සම්බුද්ධ පරිනිර්වාණයෙන් දෙසිය අටළොස් වන වර්ෂයේදී දඹදිව රජ කළ ධර්මාශෝක අධිරාජයා ගේ කාලයේදී මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ ප්‍රමුඛ ප්‍රතිසම්භිදාප්‍රාප්ත ත්‍රිපිටකධර දහස් නමක් රහතන් වහන්සේලා විසින් තුන්වන ධර්ම සංගායනාව කරන ලද්දේ ය. අභිධර්ම විරෝධීන් පවසන්නේ අභිධර්මය තුන්වන ධර්ම සංගායනාවේ දී බුදු දහමට එකතු කරන ලද්දක් ය කියා ය. එය සංගායනා කිරීමේ තේරුම වත් නො දැන කියන මෝඩ කථාවකි. කටපාඩමින් ම බුද්ධධර්මය පැවැත් වූ, ධර්මය ලියා නො තිබූ අතීත කාලයේ එයට අන්‍ය ශාස්තෘවරයන්ගේ, පණ්ඩිතයන්ගේ වදන් ඇතුළු වන්නට ඉඩ ඇත. සංගායනා කරනුයේ එසේ ඇතුළුව තිබුණ හොත් ඒවා බැහැර කිරීමටත් අවුල් වී අපිරිසිදු වී ඇති තැන් ඇත්නම් ඒවා සකස් කිරීමටත් අඩු තැන් ඇත්තේ නම් ඒ තැන පිටවීමටත් ය. බුදුදහමට අන්‍යයන් ගේ දහම් අන්‍යයන් ගේ කියුම් ඇතුළු වී ඇති නම් ඒවා බැහැර කිරීම සඳහා කරන සංගායනාවේ දී බුදු දහම් නො වන මහා විශාල පිටකයක් අලුතින් ඇතුළු කළේ යැයි කීම කොතරම් මෝඩ කතාවක්ද? ධර්ම සංගායනාවේදී ම අභිධර්ම පිටකය තනා ඇතුළු කළාය කියනවා නම් එයත් මෝඩ කතාවෙකි. සුවාසූ දහසක් ධර්මස්කන්ධයෙන් දෙකෙන් කොටසක් එනම් ධර්මස්කන්ධ හතළිස් දෙදහසක් ම අභිධර්ම පිටකය ය. එතරම් විශාල ධර්මයක් සංගායනා කළ සුළු කාලයේ ගොතන්නට නුපුළුවන් බව යම්තරමකටවත් නුවණැතියකුට වැටහිය යුතු ය. යම් කිසිවකු විසින් කලින් අභිධර්ම පිටකය ස්වශක්තියෙන් පිළියෙල කරගෙන සිට සංගායනාවේ දී බුදු දහමට ඇතුළු කළේ ය යි කියනවා නම් එයත් මෝඩ කතාවෙකි. යම් කිසිවකු විසින් අභිධර්ම පිටකය කලින් තනාගෙන සිට සංගායනාවේ දී ඉදිරිපත් කළහොත් පිළිසිඹියාපත් ඒ රහතන් වහන්සේ පෙර කිසිකලෙක නො ඇසූ විරූ ඒ ධර්මය බුද්ධධර්මයක් ලෙස පිළිගනිත්ද? ඉදිරිපත් කරගෙන ආ තැනැත්තා එළවා දමනවා මිස ඒ ධර්මය පිළිගනිත් ද? නොපිළිගන්නාහුම ය. මේ කතාව ධර්ම සංගායනා කළ රහතන් වහන්සේලා මෝඩයන් කිරීමක් නො වේ ද? අභිධර්ම පිටකය නූගත්තෝ එහි තත්ත්වය නො දනිති. එබැවින් ඔවුන් සිතනු ඇත්තේ අභිධර්ම පිටකය නවකථාවක් ගොතන්නාක් මෙන් යම්කිසිවකුට ගෙතිය හැකියක්ය කියා. අභිධර්මය ඉතා ගැඹුරු වූ ද සියුම් වූ ද ප්‍රමාණයෙන් සූත්‍ර විනයපිටකවලට වඩා විශාල වූ ද නුවණ මඳ අයට තේරුම් ගැනීම දුෂ්කර වූ ද ධර්මයකි. එබැවින් අභිධර්ම අටුවාවෙහි “අභිධම්මො නාම න අඤ්ඤේසං විසයො. සබ්බඤ්ඤු බුද්ධානං යෙව විසයො” යනුවෙන් අභිධර්මය සර්වඥ බුදුවරයන්ට මිස සෙස්සන්ට අවිෂය ධර්මයක් බව කියා ඇත්තේය. ගැඹුරු වූ ද සියුම් වූ ද ඒ ධර්මය නවකතා ගොතන්නාක් මෙන් නො ගෙතිය හැකි ය.