අභිධර්ම පිටකයක් පළමුවන දෙවන සංගායනා වලදී සංගායනා කර නැත ය යි ද එය තුන්වන සංගායනාවේදී බුද්ධ ධර්මයට එකතු කරන ලද්දකැයි ද ඇතැම් අභිධර්ම විරෝධීහු පවසති. එහෙත් ඒ බව ඔප්පු කිරීමට සෑහෙන කිසිම සාක්ෂියක් නැත. පළමු වන දෙවන සංගායනාවලදී දෙපිටකයක් නොව ත්‍රිපිටකය ම සංගායනා කළ බව විනය අටුවාව, දීඝ නිකාය අටුවාව, දම්සඟුණු අටුවාව යන පොත්වල පැහැදිලි ලෙස ම දක්වා ඇත්තේ ය. විනය පිටකයට අයත් චුල්ලවග්ග පාලියේ අගට ද ඒ සංගායනා දෙක ගැන විස්තරයක් එකතු කොට ඇත්තේ ය. එහි කියා ඇත්තේ ද ත්‍රිපිටකය ම සංගායනා කළ බව ය. එහි එය දක්වා ඇත්තේ සැමට ම පහසුවෙන් තේරුම් ගැනීම අපහසු ලෙස ය. පළමුවන දෙවන සංගායනා වලදී අභිධර්ම පිටකය නො තිබුණේ ය යි කියන්නේ ඒ සංගායනා විස්තර වරදවා තේරුම් ගැනීම නිසා විය හැකි ය.
එය තේරුම් ගතහැකි වීමට බුද්ධ දේශනය කොටස්වලට බෙදා ඇති සැටි තේරුම් ගත යුතු ය. බුද්ධදේශනාව ධර්මය - විනයය කියා කොටස් දෙකකට බෙදනු ලැබේ. එයින් විනය යනුවෙන් අදහස් කරන්නේ විනය පිටකයට අයත් පාරාජිකාපාලි, පාචිත්තියපාලි, මහාවග්ගපාලි, චුල්ලවග්ගපාලි, පරිවාරපාලි යන ප්‍රකරණ පසය. ධර්ම යනුවෙන් අදහස් කරන්නේ ඉතිරි බුද්ධ දේශනා සියල්ල ය. එනම් සූත්‍රපිටකය, අභිධර්මපිටකය යන දේශනා දෙකොටස ය. ධර්මය යන වචනයෙන් සූත්‍ර අභිධර්ම යන දෙකොටස ම කියවේ. ධම්මසංගණී ආදි ප්‍රකරණ සතර විශිෂ්ඨ ධර්මය වන බැවින් අභිධර්ම යන නාමය දී තිබේ. බුද්ධදේශනය තුනට බෙදීමේ දී විනය පිටකය සූත්‍ර පිටකය අභිධර්ම පිටකය යි පිටක නාමයෙන් තුන් කොටසකට බෙදා තිබේ. නිකාය වශයෙන් ධර්මය දීඝ නිකාය මජ්ඣිම නිකාය සංයුත්ත නිකාය අංගුත්තර නිකාය ඛුද්දක නිකායය යි කොටස් පහකට බෙදනු ලැබේ. එයින් ඛුද්දක නිකායය යි කියනුයේ දීඝ මජ්ඣිම සංයුත්ත අංගුත්තර නිකාය සතර හැර ඉතිරි ධර්ම සියල්ලට ය. එයට කුඩාමහත් ග්‍රන්ථ රාශියක් ඇතුළත්ය. අභිධර්ම පිටකයට අයත් ප්‍රකරණ සත ද ඛුද්දක නිකායට ම අයත් ය.
ඨපෙත්වා චතුරොපෙතෙ - නිකායෙ දීඝ ආදිකෙ
තදඤ්ඤං බුද්ධවචනං - නිකායෝ ඛුද්දකො මතො.
(විනයට්ඨකථා)
චූලවග්ග පාලියේ සංගායනා කථාවේ “හන්ද මයං ආවුසො ධම්මංච විනයංච සංගායාම, පුරෙ අධම්මො දිප්පති” යනුවෙන් මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ සංගායනා කිරීමට යෝජනා කළ පාඨයේ ධම්මඤ්ච විනයංච යනුවෙන් දැක්වෙන්නේ දෙපිටකයක් නොව තුන් පිටකයමය. ඒ සංගායනා විස්තරයේ බ්‍රහ්මජාල සූත්‍රය සංගායනා කළසැටි දක්වා “ඒතෙනෙව උපායෙන පඤ්චපි නිකායෙ පුච්ඡි, පුට්ඨො පුට්ඨො ආයස්මා ආනන්දෝ විස්සජ්ජෙසි” යනුවෙන් නිකාය පසම සංගායනා කළ බව දක්වා තිබේ.
