සුවාසූ දහසක් ධර්මස්කන්ධය

තථාගතයන් වහන්සේ විසින් දේශිත ධර්මස්කන්ධය සුවාසූ දහසක් ඇතය යනු ද බුදුසසුනේ ප්‍ර‍සිද්ධ කරුණකි.

ද්වාසීතිං බුද්ධතො ගණ්හි - ද්වේසහස්සානි භික්ඛුතො,

චතුරාසීති සහස්සානි - යේ මේ ධම්මා පවත්තිතෝ.

මෙය සූත්‍ර‍පිටකයේ ඛුද්දක නිකායට අයත් ථෙරගාථා පාලියේ එය ආනන්ද ස්ථවිරයන් වහන්සේ ගේ ප්‍ර‍කාශනයකි. ඒ ගාථාවෙන් දැක්වෙන්නේ ආනන්ද ස්ථවිරයන් වහන්සේ ධර්‍මස්කන්ධ සුවාසු දහසක් දැන සිටින බව ය, දරාගෙන සිටින බව ය.

අභිධර්ම පිටකය බුද්ධ ධර්මයට ඇතුළත් නො වේ නම් ධර්මස්කන්ධ සුවාසූ දහසක් නැත්තේ ය. අභිධර්‍ම පිටකය සූත්‍ර‍ විනය දෙපිටකය තරම් විශාල ය. ලිඛිත මුද්‍රිත පොත්වලින් එය කුඩා පිටකයක් සේ පෙනෙන්නේ පේයාල ක්‍ර‍මයෙන් කෙටිකොට ලියා ඇති බැවිනි. සූත්‍ර‍ පිටකයට හා විනය පිටකයට ධර්මස්කන්ධ විසි එක් දහස බැගින් ය යි ද අභිධර්ම පිටකයට ධර්මස්කන්ධ දෙසාළිස් දහසකැයි ද කියා ඇත්තේ ය.