නාමරූපපච්චයා සළායතනං

තත්ථ කතමං නාමරූපපච්චයා සළායතනං? චක්ඛායතනං, සෝතායතනං, ඝාණායතනං, ජිව්හායතනං, කායායතනං, මනායතනං ඉදං වුච්චති නාම රූප පච්චයා සළායතනං

යනුවෙන් විභංගපාළියෙහි චක්ඛායතනය, සෝතායතනය, ඝාණායතනය, ජිව්හායතනය, කායායතනය, මනායතනය යන මේ සය නාමරූපයන් නිසා හට ගන්නා වූ ආයතන සය ය යි දක්වන ලදි.

එහි චක්ෂුර්විඥානය යි කියනු ලබන රූප දක්නා සිතට උත්පත්තිස්ථාන වන්නා වූ ඇසෙහි පිහිටි ඔපය චක්ඛායතනය යි. ශ්‍රෝත්‍ර‍විඥානය යි කියනු ලබන හඬ දැනගන්නා වූ සිතට උත්පත්තිස්ථාන වූ කනෙහි පිහිටි ඔපය සෝතායතනය යි. ඝ්‍රාණවිඥානය යි කියනු ලබන ගඳ දැනගන්නා වූ සිතට උත්පත්තිස්ථානය වූ නාසය තුළ පිහිටි ඔපය ඝාණායතනය යි. ජිහ්වා විඥානය යි කියනු ලබන රස දන්නා වූ සිතට උත්පත්තිස්ථාන වන දිවෙහි පිහිටි ඔපය ජිව්හායතනය යි. කායවිඥානය යි කියනු ලබන තද බැව් සිසිල් බැව් උණුසුම් බැව් ආදිය දන්නා සිතට උත්පත්තිස්ථාන වන ශරීරයේ ඇතුළත පිහිටි දෙක්හි පිහිටි ඔපය කායායතනය යි. චක්ෂුඃප්‍ර‍සාද ශ්‍රෝත්‍ර‍ප්‍ර‍සාද ඝ්‍රාණප්‍ර‍සාද ජිහ්වාප්‍ර‍සාද කායප්‍ර‍සාදය යි කියනුයේ ද මේ පසටම ය. රූප ශබ්දාදි හැම අරමුණු ම දැනගන්නා වූ විඥානය මනායතනය යි.

ආයතනය යි කියනු ලබන මේ චක්ෂුරාදීහු රූපාදි අරමුණු ගැනීමට උපකාර වී බොහෝ චිත්ත චෛතසිකයන් ඇති කිරීමෙන් සංසාරය දික් කෙරෙති, එබැවින් ඒවාට ආයතනයෝ ය යි කියනු ලැබේ. නාමරූපයන් නිසා ආයතන සය වේ ය යි කියනුයේ, ඒවා නාමරූපයන් ඇති කල්හි ම උපදනා බැවිනි. නාමරූප නැතහොත් ආයතනයන්ට නො පහළ විය හැකිය.

නාමරූපයන් හේතු කොට කාමලෝකයෙහි ආයතන සය ම පහළ වේ. රූපලෝකයෙහි චක්ඛායතනය සෝතායතනය මනායතනය යන තුන පමණක් පහළ වේ. අරූපලෝකයෙහි මනායතනය පමණක් පහළ වේ. නාම රූප දෙකින් නාමය අරූප භවයෙහි මනායතනය පමණක් හේතු වේ. කාම රූප භව දෙක්හි නාම රූප දෙක ම ෂඩායතනයට හේතු වේ.

