විඤ්ඤාණපච්චයා නාමරූපං

“තත්ථ කතමං විඤ්ඤාණපච්චයා නාමරූපං? අත්ථි නාමං, අත්ථි රූපං, තත්ථ කතමං නාමං? වේදනාක්ඛන්ධෝ, සඤ්ඤාක්ඛන්ධෝ, සංඛාරක්ඛන්ධෝ ඉදං වුච්චති නාමං, තත්ථ කතමං රූපං? චත්තාරෝ ච මහාභූතා චතුන්නඤ්ච මහා භූතානං උපාදාය රූපං, ඉදං වුච්චති රූපං, ඉති ඉදඤ්ච නාමං ඉදඤ්ච රූපං ඉදං වුච්චති විඤ්ඤාණපච්චයා නාම රූපං.

යන විභංග පාඨයෙන් වේදනාස්කන්ධය සංඥාස්කන්ධය සංස්කාරස්කන්ධය යන මේ ස්කන්ධ තුන නාමය යි ද, සතර මහා භූතයන් හා ඒවා නිසා පවත්නා රූප ද යන මෙය රූපය යි ද, මේ නාමය හා රූපය විඥාන හේතුවෙන් හටගන්නා නාමරූපය යි ද දැක්විණ.

එක් සත්ත්වයකුට නාමකාය ය, රූපකාය ය යි දෙ කයක් ඇත්තේ ය. සත්ත්වයා අයත් චිත්ත චෛතසික පරම්පරාවට නාමකාය යයි කියනු ලැබේ. ඇසට පෙනෙන්නට තිබෙන ශරීරයට රූපකාය ය යි කියනු ලැබේ. චිත්ත චෛතසික පරම්පරාවට නාම ය යි කියනුයේ ශරීරය සේ ඇසින් බලා හෝ අතින් අල්ලා හෝ දත හැක්කක් නොව, නම අසා නමට අනුව ම දත යුතු බැවිනි. නාමය ස්කන්ධ වශයෙන් වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය, විඥාන ස්කන්ධය යි සතරක් වේ. විඥානස්කන්ධය හැර ඉතිරි ස්කන්ධ තුන විඥානය නිසා හටගන්නා නාමය යි. රූපය භූතරූපය උපාදායරූපය යි දෙ වැදෑරුම් වේ. පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන ප්‍ර‍ධාන රූප සතර භූත රූප නම් වේ. ඒ රූප සතර නිසා පවත්නා වූ වර්ණ ගන්ධ රසාදි අප්‍ර‍ධාන රූප සූවිස්ස උපාදාය රූප නම් වේ. රූප සියල්ල ම අට විස්සකි.

රූප කය පාලනය කරනු ලබන්නේ නාම කයිනි. නාම කය නැති වුව හොත් රූප කයෙන් වැඩෙක් නැත. එය වළලා දැමිය යුත්තක් වේ. එ බැවින් දෙකයින් නාම කය ප්‍ර‍ධාන වේ. නාම කයට අයත් ස්කන්ධ සතරෙන් ද විඥානස්කන්ධය ප්‍ර‍ධාන වේ. වේදනාදි චෛතසික ස්කන්ධ තුන විඤ්ඤාණ ස්කන්ධය නිසා පවත්නා බැවින් අප්‍ර‍ධාන ය. අඳුරු තැනෙක පහනක් දැල්වූ කල්හි ගින්න පහළ වනු සමග ම ගින්න නිසා අවට උණුසුමක් හා ආලෝකයක් ද පහළ වන්නාක් මෙන් අතීත කර්ම හේතුවෙන් විඥාන සංඛ්‍යාත ප්‍ර‍ධාන ධර්මය පහළ වන කල්හි එය හා බැඳී චෛතසික සංඛ්‍යාත නාමයෝ ද පහළ වෙති. ඒ නාමයන් නිසා විඥානය විසිතුරු වේ. අරූප ලෝකය හැර අන් තැන්වල ඒ ඒ භවයට අනුරූප වන පරිදි විඥානයා ගේ පිහිටීමට හා පැවැත්මට ද වර්ධනයට ද උපකාරවන රූපයෝ ද ඒ විඥානය නිසා පහළ වෙති.

