‍ය මාර්ගය දක්වන්නා වූ තථාගතයන් වහන්සේ ගේ අත්‍යුත්තම ධර්මය නො ඇසූ නොම දත් ඇතැම්හු, අලුත් පව් කිරීම නවත්වා, දුක් විඳීමෙන් කළ පව් ගෙවා අවසන් කොට ශුද්ධියට පැමිණෙන්නට සිතූහ. තිිසන් සතුන් හැසිරෙන සේ හැසිරීම ඔවුන් ගෙන් සමහරකු එය සඳහා ගත් මග ය. ගවයා ගේ ප්‍රකෘති චාරිත්‍රය ගෝශීල නමි. එනම් සතර පයින් යාම, සතර පයින් සිටීම, බිමම හිඳීම හා නිදීම, අතින් නො ගෙන බිම තිබෙන දෙය මුවෙන් ම කෑම, මලමුත්‍ර කොට පවිත්‍ර කර නො ගැනීම, නො බිනීම යන මේවා ගවයා ගේ ප්‍රකෘති චාරිත්‍රයෝ ය.
සර්වසම්පූර්ණත්වයෙන් හෝ ඒක දේශයකින් හෝ සමාදන් වූවහුගේ ඒ ප්‍රතිපත්තිය ගෝව්‍රත නමි. බල්ලා ගේ ප්‍රකෘති චාරිත්‍රය කුක්කුරශීල නම් වේ. එය සමාදන් වූවහුගේ ප්‍රතිපත්තිය කුක්කුරව්‍රත නමි. බොහෝ දුක් ගෙන මේ ව්‍රතයන් රක්‍ෂා කළේ වී නමුත් එයින් ඔවුන් අදහස් කරන ශුද්ධිය හෝ දේවත්වය-බ්‍රහ්මත්වය හෝ කිසි කලෙක ඔවුනට නො ලැබෙන්නේ ය. කුක්කුරව්‍රතය සමාදන් ව රක්‍ෂා කළ කෝරක්ඛත්තිය නම් නිගණ්ඨයා සතර අපායෙන් එකකට අයත් වූ කාළකඤ්ජික අසුර නිකායෙහි උපන් බව ‘දීඝනිකායේ’ පාථික සූත්‍රයෙහි දක්වා තිබේ.
මේ ගෝශීල ගෝව්‍රතාදියෙන් මරණින් මතු නරකයෙහි හෝ තිරිසන් යෝනියෙහි හෝ උපදනා බව ‘මජ්ඣිම නිකායේ’ කුක්කුරවතිය සූත්‍රයෙහි ද වදාරා තිබේ. ගෝශීල ගෝව්‍රතාදියෙන් ශුද්ධියක් ලැබේය යි ගැනීම වැරදි ගැනීමක් බැවින් මිථ්‍යාදෘෂ්ටියකි. ගෝශීල ගෝව්‍රත කුක්කුරශීල කුක්කුරව්‍රතාදියෙන් ශුද්ධියක් වන බව පරම සත්‍යයක් කොට තදින් ගැනීම නැතහොත් එසේ ගන්නා වූ මිථ්‍යා දෘෂ්ටිය සීලබ්බතුපාදානය යි. පඤ්චස්කන්ධයට ඇලුම් නො කරන්නකුට මෙම දෘෂ්ටිය ඇති නො වේ. ඇති වනුයේ පඤ්චස්කන්ධයට ඇලුම් කොට එය ආත්ම වශයෙන් ගෙන ඒ ආත්මය සැපයෙන් යුක්තකිරීමේ ක්‍රම නුනුවණින් සොයන්නහුට ය. තෘෂ්ණාව නිසා සීලබ්බතුපාදානය ඇති වන බව වදාළේ එහෙයිනි.
ලෝකයේ බොහෝ දෘෂ්ටීහු ඇතහ. බ්‍රහ්මජාල සූත්‍රයෙහි දෘෂ්ටි දෙසැටක් දක්වා තිබේ. අන්තවාදුපාදාන සීලබ්බතුපාදාන දෙකට නො ගැනෙන්නා වූ, ‘කිසිදු සැකයක් නැතිව, අන් ඒවා හිස් ය, මෙය ම පරම සත්‍යය’ යි දැඩි කොට ගන්නා වූ සකල දෘෂ්ටීහු ම දිට්ඨුපාදාන නම් වේ. මෙය ම සත්‍යය යි දැඩි කොට ගැනීමක් නැති වැරදි හැඟීම්, දෘෂ්ටි වුව ද උපාදාන සංඛ්‍යාවට නො ගැනෙයි.
ධම්මසංගණී ප්‍රකරණයෙහි :-
තත්ථ කතමං දිට්ඨුපාදානං? නත්ථි දින්නං, නත්ථි යිට්ඨං, නත්ථි හුතං, නත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකෝ, නත්ථි අයං ලෝකෝ, නත්ථි පරෝ ලෝකෝ, නත්ථි මාතා, නත්ථි පිතා, නත්ථි සත්තා ඕපපාතිකා, නත්ථි ලෝකේ සමණබ්‍රාහ්මණා සමග්ගතා සම්මා පටිපන්නා යෙ ඉමඤ්ච ලෝකං පරඤ්ච ලෝකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවේදෙන්ති.
යනාදීන් මිථ්‍යාදෘෂ්ටි දශයක් දිට්ඨුපාදානය දක්වන තන්හි ස්වරූපයෙන් උද්ධරණය කොට දක්වා තිබේ.
ඒ දශය නම් :-
- ‘දීමෙන් ඵලයක් නැත ය’ යනු එකකි.
- ‘යිට්ඨ නම් වූ මහාදාන මහා පූජාවන්ගෙන් ඵලයක් නැත ය’ යනු එකකි.
- ‘හුත නම් වූ ප්‍රතිග්‍රාහකයන් කැඳවා දෙන දානය, පැමිණියා වූ ආගන්තුකයනට දෙන දානය, ආවාහ විවාහාදියෙහි මංගලය පිණිස දෙන දානය යන මේවායේ ඵලයක් නැත ය’ යනු එකකි.
- ‘දශ කුශලය දශ අකුසලය යන හොඳ නරක දෙකින් වන ඵලයක් නැත ය’ යනු එකකි.
- ‘පරලොව්හි සිටින්නවුන්ට නැවත පැමිණීමට මෙලොවක් නැත ය’ යනු එකකි.
- ‘මෙලොව සිටින්නවුන්ට මරණින් මතු යාමට පරලොවක් නැත ය’ යනු එකකි.
- ‘මවට කරන හොඳ නරකකින් වන ඵලයක් නැත ය’ යනු එකකි.
- ‘පියාට කරන හොඳ නරකකින් වන ඵලයක් නැත ය’ යනු එකකි.
- ‘නැවත නැවත මැරි මැරී උපදනා සත්ත්වයෝ නැත ය’ යනු එකකි.
- ‘යම්කිසි ප්‍රතිපත්තියක බලයෙන් මෙලොව පරලොව දෙක ඇති බව හරියට ම දැන ප්‍රකාශ කරන ශ්‍රමණබ්‍රාහ්මණ කෙනෙක් නැත ය’ යනු එකකි.
මෙම දෘෂ්ටි සියල්ල ම ඇතිවන්නේ පඤ්චස්කන්ධයට ඇළුම් කොට නුනුවණින් එය සැපවත් කිරීමේ ක්‍රම සොයන කල්හි ය. එබැවින් තෘෂ්ණාව නිසා දිට්ඨුපාදානය ද ඇති වේය යි කියනු ලැබේ.