චේතනා සූත්‍රයේ විස්තරය

ඇතැම් සූත්‍ර‍ ධර්ම සිංහලට පරිවර්තනය කිරීම දුෂ්කරය. සූත්‍ර‍වල එන සමහර පාළි වචන වෙනුවට යෙදීමට සුදුසු සිංහල වචන නැත. එබැවින් පරිවර්තනය කරන්නා වූ ඇතැම්හු ඒ වචන වෙනුවට සංස්කෘත වචන යොදති. ඒ පාළි වචනවල අඬු කඩා සාදාගත් සිංහල වචන යොදති. එසේ කළ අනුවාදයකින් කියවන්නාට කාරණය තේරුම් නො ගත හැකි ය. අද තිබෙන බොහෝ බණ පොත් මහජනයාට අප්‍රිය වී තිබෙන්නේ ඒ තේරුම් ගත නො හෙන වචන නිසා ය. මේ චේතනා සූත්‍රයේ මුල් වගන්ති කිහිපයත් සිංහලට පෙරළීම ඉතා දුෂ්කර ය. ඒ නිසා පාළි වචනවලින් කියවෙන අදහස තරමකටවත් කියවන්නවුන්ට තේරුම් ගත හැකි වේය යි සිතෙන වෙන වචන යොදා සූත්‍රයේ මුල් වගන්ති කීපය අපේ බසට පෙරළන ලදී.

මේ සූත්‍රයෙහි “යඤ්ච චෙතෙති” යනුවෙන් දැක්වෙන්නේ කාමාවචර කුශලචේතනා අටය, රූපාවචර කුශල චේතනා පසය, අරූපාවචර කුශල චේතනා සතරය යන ලෞකික කුශලචේතනා සතළොස ය. “යඤ්ච පකප්පෙති” යනුවෙන් කියැවෙන්නේ ලෝභ මූල සිත් අටෙහි තෘෂ්ණා - දෘෂ්ටි දෙක ය. “යඤ්ච අනුසෙති” යනුවෙන් දැක්වෙන්නේ අකුශල චේතනා දොළොස ය. බොහෝ තැන්වල ආරම්මණ යන වචනය යෙදී තිබෙන්නේ අරමුණය යි කියනු ලබන සිතට හසුවන දෙය දැක්වීමට ය. මේ සූත්‍රයෙහි එන ආරම්මණ යන වචනය යොදා තිබෙන්නේ ප්‍ර‍ත්‍යයය - හේතුවය යන අර්ථය සඳහා ය.

ලෞකික කුශලය සඳහා උත්සාහය ඇති කල්හි, තෘෂ්ණා දෘෂ්ටි අනුව කෙරෙන කල්පනාව ඇති කල්හි අකුශලය පිළිබඳ උත්සාහය ඇති කල්හි ඒවා නිසා ඉදිරියට තවත් කුශලාකුශලයෝ ඇති වෙති. ඒවා දියුණු වීමෙන් මතු ඉපදීමට හේතුවන කර්ම ඇති වේ. මේ සූත්‍රයෙහි විඤ්ඤාණ යන වචනයෙන් දක්වන්නේ අනික් පටිච්චසමුප්පාද පාඨවල සංඛාර යන වචනයෙන් කියන මතු උත්පත්තියට හේතු වන කුශලා කුශල කර්මය ය. අනික් පටිච්චසමුප්පාද පාඨවල විඤ්ඤාණ යනුවෙන් දක්වන ප්‍ර‍තිසන්ධි චිත්තය මේ සූත්‍රයෙහි නාමරූප යන්නට ම සංග්‍ර‍හ කර තිබේ.

“විඤ්ඤාණ, නාමරූප, සළායතන, ඵස්ස, වේදනා, තණ්හා, උපාදාන, භව, ජාති, ජරාමරණය” යි-

මේ සූත්‍රයෙහි දැක්වෙන්නේ පටිච්චසමුප්පාදාංග දශයෙකි. විඤ්ඤාණ යනුවෙන් ගැනෙන දෙය කර්‍මය බව අවුල් නො වීම පිණිස විශේෂයෙන් සිතේ තබා ගන්න. මෙහි විඤ්ඤාණය අතීත භවයට අයත් ය. නාමරූප - සළායතන - ඵස්ස - වේදනා - තණ්හා - උපාදාන - භව යන මේ අංග සත වර්තමාන භවයට අයත් ය. ජාති, ජරාමරණ යන අංග දෙක අනාගත භවයට අයත් ය. මෙහි විඤ්ඤාණ නාමරූප දෙකට අතර එක් සන්ධියෙකි. වේදනා - තණ්හා දෙකට අතර එක් සන්ධියෙකි. භව - ජාති දෙකට අතර එක් සන්ධියෙකි. විඤ්ඤාණය අතීත හේතුව ය. නාමරූප සළායතන ඵස්ස යන තුන වර්තමාන ඵල ය. වේදනා - තණ්හා - උපාදාන - භව යන සතර වර්තමාන හේතු ය. ජාති - ජරා මරණ යන දෙක අනාගත ඵල ය. මෙසේ සන්ධි තුන හා කොටස් සතර වේ.