සළායතනපච්චයා ඵස්සෝ

ෂඩායතනය නිසා පහළ වන්නා වූ ඵස්සය විභංග පාළියේ දැක්වෙන්නේ -

“තත්ථ කතමෝ සළායතනපච්චයා ඵස්සෝ? චක්ඛුසම්ඵස්සෝ, සෝතසම්ඵස්සෝ, ඝාණසම්ඵස්සෝ, ජිව්හාසම්ඵස්සෝ, කායසම්ඵස්සෝ, මනෝසම්ඵස්සෝ, අයං වුච්චති සළායතන පච්චයා ඵස්සෝ” යනුවෙනි.

  1. චක්ඛුසම්ඵස්සය,
  2. සෝතසම්ඵස්සය,
  3. ඝාණසම්ඵස්සය,
  4. ජිව්හාසම්ඵස්සය,
  5. කායසම්ඵස්සය,
  6. මනෝසම්ඵස්සය,

යන සය ෂඩායතනය නිසා පහළ වන ඵස්සය යි එයින් දැක්විණ. ‘නාමරූප පච්චයා සළායතනං’ යනුවෙන් ආයතන සයක් පමණක් දක්වන ලද නමුත් ආයතන දොළොසක් ඇත්තේ ය. එයින් කියන ලද චක්ඛායතනාදි සයට ආධ්‍යාත්මිකායතනය යි කියනු ලැබේ. රූපායතනය, සද්දායතනය, ගන්ධායතනය, රසායතනය, ඵොට්ඨබ්බායතනය, ධම්මායතනය යි චක්ඛායතනාදියෙහි ගැටෙන ආයතන සයක් ද වේ. ඒවාට බාහිරායතනය යි කියනු ලැබේ. ‘නාමරූප පච්චයා සළායතනං’ යන තන්හි දැක්වෙන ආධ්‍යාත්මිකායතන පමණක් ම ස්පර්ශය ඇති කිරීමෙහි සමත් නො වේ. ස්පර්ශය හටගන්නේ ආධ්‍යාත්මිකායතන බාහිරායතන දෙපක්ෂයේ ම සහයෝගයෙනි. එහෙත් නිදානවග්ගසංයුත්තයෙහි “චක්ඛුං ච පටිච්ච රූපේ ච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණං, තිණ්ණං සඞ්ගති ඵස්සෝ” යි වදාරන ලදී. ඇසත් රූපයත් නිසා චක්ෂුර් විඥානය උපදනේ ය. ඇසය, රූපය, චක්ෂුර්විඥානය යන තිදෙනා ගේ එක්වීම ඵස්සය ය යනු එහි තේරුම යි. ඵස්සය ඇති වීමට බාහිරායතනයන් ගේ ද සහයෝගය ලැබිය යුතු බැවින් ස්පර්ශයා ගේ ප්‍ර‍ත්‍යය සැටියට ආධ්‍යාත්මිකායතන සයය, බාහිරායතන සයය යන දොළොස ම ගත යුතු ය.

කැටපත්-දිය ආදි ඔපය ඇති වස්තූන්හි ඉදිරියට පැමිණි වස්තුවේ ඡායාව තමන් තුළට ගන්නා ස්වභාවයක් ඇතුවාක් මෙන් චක්ඛායතනය යි කියන ලද චක්ෂුඃප්‍ර‍සාදයෙහි ඉදිරියට පැමිණි වස්තුවේ ඡායාව තමන් තුළට ගන්නා ස්වභාවයක් ඇත්තේ ය. එයට ප්‍ර‍සාදය යි කියනුයේ ද එහෙයිනි. ප්‍ර‍සාද යන වචනයේ තේරුම ඔපය යනු යි. ඇසෙහි පිහිටි ඔපය නොහොත් ඇස නමැති ඔපය චක්ෂුඃප්‍ර‍සාදය යි. රූපයෙහි මෙන් ම ශබ්දයෙහි ද ඡායාවක් ඇත්තේ ය. එය රූපච්ඡායාව මෙන් ඇසට පෙනෙන දෙයක් නො වේ. සෝතායතනය යි කියනු ලබන ශ්‍රෝත්‍ර‍ ප්‍ර‍සාදයෙහි තමා තුළට ශබ්දච්ඡායාව ගන්නා ස්වභාවයක් ඇත්තේ ය. ඝාණ ජිව්හා කායායතනයන්හි ද ගන්ධ රස ස්පර්ශයන් ගන්නා ස්වභාවයක් ඇත්තේ ය. මනායතනයෙහි බාහිරායතන සයම ගන්නා ස්වභාවයක් ඇත්තේ ය.

