ඥාතික සූත්‍රයේ භාවය

star_outline
  1. මා විසින් මෙසේ අසන ලදි. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ නෑ ගමෙහි ගඩොළින් කළ පහයෙහි වැඩ වෙසෙන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ විවේකස්ථානයට පැමිණියාහු හුදකලාව වැඩ වෙසෙන සේක් මේ ධර්මකාරණය වදාළ සේක.
  2. ඇස ද රූපය ද නිසා චක්ෂුර්විඥානය උපදී. (චක්ෂුඃප්‍ර‍සාද රූප චක්ෂුර්විඥාන යන) තිදෙනා ගේ එක් වීමෙන් ස්පර්ශය වේ. ස්පර්ශය ප්‍ර‍ත්‍යය කොට වේදනාව උපදී, වේදනාව ප්‍ර‍ත්‍යය කොට තෘෂ්ණාව උපදී. තෘෂ්ණාව ප්‍ර‍ත්‍යකොට උපාදානය උපදී. උපාදානයන් ප්‍ර‍ත්‍යකොට භවය උපදී. භවය ප්‍ර‍ත්‍යකොට ජාතිය වේ. ජාතිය ප්‍ර‍ත්‍යය කොට ජරාමරණය ද ශෝක පරිදේව දුඃඛදෞර්මනස්‍ය උපායාසයෝ ද වෙති. මෙසේ මේ සකල දුඃඛස්කන්ධයාගේ හටගැනීම වේ.
  3. ශෝත්‍ර‍ය ද ශබ්දය ද නිසා -පෙ- ඝ්‍රාණය ද ගන්ධය ද නිසා -පෙ- දිව ද රසය ද නිසා -පෙ- කය ද ස්ප්‍ර‍ෂ්ටව්‍යය ද නිසා -පෙ- මනස ද ධර්මයන් ද නිසා මනෝ විඥානය උපදී. තිදෙනා ගේ එක්වීමෙන් ස්පර්ශය උපදී. ස්පර්ශය ප්‍ර‍ත්‍යය කොට වේදනාව උපදී. වේදනාව ප්‍ර‍ත්‍යය කොට තෘෂ්ණාව උපදී. තෘෂ්ණාව ප්‍ර‍ත්‍යය කොට උපාදානය උපදී. උපාදානය ප්‍ර‍ත්‍යය කොට භවය උපදී. භවය ප්‍ර‍ත්‍යය කොට ජාතිය වේ. ජාතිය ප්‍ර‍ත්‍යය කොට ජරාමරණ සෝක පරිදේව දුඃඛ දෝමනස්ස උපායාසයෝ වෙති. මෙසේ මේ සකල දුඃඛස්කන්ධයා ගේ පහළවීම වේ.
  4. ඇස ද රූපය ද නිසා චක්ෂුර්විඥානය උපදී. තිදෙනාගේ එක්වීමෙන් ස්පර්ශය උපදී. ස්පර්ශය ප්‍ර‍ත්‍යය කොට වේදනාව උපදී. වේදනාව ප්‍ර‍ත්‍ය කොට තෘෂ්ණාව උපදී. ලෝකෝත්තර මාර්ගය කරණ කොට ඒ තෘෂ්ණාවගේ නිරවශේෂ නිරෝධයෙන් උපාදාන නිරෝධය වේ. උපාදාන නිරෝධයෙන් භව නිරෝධය වේ. භව නිරෝධයෙන් ජාති නිරෝධය වේ. ජාති නිරෝධයෙන් ජරා මරණ ශෝක පරිදේව දුඃඛ දෞර්‍මනස්‍ය උපායාසයෝ නිරුද්ධ වෙති. මෙසේ මේ සකල දුඃඛස්කන්ධයාගේ නිරෝධය වේ.
  5. ශ්‍රෝත්‍ර‍ය ද ශබ්දය ද නිසා -පෙ- මනස ද ධර්මයන් ද නිසා මනෝවිඥානය උපදී. තිදෙනා ගේ එක්වීමෙන් ස්පර්ශය උපදී. ස්පර්ශය නිසා වේදනාව උපදී. වේදනාව නිසා තෘෂ්ණාව උපදී. ලෝකෝත්තර මාර්ගඥානය කරණකොට ඒ තෘෂ්ණාවගේ නිරවශේෂ නිරෝධයෙන් උපාදාන නිරෝධය වේ. උපාදාන නිරෝධයෙන් භව නිරෝධය වේ. භව නිරෝධයෙන් ජාති නිරෝධය වේ. ජාති නිරෝධයෙන් ජරා මරණ ශෝක පරිදේව දුඃඛ දෞර්‍මනස්‍ය උපායාසයෝ නිරුද්ධ වෙති. මෙසේ මේ සකල දුඃඛස්කන්ධයාගේ නිරෝධය වේ.
  6. එසමයෙහි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහ්නසේ ගේ හඬ ඇසෙන මානයේ සිටියේ වේ. ඇසෙන මානයේ උන් ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ දුටු සේක. දැක මෙසේ වදාළ සේක. මහණ! “නුඹ මේ ධර්ම කාරණය ඇසුවෙහිද”? “එසේය ස්වාමීනි” යි භික්ෂුව පිළිතුරු දිණි. මහණ! මේ ධර්ම කාරණය උගෙන ගන්න. මහණ! මේ ධර්ම කාරණය නුඹ පුරුදුකර ගන්න. මහණ මේ ධර්මපර්‍ය්‍යාය අර්ථය පිණිස පවත්නකි. මෙය ලෝකෝත්තර මාර්ගය පිණිස පිරියයුතු ප්‍ර‍තිපත්තියේ ආදිය වන්නේ ය. මෙසේ භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

