චේතනා සූත්‍රයේ අදහස
star_outlineshare
- මහණෙනි! යම් ලෞකික කුශල චේතනාවක් පවත්වා ද, තෘෂ්ණා දෘෂ්ටීන්ගේ වශයෙන් යම් කල්පනාවක් කෙරේ ද, යම් අනුශාසනයක් වේ ද, එය කර්ම විඥානයා ගේ පැවැත්මට හේතුව ය. ඒ හේතුව ඇති කල්හි එය කර්ම විඥානයට පිහිටක් වන්නේ ය. ඒ කර්ම විඥානය ඇති වූ කල්හි විපාක දානයට ශක්තිය ලැබීම් වශයෙන් දියුණු වූ කල්හි නාමරූපයට බැස ගැනීම වේ. නාමරූප ප්‍රත්‍යයෙන් ෂඩායතනය වේ. ෂඩායතන ප්‍රත්‍යයෙන් ස්පර්ශය වේ. ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව වේ. වේදනා ප්‍රත්‍යයෙන් තණ්හාව වේ. තෘෂ්ණා ප්‍රත්‍යයෙන් උපාදානය වේ. උපාදාන ප්‍රත්‍යයෙන් භවය වේ. භව ප්‍රත්‍යයෙන් ජාතිය වේ. ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ ශෝක පරිදේව දුඃඛ දෞර්‍මනස්‍ය උපායාසයෝ වෙති. මෙසේ මේ සකල දුඃඛස්කන්ධයා ගේ හට ගැනීම වේ.
- මහණෙනි! ඉදින් ලෞකික කුශලාකුශල චේතනා නො පවත්වා ද, තෘෂ්ණා දෘෂ්ටි කල්පනා නො කෙරේ ද, එහෙත් අනුශය පවතී ද, එය කර්ම විඥානය ඇතිවීමට හේතු වෙයි. හේතුව ඇති කල්හි එය කර්මවිඥානයට පිහිටක් වේ. කර්මවිඥානය ඇති වූ කල්හි දියුණු වූ කල්හි නාමරූපයට බැස ගැනීම වේ. නාමරූපය නිසා ෂඩායතනය වේ. -පෙ- මෙසේ මේ සකල දුඃඛස්කන්ධයා ගේ පහළ වීම වේ.
- මහණෙනි! ඉදින් ලෞකික කුශල චේතනා නො පවත්වා ද, තෘෂ්ණා දෘෂ්ටි කල්පනා නො කෙරේද, ඉදින් අනුශය නැත්තේ ද එය කර්මවිඥානයට හේතු නො වේ. හේතුවක් නැති කල්හි කර්මවිඥානයට පිහිටක් නැත. කර්ම විඥානයට පිහිටක් නැති කල්හි නාමරූපයට බැස ගැනීම නො වේ. නාමරූප නිරෝධයෙන් ෂඩායතන නිරෝධය වේ. -පෙ- මෙසේ මේ සකල දුඃඛස්කන්ධයා ගේ නිරෝධය වේ.