චක්ෂුඃප්‍ර‍සාදයට රූපච්ඡායාවක් වැටීම ඒ වස්තූන් ගේ සැටියට ගද ඝට්ටනයකි. ශ්‍රෝත්‍ර‍ප්‍ර‍සාදාදියෙහි ශබ්දාදීන් ගේ ගැටීම ද එසේ ය. බෙර ඇසත් අතත් දෙක එකට ගැටුණු කල්හි ශබ්දයක් පහළ කරවන ශක්තියක් ඒ දෙක්හි ඇතුවාක් මෙන් ද, ගිනිකූරක් හා ගිනිපෙට්ටියක් එකට ගැටුණු කල්හි ගින්නක් ඇති කරවන ශක්තියක් ඒ දෙක්හි ඇතුවාක් මෙන් ද, ආයතනයන්හි ඔවුනොවුන් එක්වීම් වශයෙන් ගැටුණු කල්හි විඥානයක් පහළ කරවීමේ ශක්තියක් ඇත්තේ ය. චක්ඛායතනයෙහි රූපායතනය පැමිණ ගැටුණු කල්හි චක්ෂුර්විඥානය පහළ වේ. සෝතායතනයෙහි ශබ්දායතනය ගැටුණු කල්හි සෝතවිඤ්ඤාණය පහළ වේ. ඝාණායතනයෙහි ගන්ධායතනය ගැටුණු කල්හි ඝ්‍රාණ විඥානය පහළ වේ. ජිව්හායතනයෙහි රසායතනය ගැටුණු කල්හි ජිව්හාවිඥානය පහළ වේ. කායායතනයෙහි පොට්ඨබ්බායතනය ගැටුණු කල්හි කායවිඥානය පහළ වේ. මනායතනයෙහි ධම්මායතනය ගැටුණු කල්හි මනෝවිඥානය පහළ වේ. මනායතනයෙහි චක්ඛායතනාදි පස ගැටීමෙන් ද මනෝවිඥානය පහළ වේ.

චක්ඛායතනය, රූපායතනය, චක්ෂුර්විඥාන සංඛ්‍යාත මනායතනය යන ධර්ම තුන එක් වූ කල්හි චක්ඛුසම්ඵස්සය ඇති වේ. චක්ඛුසම්ඵස්සය යනු එකිනෙක වෙන් නො කළ හැකි සේ චක්ෂූර් විඥානය හා සැදී, එහි ම අංගයක් ව චක්ඛායතනය ඇසුරු කොට, රූපායතනය අරමුණු කොට උපදනා වූ එක්තරා චෛතසික ධර්මයකි. “තිණ්ණං සංගති ඵස්සෝ” යි චක්ඛායතන රූපායතන චක්ඛුවිඤ්ඤාණයන් ගේ එක්වීම ඵස්සය යි වදාරා තිබීම පර්‍ය්‍යාය කථාවෙකි. එය සෞත්‍රාන්තික දේශනාවේ ස්වභාවයකි. කාරණය ගැන නො සලකා වචනයෙහි පමණක් එල්ලී අර්ථය ගන්නට ගියහොත් එ බඳු තැන්වල දී වැරදීම් සිදු වේ. වචනය අනුව ම සිතා ව්‍යඤ්ජනච්ඡායාවට රැවටී එක් වීම් මාත්‍ර‍ය ම ඵස්සය යි වරදවා නො ගත යුතු ය.

සෝතායතනය සද්දායතනය සෝතවිඤ්ඤාණය යන තුන එක් වූ කල්හි වෙන් නො කළ හැකි සේ සෝත විඤ්ඤාණය හා බැඳී, සෝතවිඤ්ඤාණයාගේ අවයවයක් වැනි වී සෝතායතනය ඇසුරු කොට, සද්දායතනය අරමුණු කොට සෝතසම්ඵස්සය ඇති වේ. ඝාණසම්ඵස්සාදි සතර ඇති වන සැටි ද, කියන ලද්දට අනුව තේරුම් ගත යුතු ය. යම් කිසි සත්ත්වයකුට චක්ෂුරාදි ආයතන පහළ වී නිරුපද්‍රිතව පැවතුණ හොත් ඒවායේ රූපාදි අරමුණු සැපී විඥාන ඇති වී ඵස්සයන් ද ඇති වීම ඒකාන්තයෙන් සිදුවන්නකි. ‘සළායතන පච්චයා ඵස්සෝ’ යි වදාළේ එහෙයිනි.