ෂඩායතනය අතුරෙන් චක්ෂුරාදි ආයතන පස “විඤ්ඤාණ පච්චයා නාමරූපං” යනුවෙන් විඥාන හේතුවෙන් හටගන්නාහුය යි කියන ලද අටවිසි රූපයන්ගෙන් රූප පසකි. ඒවා වරක් විඥාන හේතුවෙන් හටගන්නා ධර්ම බව කියා නැවත නාමරූප හේතුවෙන් හටගන්නා බව කීම කෙසේ යෙදේද? යන ප්‍ර‍ශ්නය මෙහි ඇති වේ. කඳ අතු රිකිලි කොළ මල් යන සියල්ලට ගසය යි කියනු ලැබේ. ඇටයෙන් ගස හටගන්නේ ය යි කී කල්හි ගසට අයත් ඒ සියල්ල ම ඇටයේ ඵල වශයෙන් කියැවේ.

එහෙත් ඇටය නිසා ගස හටගන්නේ ය, ගස නිසා අතු හටගන්නේ ය, අතු නිසා රිකිලි හටගන්නේ ය, රිකිලි නිසා මල් හටගන්නේ ය, මල් නිසා ගෙඩි හටගන්නේය යි කීමද වරදක් නොවේ. ගසේ හටගන්නා ගෙඩිවලට මුලින් රෝපණය කළ ඇටය ද හේතු වේ. පසුව ඒ ඇටය නිසා හටගන්නා වූ අතු හා මල් ද හේතු වේ. එමෙන් විඥානය රූප අට විස්සට ම හේතු වේ. නැවත ඒවා චක්ෂුරාදි ආයතන පසට ද හේතු වේ. එබැවින් නාමරූපයන් හේතු කොට චක්ෂුරාදි ආයතන පස වේය යි කීමේ දෝෂයක් නැත.

ආයතනයන්ගෙන් සය වැන්න වූ මනායතනය නම්, නාම රූපයන් ගේ හේතුව වශයෙන් කියන ලද විඥානයම ය. විඥානය නිසා ඇතිවන නාමරූපය නිසා නැවත විඥානයම ඇති වන බව කීම, මව් නිසා දරුවා ඇති වේය යි කියා නැවත දරුවා නිසා මව ඇති වේය යි කීම වැනි නො ගැළපෙන කියුමක් නොවේ ද? යන ප්‍ර‍ශ්නයක් ද මෙහි ඇති වේ. එය ද නො ගැළපෙන කියුමක් නො වේ. එය ගෙඩිය නිසා ගස ඇති වී නැවත ගස නිසා ගෙඩි ඇති වීම සේ තේරුම් ගත යුතු ය. මතු ද මෙ බඳු තැන්වල යෙදෙන සැටි කියන ලද්දට අනුව සලකා ගත යුතු.

වරක් කියන ලද ෂඩායතනය මෙහි නැවතත් ගන්නා ලද්දේ කරුණු දෙකක් නිසා ය. නාමරූපය ඒවාට හේතු වන බව එක් කරුණකි. මතු කිය යුතු ඵස්ස වේදනාදි පටිච්චසමුප්පාදාංගයන්ට විශේෂයෙන් ෂඩායතනය හේතු වන බව එක් කරුණකි.

නාමරූපයන් නිසා ෂඩායතනය හටගන්නා ආකාරය මෙසේ ය. අණ්ඩය ජලාබුජය යි කියන මව්කුස උපදනා සත්ත්වයනට ප්‍ර‍තිසන්ධිය සමග ම කායායතන මනායතන දෙක පහළ වේ. ප්‍ර‍තිසන්ධිය සමග පහළ වූ කුඩා රූප පිණ්ඩය ක්‍ර‍මයෙන් වැඩෙන්නට පටන් ගනී. වැඩීම නිසා කල් යාමෙන් ඇස්, කන්, නාසා, දිව යන මේ අවයවයෝ පහළ වෙති. ඒවා පහළ වූ කල්හි ඒ ඒ තැන්වල චක්ඛායතන සෝතායතන ඝාණායතනය ජිව්හායතන යන ආයතන සතර පහළ වේ. ඒවා ස්ථානය වූ ඇස, කණ, නාසය, දිව යන මේවා පහළ නො වී නම් චක්ඛායතනාදියට පහළ විය හැකි බවක් නැති බැවින්, රූපය ඒ ආයතන සතර ඇතිවීමට හේතුව ය.