එයින් දැක්වෙන්නේ අභිධර්ම පිටකයත් සංගායනා කළ බව ය. සංගායනා විස්තරය අවසානයේ සංගායනාව කළ සැටි කෙටියෙන් දැක්වෙන ගාථා පෙළක් එහි ඇත්තේ ය. එයින් එක් ගාථාවක් මෙසේ ය.
“උපාලිං විනයං පුච්ඡි - සුත්තන්තානන්ද පණ්ඩිතං
පිටකං තීණි සංගීතිං - අකංසු ජින සාවකා”
මේ ගාථාවෙන් පිටක තුනක් සංගායනා කළ බව කියැවේ. අභිධර්ම පිටකය සංගායනා නො කළා නම් පිටක තුනක් වීමට ගත් අනික් පිටකය කුමක්ද? කියා අභිධර්ම පිටකය සංගායනා නො කළේය කියන පඬිවරුන් විසින් දැක්විය යුතු ය. කරුණු මෙසේ හෙයින් අභිධර්ම පිටකය පළමුවන දෙවන සංගායනා වලදී සංගායනා නො කළේය කියන ඒ පඬිවරුන්ගේ කථාව සංගායනා විස්තරය තේරුම් ගැනීමට නො හැකිවීම නිසා කියන හිස් කතාවක් හෝ තමන්ගේ ගෞරවය රැක ගැනීමට කියන කතාවක් බව අපගේ පිළිගැනීම ය.
තථාගත පරිනිර්වාණයෙන් සිය වසකට පසු වේසාලීපුරයෙහි විසූ වජ්ජිපුත්තක භික්ෂූන් විසින් අවිනය කරුණු දසයක් විනය පිටකයට ඇතුළු කිරීමට තැත් කිරීම නිසා ඒවා බැහැර කොට විනය පිටකය පිරිසිදු කිරීම පිණිස වේසාලී පුරයේ වාළුකාරාමයේ ත්‍රිපිටකධර සිව්පිළිසිඹියාපත් සත් සියයක් රහතන් වහන්සේ විසින් දෙවන ධර්ම සංගායනාව කරන ලදී. චුල්ලවග්ගයේ එන සංගීති වර්තාවෙහි දැක්වෙන්නේ එය විනය සංගීතියක් සේය. සූත්‍රාභිධර්ම පිටක ගැන එහි සඳහන් නොවේ. චුල්ලවග්ග පාළිය විනය පොතක් නිසා විනය සංගීතියක් වශයෙන් එය දැක්වූවා විය හැකි ය. සමන්තපාසාදිකාව ආදි අන් ග්‍රන්ථවල දක්වා ඇත්තේ එයත් ත්‍රිපිටක සංගායනාවක්ය කියා ය.
පළමුවන දෙවන සංගායනාවලට ඇතුළත් වූයේ අභිධර්ම පිටකයෙන් ධම්මසංගණී විභංග ධාතුකථා පුග්ගලපඤ්ඤත්ති යමක පට්ඨාන යන ප්‍රකරණ සය පමණකි. කථාවස්තුප්‍රකරණය අභිධර්ම පිටකයට එකතු වූයේ තෙවන සංගායනාවේදී ය. සූත්‍ර විනය පිටක දෙක්හි නොයෙක් තැන්වල අභිධර්මය ගැන සඳහන් වේ. එසේ සඳහන් වන්නේ සූත්‍ර පිටකය සම්පූර්ණ වන්නට හා විනය පිටකය ඇතිවන්නට කලින් ම අභිධර්මය බුදු සසුනෙහි බැබළුණු බැවිනි. සූත්‍ර විනය දෙපිටකයෙහි අභිධර්මය සඳහන් වන තැන් ඉදිරිපත් කළ කල්හි කර කියා ගතහැකි දෙයක් නැති අභිධර්මවිරෝධීහු සූත්‍ර විනය දෙපිටකයෙහි සඳහන් වන්නේ දැනට ඇති මේ අභිධර්ම පිටකය නොවේ ය යි කියා ඇඟ බේරා ගැනීමට තැත් කරති. සූත්‍ර විනය පිටක දෙක්හි සඳහන් වන අභිධර්මය මෙය ය කියා දැක්වීමට ඔවුන්ට වෙනත් අභිධර්මයක් නම් නැත. සර්වඥයන් වහන්සේ ගේ ශ්‍රෙෂ්ඨ ධර්මය අවලංගු කරන්නට තැත් කර මහා පායක් සිදුකර ගන්නා වූ ඔවුනට අනුකම්පා කළ යුතු ය.