චක්ෂුර්විඥානාදීන් ගේ වශයෙන් සවැදෑරුම් වූ විඥානය පහළ වී පරම්පරා වශයෙන් වැඩෙන කල්හි, ගසක් වැඩෙන කල්හි එයට අනුව පෙර නො තුබූ බොහෝ අතු රිකිලි කොළ මල් අලුතෙන් ඇති වන්නාක් මෙන් සිතට අනුව එය හා බැඳී බොහෝ චෛතසික ධර්මයෝ පහළ වෙති. යම්කිසි වස්තුවක් හෝ පුද්ගලයකු දැකීම චක්ෂුර්විඥානය ඉපදීම ය. දක්නා ලද්ද සුන්දර දෙයක් නම් දුටු තැනැත්තා හට එයින් ආස්වාදයක් ඇති වේ. සතුටක් ද ඇති වේ. එය ම හෝ එබඳු අනෙකක් ලබා ගැනීමේ ආශාව ඇති වේ. නැවත නැවත දැකීමේ ආශාව ඇති වේ. සමහර විට එය අනුන් අයිති දෙයක් වී නම් තමාට අයිති කර ගැනීමේ ආශාව ඇති වේ. එය අනුන්ට අයිති ව තිබීම නො ඉවසිය හැකි ස්වභාවයක් හෝ ඇති වේ. එනම් ඊර්‍ෂ්‍යාව ය. එය තමා ගේ දෙයක් නම් අනුන්ට අයිති වීමට හෝ අනුන් ප්‍රයෝජන ලබනවාට හෝ නො කැමති බවක් ඇති වේ. එය මාත්සර්‍ය්‍යය යි. සමහර විට ඒ දක්නා ලද්ද නිසා තමා උසස් කොට ගැනීමක් ද ඇති වේ. සමහර විට එය කරණකොට ගෙන අනුන් පහත් කොට හෝ සම කොට ගැනුමක් ද ඇති වේ. සමහර විට මුළාවක් ද ඇති වේ. සමහර විට එබඳු දෑ ලැබීමට ක්‍රියා කිරීම පිළිබඳ වූ ද, ලැබූ දෑ ආරක්‍ෂා කිරීම පිළිබඳ වූ ද වීර්‍ය්‍යයක් ඇති වේ. සමහර විට දක්නා ලද වස්තුවේ තත්ත්වය දක්නා ඥානය ඇති වේ. දක්නා ලද්ද නො මනා දෙයක් වී නම් එය පිළිබඳ ව නො සතුටක් ඇති වේ. සමහර විට පිළිකුලක් හෝ බියක් ඇති වේ. සත්ත්වයන් පුද්ගලයන් දක්නා කල්හි දක්නා ලද තැනැත්තා ප්‍රියංකර වූ පුද්ගලයකු වී නම් එකල්හි සතුට ඇති වේ. ආදරයක් ද ඇති වේ. සමහර විට රාගය ඇති වේ. සමහර විට ශ්‍ර‍ද්ධාව ද කරුණාව ද මෛත්‍රිය ද ප්‍ර‍ඥාව ද වීර්‍ය්‍ය ද ඇති වේ. දක්නා ලද තැනැත්තා සතුරකු වී නම් ක්‍රෝධය හෝ බිය හෝ ඇති වේ. අශෝභන පුද්ගලයකු වී නම් පිළිකුලක් ඇති වේ. මෙසේ චක්ෂුර්විඥානය ඇති වූ කල්හි එය නිසා බොහෝ චෛතසික ධර්මයෝ උපදිති. ශ්‍රෝත විඥානාදි පස නිසා ද මෙසේ බොහෝ චෛතසික ධර්මයන් උපදනා සැටි කියන ලද්දට අනුව සලකා ගත යුතු ය. මේ විඥානය නිසා නානාප්‍ර‍කාර නාමයන් උපදනා ආකාරය යි.

