ධර්මය අවලංගු කිරීමේ පාපය

star_outline

ධර්මය අවලංගු කිරීම බලවත් පාපයකි. එහි බරපතල බව බුදුන්වහන්සේ විසින් දේශනය කර ඇත්තේ මෙසේ ය.

“යෙ තෙ භික්ඛවෙ භික්ඛු භාසිතං ලපිතං තථාගතෙන ආභාසිතං අලපිතං තථාගතෙනාති දීපෙන්ති. තෙ භික්ඛවෙ භික්ඛු බහුජනහිතාය පටිපන්නා බහුජනසුඛාය. බහුනො ජනස්ස අනත්ථාය අහිතාය දුක්ඛාය දේවමනුස්සානං. බහුඤ්ච තෙ භික්ඛවෙ භික්ඛූ අපුඤ්ඤං පසවන්ති. තෙපිමං ධම්මං අන්තරධාපෙන්ති.”

“මහණෙනි, යම් ඒ භික්ෂූහු තථාගතයන් වහන්සේ විසින් දේශනය කළ ධර්මයක් තථාගතයන් වහන්සේ විසින් නො දෙසන ලද්දේ ය යි කියත් ද, ඒ භික්ෂූහු බොහෝ ජනයාට අහිත පිණිස පිළිපන්නෝ ය. බොහෝ ජනයාට දුක පිණිස බොහෝ ජනයාට අනර්ථය පිණිස පිළිපන්නෝ ය. දෙවි මිනිසුන්ට අහිත පිණිස දුක් පිණිස පිළිපන්නෝය. මහණෙනි, ඒ භික්ෂූහු බොහෝ අකුසල් රැස් කර ගන්නාහ. ඔවුහු මේ සද්ධර්මය (ශාසනය) නසන්නෝ ය.” යනු එහි තේරුම ය.

අභිධර්මය අවලංගු කිරීමේ බරපතල බව දම්සඟුණු අටුවාවෙහි දක්වන්නේ මෙසේය:

“අභිධම්මං පටිබාහෙන්තො ඉමස්මිං ජිනචක්කෙ පහාරං දෙති, සබ්බඤ්ඤුතඤාණං පටිබාහති, සත්ථු වේසාරජ්ජඤාණං පටිනිවත්තේති, සොතුකාමං පරිසං විසංවාදෙති. අරියමග්ගෙ ආවරණං බන්ධති, අට්ඨාරසසු භේදකරවත්ථූසු එකස්මිං සන්දිස්සති, උක්ඛෙපනිය කම්ම නියස්සකම්ම තජ්ජනියකම්මාරහො හොති. තං තං කම්මං කත්වා උය්‍යොජෙතබ්බො. ගච්ඡ විඝාසාදො හුත්වා ජීවිස්සති”

“අභිධර්මය අවලංගු කරන තැනැත්තේ බුද්ධ ධර්මයට පහර දෙන්නේය, සර්වඥතාඥානය අවලංගු කරන්නේය, ශාස්තෘන් වහන්සේ ගේ වෛශාරද්‍ය ඥානය නවත්වනනේය. දහම් අසනු කැමති ජනයා රවටන්නේය, ආර්‍ය්‍යමාර්ගය හරහා වැටක් බඳින්නේය, අටළොස් භේදකර වස්තූන්ගෙන් එකක පෙනී සිටින්නේය. භික්ෂූන්ට දඬුවම් කරන උක්ෂේපනීයකර්ම නියස්සකර්ම තර්ජනීයකර්ම යන විනයකර්මයන්ට සුදුස්සෙක් වන්නේ ය. දඬුවම් පිණිස ඒ විනය කර්මයක් කොට විඝාසාදයෙක් (හිඟන්නෙක්) වී ජීවත් වෙවයි සසුනෙන් නෙරපිය යුත්තෙක් වන්නේය” යනු එහි තේරුම ය.

බුද්ධධර්මයේ සාරවත් කොටස ප්‍ර‍ධාන කොටස අභිධර්ම පිටකය ය. උපමාවකින් කියතහොත් එය වෛද්‍ය ශාස්ත්‍ර‍ය වැනිය යි කිය යුතු ය. සූත්‍ර‍ ධර්ම වනාහි වෛද්‍යශාස්ත්‍ර‍ උගත් වෛද්‍යයකු විසින් රෝගීන් පරීක්‍ෂාකර ඒ ඒ රෝගියාට සුදුසු පරිදි ලියන ලද බෙහෙත් වට්ටෝරු සමූහයක් වැනිය. එසේ ලියන ලද බෙහෙත් වට්ටෝරු බලා නියම වෛද්‍යයකු නො විය හැකි ය. එසේ ම සූත්‍ර‍ දේශනා පමණක් දත් කෙනකුට ගැඹුරු ධර්මයන් නිවැරදි ලෙස දේශනය කළ හැකි ධර්මධරයකු ධර්මකථිකයකු නො විය හැකි ය.

බුදුරදුන් ජීවමාන කාලයේ භික්ෂූන් අතර පැතිර තුබූ ධර්මය අභිධර්මය පිටකය විය යුතු ය. එය දේශනය කරන ලද්දේ බුදුවීමෙන් සත්වන වසරෙහි ය. එය ඒ වස්කාලයේදී ම සැරියුත් මහතෙරුන් වහන්සේ භික්ෂූන් පන්සියයකට උගැන්වූහ. එයින් භික්ෂූන් අතර අභිධර්මය පැතිර තිබෙන්නට ඇත. ඒ කාලයේ තිබෙන්නට ඇත්තේ සූත්‍ර‍වලින් ස්වල්පයක් විය යුතු ය. සූත්‍ර‍වලින් වැඩි ගණනක් අභිධර්මය දේශනය කිරීමෙන් පසු දේශනය කළ ඒවාය. ඒවා නිකාය වශයෙන් වර්ග වශයෙන් පිළියෙළ වන්නට ඇත්තේ ප්‍ර‍ථම ධර්මසංගායනාවේදී ය. විනය පිටකය ඇතිවූයේ බුදුවී වසර විස්සකින් පසුව ය. දඹදිව නොයෙක් ශාස්තෘවරයන් විසින් නානාප්‍ර‍කාර ධර්ම පතුරුවා තුබූ ඒ කාලයේ බෞද්ධ භික්ෂූන්ට උසස් තත්ත්වයක් තිබෙන්නට ඇත්තේ ද අභිධර්මය නිසා විය යුතු ය. තීර්ථකයන් මථනය කිරීම සඳහා යමා මහ පෙළහර පෑම, තුන් පියවරකින් දෙව්ලොව වැඩම කිරීම, එහි අභිධර්මය දේශනා කිරීම, සංකස්ස නගරද්වාරයට දෙව්ලොවින් බැසීම යන මේ කරුණු බුද්ධශාසනයේ අතිප්‍ර‍සිද්ධය. එබැවින් අභිධර්මය බුද්ධ දේශනයක් නො වේය කියා සැක නො කළ හැකි ය.