සංගායනාව කළ රහතන් වහන්සේලා “අබුද්ධ ධර්මයක් සංගායනාවේ දී බුදුදහම ය කියා එයට ඇතුළු කළහ” යි කීම උන්වහන්සේලාට කරන බරපතල චෝදනාවකි. රහතන් වහන්සේ නමකට තබා සෝවාන් වූ ගෘහස්ථ ආර්‍ය්‍ය පුද්ගලයකුට වුව ද දුෂ්ඨ සිතින් චෝදනාවක් එල්ල කිරීම බරපතල පවෙකි. එයට කියනුයේ ‘ආර්යොපවාද’ අකුශල කර්මය කියා ය. දහසක් රහතන් වහන්සේලාට චෝදනා කිරීමේ පාපයෙහි මහත් බව කියනුම කවරේ ද? “අතිභාරියං කම්මං සග්ගාවරණං මග්ගාවරණඤ්ච” යනුවෙන් එය ස්වර්ගාවරණයත් මාර්ගාවරණයත් කරන ඉතා බරපතල පාපකර්මයකැ යි විනය අටුවාවේ කියා ඇත. ස්වර්ගාවරණය යන්නෙහි තේරුම: එය කොතෙක් පින් කළත් මරණින් මතු ස්වර්ගයට යා නොහෙන ස්වර්ගද්වාරය වැසෙන පාපයක්ය යනුයි. ඔවුනට ඇරී පවත්නේ අපාය දොරය. සංගායනා ගැන හා ධර්මය ගැන තමන් කිසිවක් නො දැන තමන් විසින් පඬිවරයන් ලෙස සලකන අන්‍යයන් ගේ බස් අසා රහතන් වහන්සේලාට හා ධර්මයටත් නිගා කොට ඇතැම්හු තමන් විසින් ම තමන් නසා ගනිති. එසේ තමන් විසින් ම තමා නො නසා ගන්නා ලෙස මෙය කියවන පින්වතුන්ට කරුණාවෙන් දන්වමු.