විඥානය නිසා රූපයන් උපදනා පරිදි මෙසේ දත යුතු ය. අණ්ඩජ ය, ජලාබුජ ය, සංසේදජ ය, ඕපපාතික ය යි සත්ත්ව ජාති සතරෙකි. පක්‍ෂි සර්ප මත්ස්‍යාදි බිජුවටින් උපදනා සත්ත්වයෝ අණ්ඩජ සත්ත්වයෝ ය. මව්කුස වැදෑමස ය යි කියන සම් කොපුවෙහි උපදනා මනුෂ්‍ය ගව මහිෂාදි සත්ත්වයෝ ජලාබුජ සත්ත්වයෝ ය. කුණුමස් කුණුමාලු ආදි ඇතැම් ද්‍ර‍ව්‍යයන්හි උපදනා සත්ත්වයෝ සංසේදජ සත්ත්වයෝ ය. කැටපත් ආදියෙහි පහළවන ඡායාවන් මෙන් සර්වාංග ප්‍ර‍ත්‍යංග පරිපූර්ණත්වයෙන් පහළ වීම් වශයෙන් උපදනා සත්ත්වයෝ ඕපපාතිකයෝ ය. නරකයෙහි ද නිජ්ඣාමතණ්හික නම් වූ ප්‍රේතයෝනියෙහි ද දිව්‍යබ්‍ර‍හ්ම ලෝකවල ද උපදින්නෝ ඕපපාතික වශයෙන් ම උපදිති. රූපයන් ගේ පහළවීම වනුයේ ඒ ඒ සත්ත්ව යෝනිවල නොයෙක් ආකාරයෙනි.

රූපයන් උපදිනුයේ ද සමූහ වශයෙනි. සමූහයකට සම්බන්ධ නොවී තනි ව රූපයකට නො ඉපදිය හැකි ය. එක් ව උපදින රූප සමූහයන්ට රූප කලාප ය යි කියනු ලැබේ. පඨවිරූපය, ආපෝරූපය, තේජෝරූපය, වායෝරූපය, වර්ණරූපය, ගන්ධරූපය, රසරූපය, ඕජාරූපය යන මේ අට එකිනෙක ගැටී සම්බන්ධ වී එක් පිණ්ඩයක් වී උපදී. ඒ පිණ්ඩයට ශුද්ධාෂ්ටක කලාපය යි කියනු ලැබේ. ඒ රූප අට සියලු ම කලාපයන්හි ඇත්තේ ය. ඒ අටට ජීවිත රූප චක්ෂුඃප්‍ර‍සාද රූප ශ්‍රෝත්‍ර‍ප්‍ර‍සාද රූප ඝ්‍රාණප්‍ර‍සාද රූප ජිහ්වාප්‍ර‍සාද රූප කායප්‍ර‍සාද රූපාදීන් ගෙන් ඇතැම් රූප එක්වීමෙන් රූප නවය දශය එකොළොස දොළොස තෙළෙස බැගින් ඇත්තා වූ කලාපයෝ ද වෙති. තෙළෙසකට අධික රූප ඇති කලාප ද නො ලැබේ. රූපකලාපය ලෝකයේ ඇති ඉතා ම කුඩා දෙය ය. එයට වඩා කුඩා දෙයක් නැත්තේ ය. ලෝකයා විසින් ඉතා ම කුඩා දෙය සැටියට සලකන පරමාණුව රූප කලාපයට වඩා බොහෝ මහත් දෙයකි. පරමාණුවක රූප කලාප බොහෝ ගණනක් ඇත්තේ ය. සත්ත්ව ශරීරය හටගන්නේ මේ රූප කලාප වලිනි.