කලින් මදුළු හා ඇට නැත්තා වූ කුඩා කොස් ගැටය වැඩීමෙන් එය තුළ කොස් මදුළු කොස් ඇට පහළවීම මෙන් ද, කලින් කටුවය මදය කියා කිසිවක් නැති ඇට්ටිගෙඩිය වැඩීමෙන් පොල්කටුව හා පොල් මද පහළ වීම මෙන් ද, ප්‍ර‍තිසන්ධිය සමග පහළ වූ රූපයන් වැඩීමෙන් චක්ඛාදි ආයතන සතර පහළවීම සලකා ගත යුතුය. ප්‍ර‍තිසන්ධිය සමග කායායතනය ඇති වුව ද රූපයන් වැඩෙන කල්හි ඒ වැඩීම අනුව පසුව ශරීරය පුරා බොහෝ කායායතනයෝ පහළ වෙති. ඒ කායායතනයන් පහළ වනුයේ වැඩෙන්නා වූ රූපයන් නිසා ය. එබැවින් උත්පත්තිය සමග ම කායායාතනයක් පහළ වුව ද රූප නිසා කායායතනය පහළ වේය යි කියන ලදී. සංසේදජ ඕපපාතික සත්ත්වයන්ට වනාහි උත්පත්තිය සමග ම සියලු ම ආයතනයෝ පහළ වෙති. ඉන්පසු නාම රූපයන් නිසා පරම්පරා වශයෙන් ඒවා ජීවත් වන කාලය මුළුල්ලෙහි නැවත නැවත පහළ වේ.

ෂඩායතනයන්ට හේතු භාවයෙන් කියන ලද නාමය නම් දෙපනස් චෛතසිකයෝ ය. චිත්ත චෛතසික දෙකින් සිත ප්‍ර‍ධාන වුව ද යම්කිසි චෛතසික ධර්මයක් වරක් අධික වීර්‍ය්‍යයෙන් අධික වේගයෙන් උත්සන්නත්වයෙන් උපන් කල්හි, ඒ චෛතසිකය නිසා ලක්‍ෂ ගණන් සිත් උපදී, සත්ත්වයන්ට හමු වන්නාවූ ඇතැම් අරමුණු නිසා ද, සිදුවන්නා වූ ඇතැම් කරුණු නිසා ද, සමහර විට අධික වීර්‍ය්‍යයෙන් යුක්ත වූ බලවත් වූ ලෝභය ද උපදී. ද්වේෂය ද උපදී, මානය ද උපදී, ඊර්ෂ්‍යාව ද උපදී, මෛත්‍රිය ද උපදී, කරුණාව ද උපදී, ශ්‍රද්ධාව ද උපදී, ප්‍ර‍ඥාව ද උපදී, ප්‍රීතිය ද උපදී, තවත් චෛතසිකයෝ ද උපදිති. රාගය යනු ද ලෝභ චෛතසිකයම ය.