කර්මය, චිත්තය, සෘතුවය, ආහාරය යි රූප හට ගැනීමට හේතු සතරකි. සත්ත්වසන්තානයෙන් පිටත ඇත්තේ සෘතුවෙන් හටගන්නා රූප පමණෙකි. සෘතුව නම් ශීතෝෂ්ණ දෙක ය. සත්ත්ව සන්තානයෙහි වනාහි කර්මාදි හේතු සතරෙන් ම හටගන්නා රූප ඇත්තේ ය. රූප කර්මාදි හේතූන් ගෙන් හට ගන්නවුන් වුවද අතීත කර්ම හේතුවෙන් භවයෙහි ප්‍ර‍තිසන්ධි විඥානය පහළ නුවුව හොත් ඒවා නො හටගන්නා බැවින්, විඥානය හේතු සතරින් ම හට ගන්නා රූපයන්ට විශේෂ හේතුවකි. ‘විඤ්ඤාණ පච්චයා නාම රූපං’ යි වදාළේ එහෙයිනි. විපාක විඥාන හේතුවෙන් අරූප භවයෙහි නාමය පමණක් හටගනී. අසංඥ භවයෙහි විපාක විඥානයක් ද නැත. එහි අතීත කර්ම විඥානය හේතු කොට රූප පමණක් ඇති වේ. ඉතිරි භවවල විඥාන හේතුවෙන් නාම රූප දෙක ම ඇති වේ. ‘විඤ්ඤාණ පච්චයා නාම රූපං’ යනු සර්වසංග්‍රාහික දේශනයකි. එහි අර්ථය කියන ලද පරිදි තුන් ආකාරයෙන් ම ගත යුතු ය.

අතීත කර්ම හේතුවෙන් හටගන්නා වූ ප්‍ර‍තිසන්ධි විඥානය සමග ම අණ්ඩජ ජලාබුජ යෝනි දෙකට අයත් සත්ත්වයන්ට කායදශකය, භාවදශකය, වස්තු දශකය යන රූපකලාප තුන පහළ වේ. එයිනුදු සමහර සත්ත්වයකුට භාවදශකය පහළ නො වේ. භාවදශකය පහළ නො වූවෝ නපුංසකයෝ ය. ඔවුන් ගේ ඉපදීම සිදුවන්නේ කලාතුරකිනි. රූපකලාප දෙකකින් හෝ තුනකින් හෝ යුක්ත වූ විඥානය සහිත වූ ඒ රූප පිණ්ඩයට ‘කලල රූපය’ යි කියනු ලැබේ. කලල රූපයෙහි රූප කලාප දෙකක් හෝ තුනකැයි කියනුයේ ජාති වශයෙනි. එක් එක් ජාතියකට අයිති කලාප බොහෝ ගණනක් එහි ඇත්තේ ය. මඳක් මෝරන කල්හි එයට චිත්තජ සෘතුජ කලාපයෝ ද එක් වෙති. කලල රූපයෙහි පටන් මනුෂ්‍යයා ගේ වැඩීමේ පිළිවෙළ තථාගතයන් වහන්සේ විසින් යක්‍ෂ සංයුත්තකයෙහි මෙසේ වදාරා තිබේ.

“පඨමං කලලං හෝති කලලා හෝති අබ්බුදං

අබ්බුදා ජායතේ පෙසි පෙසි නිබ්බත්තතේ ඝනෝ

ඝනා පසාඛා ජායන්ති කේසා ලෝමා නඛා පිච.”

“පළමු කොට මාතෘගර්භයේ කලල රූපය හට ගන්නේ ය. ඒ කලල රූපයෙන් අබ්බදය (පෙණපිඩ) හට ගන්නේ ය. අබ්බුදයෙන් පේශිය හට ගන්නේ ය. පේශියෙන් ඝනය හට ගන්නේ ය. ඝනයෙහි අතු පසක් ද කෙස් ලොම් නිය ද හට ගන්නේ ය” යනු එහි තේරුමයි.

“තිලතේලස්ස යථා බින්දු සප්පි මණ්ඩෝ අනාවිලෝ,

ඒවං වණ්ණ පටිභාගං කලලන්ති පවුච්චති”

“තලතෙල් බින්දුවක් යම් බඳු ද, පිරිසිදු ගිතෙල් බින්දුවක් යම් බඳු ද, එබඳු පැහැය හා සටහන ඇති දෙයකට ‘කලලය’ යි කියනු ලැබේ ය” යනු එහි තේරුම යි. එයින් කලල රූපයාගේ පැහැය හා ආකාරය දක්වන ලදී. තෙල් බිඳක් වැනි වූ ඒ කලල රූපය ප්‍ර‍මාණයෙන් ඉතා කුඩා ය. එහි ප්‍ර‍මාණය සංයුත් අටුවාවෙහි “තීහි ජාති උණ්ණාංසූහි කතසුත්තග්ගේ සණ්ඨිත තේලබින්දු පමාණං” යනුවෙන් හිමාලයෙහි වෙසෙන ඉතා සිහින් ලොම් ඇති ජාතිඋණ්ණා නම් වූ එළුවන්ගේ ලොම් තුනකින් කළ හුයෙහි අගට එන තෙල් බින්දුව පමණයයි දක්වා තිබේ.

විභංග අටුවාවෙහි වනාහි “ජාති උණ්ණා නාම සුඛුමා තස්සා ඒකංසුනෝ පසන්න තිල තේලේ පක්ඛිපිත්වා උද්ධටස්ස පග්ඝරිත්වා අග්ගේ ඨිතබින්දු මත්තං” යනුවෙන් ජාතිඋණ්ණා නම් වූ සිහින් එළු ලෝමයක් පිරිසිදු තලතෙලෙහි ලා ගත් කල්හි එහි අග සිටින තෙල් බින්දුව පමණ ය යි කියා තිබේ.

“සත්තාහං කලලං හෝති පරිපක්කං සමූහකං”

විවට්ටමානං තබ්භාවං අබ්බුදං නාම ජායති.”

“කලලය සතියක් පවතී. එය මෝරා සමූහාකාර වී කලලාකාරය අත් හැර අබ්බුද නම් දෙය වන්නේ ය” යනු එහි තේරුම යි.

“සත්තාහං අබ්බුදං හෝති පරිපක්කං සමූහකං”

විවට්ටමානං තබ්භාවං පේසි නාම ච ජායති”

“සතියක් අබ්බුදය පවතී. එය මෝරා සමූහාකාර වූයේ ඒ ස්වභාවය අත් හරින්නේ පේශි නම් දෙය වන්නේ ය” යනු එහි තේරුම යි.

“සත්තාහං පේසි භවති පරිපක්කං සමූහකං,

විවට්ටමානං තබ්භාවං ඝනොති නාම ජායති.”

“පේශිය සතියක් පවතී. එය මෝරා සමූහාකාර වූයේ ඒ ස්වභාවය හරින්නේ ඝන නම් දෙය වන්නේ ය” යනු එහි තේරුම යි.

“යථා කුක්කුටියා අණ්ඩං සමන්තා පරිමණ්ඩලං,

ඒවං ඝනස්ස සණ්ඨානං නිබ්බත්තං කම්මපච්චයා.”

“යම් සේ කිකිළියකගේ බිත්තරය හාත්පසින් වට වේ ද, කර්ම හේතුවෙන් උපන්නා වූ ඝනයාගේ සටහන ද එසේ ය” යනු එහි තේරුම යි.

සතර වන සතියෙහි හටගන්නා වූ කුකුළු බිත්තරයක් වැනි වූ ඝනය මේරීමට පැමිණි කල්හි පස් වන සතියෙහි ඒ ඝනයෙහි හිස හටගන්නා තැන එක් බුබුලක් ද, අත් හටගන්නා දෙතැන බුබුළු දෙකක් ද, පා හටගන්නා දෙතැන බුබුළු දෙකක් දැ යි බුබුළු පසක් පහළ වේ. ඒ බුබුළු ක්‍ර‍මයෙන් වැඩී ඇස් කන් ආදිය හා කෙස් ලොම් නිය ද පහළ වේ.