පුරුෂයකු විසින් ශෝභන කාන්තාවක් දුටු කල්හි සමහර විට ඒ කාන්තාව සම්බන්ධයෙන් බලවත් රාගයක් ඇති වේ. වරක් බලවත් ව උපන් ඒ රාගය නිසා ඉන්පසු ඒ පුරුෂයා කෙරෙහි දුටු ස්ත්‍රිය සම්බන්ධයෙන් රාග සහගත සිත්, සමහර විට දින ගණනක් මුළුල්ලේ ඇති වේ. සමහරවිට මාස ගණනක්, වර්ෂ ගණනක් මුළුල්ලෙහි ද ඇති වේ. පසුව ඇති වන්නාවූ ඒ සිත් රාග සංඛ්‍යාත නාමය නිසා ඇති වූ මනායතනයෝ ය. යම්කිසි කරුණක් නිසා වරක් බලවත් ව කෝපය ඇති වුවහොත් ඒ නිසා පසුව සමහරවිට මාස ගණනක්, වර්ෂ ගණනක් ගතවන තුරු ද ද්වේෂ සහගත සිත් පහළ වේ. පසුව පහළ වන්නා වූ ඒ ද්වේෂ සහගත චිත්තයෝ උත්සන්න භාවයෙන් ඇති වූ ක්‍රෝධ සංඛ්‍යාත නාමය නිසා පහළ වන්නා වූ මනායතනයෝ ය. යම්කිසි කරුණක් ගැන වරක් ප්‍රීතිය බලවත් ව පහළ වුවහොත්, ඉන්පසු ඒ ප්‍රීතිය නිසා ප්‍රීතියට හේතු වූ දෙය අරමුණු කොට බොහෝ චිත්තයෝ පහළ වෙති. ඒවා ප්‍රීති සංඛ්‍යාත නාමය නිසා උපදනා මනායතනයෝ ය. මෙසේ උත්සන්න භාවයෙන් පහළ වන්නා වූ සෑම චෛතසිකයක් ම නිසා මනායතනය ඇති වන සැටි සලකා ගත යුතුය.

ගෙයක ඇතුලේ වෙසෙන්නවුන් විසින් පිටත බලන්නාවූ ද, පිටත ඇති වස්තූන් හා පුද්ගලයන් ගෙට ඇතුළු කරගන්නාවූ ද, ඇතුළෙහි වූ දෑ බැහැර කරන්නාවූ ද ස්ථානයන්ට ද්වාරය යි කියනු ලැබේ. චක්ෂුරාදි ආයතන සය ද පිටත පිහිටි රූප ශබ්දාදි අරමුණු ගැනීමට උපකාර වන ස්ථාන වූයෙන් ද්වාරයන් වැනි නිසා ඒවාට ද්වාරයයි ද කියනු ලැබේ. ශරීරය ද්වාර සයක් ඇති ගෙයක් වැනි ය. ශරීරය සැරසී තිබෙන්නේ මේ ආයතන ද්වාර සයෙනි. එය වටිනා කමක් ඇති ඇලුම් කළ යුතු දෙයක් වී තිබෙන්නේ ද ආයතන ද්වාර නිසා ය. ආයතන ද්වාර නැති කල්හි ශරීරය ක්‍රියා විරහිත වන්නේ ය. මේ ආයතනයන් එකිනෙකට සම්බන්ධයක් නැති, වෙන් වෙන් වූ ධර්ම කොටසක් සැටියට තේරුම් නො ගෙන, ශරීරය හා එක් කොට එකම දෙයක් වශයෙන් වරදවා ගැනීම නිසා භූතෝපාදාය රූපයන්ගෙන් නිර්මිත වූ මේ ශරීරය මමය - නුඹය - දෙවියා ය - මිනිසා ය කියා ගැනීමෙන් නිවනට යා නො හැකි වන සේ සත්ත්වයන් සසර බැඳ තබන්නා වූ සත්කාය දෘෂ්ටිය ඇති වේ.

චක්ඛායතනය නිසා ‘මම දකිමි’ යි සත්කාය දෘෂ්ටිය ඇති වේ. සෝතායතනය නිසා ‘මම අසමි’ යි සත්කාය දෘෂ්ටිය උපදී. ඝාණායතනය නිසා ‘මම ආඝ්‍රාණය කරමි’ යි සත්කාය දෘෂ්ටිය උපදී. ජිව්හායතනය නිසා ‘මම රස විඳිමි’ යි සත්කාය දෘෂ්ටිය උපදී. කායායතනය නිසා ‘මම සුවදුක් විඳිමි’ යි සත්කාය දෘෂ්ටිය උපදී. මනායතනය නිසා ‘මම දනිමි’ යි සත්කාය දෘෂ්ටිය උපදී. ආයතනයන් ආයතන සැටියට දැන ගැනීම අපාය බීජය වූ, සංසාර බීජය වූ සත්කාය දෘෂ්ටිය දුරුකර ගැනීමට උපකාර වේ.