මෙසේ අතීත කර්ම හේතුවෙන් මවුකුස උපන්නා වූ සත්ත්වයා ගේ සන්තානයෙහි ප්‍ර‍තිසන්ධි චිත්තය නිරුද්ධ වන්නට මත්තෙන් ම සෘතුජ රූපයෝ පහළ වෙති. ප්‍ර‍තිසන්ධි චිත්තයට අනතුරුව උපදනා දෙවන සිත ඉපදීමේ පටන් චිත්තජරූපයෝ පහළ වෙති. ආහාරජ රූපයන් පහළ වන අවස්ථාව නියම වශයෙන් දක්වා නැත. මවු කුස වෙසෙන දරුවා ආහාර අනුභවයක් නො කරන්නේ ය. ඔහු යැපෙන්නේ ද මව අනුභව කරන ආහාරයෙනි. එබැවින් යක්ඛසංයුත්තකයෙහි:-

“යං තස්ස භුඤජතේ මාතා අන්නං පානං ච භෝජනං,

තේන සෝ තත්ථ යාපේත් මාතුකුච්ඡිගතෝ නරෝ”

යනු වදාරන ලදී. “ඒ දරුවා ගේ මව යම් ආහාර පාන භෝජනයක් වළඳා ද, මව් කුසයට පැමිණියා වූ සත්ත්ව තෙමේ එයින් යැපේ ය” යනු එහි තේරුමයි. කලලාවස්ථාවෙහි හෝ වේවා අබ්බුදාදි අවස්ථාවක දී හෝ වෙවා මවු වැළඳූ ආහාරස්නෙහය දරුවා ගේ කයට පැමිණෙන්නට පටන් ගත් තැන සිට ඒ ශරීරයෙහි ආහාරජ රූපයෝ ද උපදනාහු ය.

කාම භවයෙහි සම්පූර්ණයෙන් රූප පහළවීම ඇත්තා වූ සංසේදජ සත්ත්වයන්ට ප්‍ර‍තිසන්ධි විඥානය සමග චක්ෂූර් දශකය - ශ්‍රෝත්‍ර‍ දශකය - ඝ්‍රාණ දශකය - ජිහ්වා දශකය - කාය දශකය - භාව දශකය - වස්තු දශකය යන රූප කලාප සතක් විඥානය නිසා පහළ වේ. ප්‍ර‍තිසන්ධියෙන් පසු චිත්තජ සෘතුජාහාරජ රූපයන් ද ඒවාට එකතු වීමෙන් අනුක්‍ර‍මයෙන් ඒ සත්ත්වයා ගේ ශරීරය සම්පූර්ණ වේ. කාමභවයෙහි සම්පූර්ණයෙන් රූප ලැබෙන ඕපපාතික සත්ත්වයන්ට ප්‍ර‍තිසන්ධි චිත්තය සමග චක්ෂුර්දශකය, ශ්‍රෝත්‍ර‍දශකය, ඝ්‍රාණදශකය, ජිහ්වා දශකය, කාය දශකය, භාව දශකය, වස්තු දශකය යන දශක කලාප සත පහළ වේ. ඉන්පසු සෘතුජ ආහාරජ කලාපයෝ එයට එක් වෙති.

රූපලෝකයෙහි බ්‍ර‍හ්මයන්ට ඝ්‍රාණ - ජිහ්වා - කාය භාවදශක කලාපයෝ නො ලැබෙති. ආහාරජ කලාපයෝ ද නො ලැබෙති. විඥානයක් සර්වාකාරයෙන් නො ලැබෙන අසංඥ භවයෙහි, රූපය ම ප්‍ර‍තිසන්ධිය වේ. එහි ප්‍ර‍ථමයෙන් උපදනා අවස්ථාවෙහි විඥානයක් නැති බැවින් අතීත වූ කර්ම විඥානය හේතුකොට ජීවිත නවක කලාපයන්ගෙන් ශරීරයක් නිර්මිත වේ. පසු ව ශබ්දය හැර ඉතිරි සෘතුජ රූපයෝ ද එයට එකතු වෙති. මෙසේ ඒ ඒ භවයෙහි පහළවන නාම රූපයන් විඥානය පහළ නොවී නම්, පහළ නොවන බැවින් විඥානය නිසා නාමරූපය පහළ වේ ය යි කියනු ලැබේ.