මේ ඥාතික සූත්‍රයේ භාවය ය.

මේ සූත්‍ර‍යට ඥාතික සූත්‍ර‍ය යන නම තබා ඇත්තේ නෑයන් ගේ ගමෙහි දේශනය කළ හෙයිනි. බුදුරජාණන් වහන්සේ විසින් ම නම් තැබූ සූත්‍ර‍ ඇත්තේ ඉතා ස්වල්පයෙකි. බොහෝ සූත්‍ර‍යන්ට නම් තබා ඇත්තේ සංගීතිකාරකයන් වහන්සේලා විසිනි. මේ සූත්‍ර‍යට නම තැබීමේදී පටිච්චසමුප්පාදය යන නම සඳහන් නො වන්නේ පටිච්චසමුප්පාද සූත්‍ර‍ බොහෝ ඇති බැවිනි. මේ සූත්‍රයෙහි ප්‍ර‍තීත්‍යසමුත්පාදය දක්වා තිබෙන්නේ ස්පර්ශය මුල්කොට ය. ස්පර්ශය මුල්කොට ගන්නා කල්හි ද ජාතිය ඇතිවන කල්හි ඉන්ද්‍රියයන් ඇති වීමෙන් නැවත ද ස්පර්ශය ලැබීමෙන් සංසාරචක්‍ර‍ය සෑදේ. සාමාන්‍යයෙන් පටිච්චසමුප්පාද දේශනාව පටන්ගෙන තිබෙන්නේ අතීත භවයෙනි. එහි දැක්වෙන අවිද්‍යා සංස්කාර නමැති අංග දෙක අතීත භවයට අයත් ය.

මේ සූත්‍රයේ පටිච්චසමුප්පාද දේශනාව පටන්ගෙන ඇත්තේ වර්තමාන භවයට අයත් ස්පර්ශාදියෙනි. සාමාන්‍ය ප්‍ර‍තීත්‍යසමුත්පාද දේශනයන් ඇත්තේ භව තුනක් සම්බන්ධ කොට ය. මෙහි ඇත්තේ වර්තමාන අනාගත භව දෙක පමණෙකි. අන්‍ය සූත්‍ර‍යන්හි ප්‍ර‍තිලෝම ප්‍ර‍තීත්‍යසමුත්පාද දේශනය “අවිජ්ජායත්වෙව අසේස විරාග නිරෝධා සංඛාර නිරෝධෝ” යනාදීන් නිරෝධයෙන් ම පටන්ගෙන තිබේ. මේ සූත්‍රයෙහි ප්‍ර‍තිලෝම ප්‍ර‍තීත්‍යසමුත්පාදය පටන්ගෙන තිබෙන්නේ උත්පාදයෙන්ම ය. නිරෝධය දක්වා තිබෙන්නේ තෘෂ්ණාවෙහි පටන් ය. මැදදී නිරෝධය පටන් ගැනීම මේ සූත්‍රයෙහි ඇති විශේෂ කරුණෙකි.

“ඵස්ස නිරොධා වේදනා නිරොධො” යනාදීන් ඵස්ස නිරෝධයේ පටන් ම නිරෝධය නො වදාළේ යම්කිසි කරුණක් නිසා ය. ඒ කරුණ නම්: ඵස්ස නිරෝධයට විශේෂ ප්‍ර‍තිපත්තියක් නැති බවයි. යම්කිසි ප්‍ර‍තිපත්තියකින් ඵස්සය ප්‍ර‍හාණය නො කළ හැකි ය. මේ සූත්‍රයෙහි එන ප්‍ර‍තීත්‍යසමුත්පාදාංගවලින් ප්‍ර‍තිපත්තියෙන් ප්‍ර‍හාණය කළ හැකි අංග ඇත්තේ තෘෂ්ණා උපාදාන දෙක ය. එබැවින් තෘෂ්ණා නිරෝධයෙන් ම මේ සූත්‍රයෙහි සංසාර චක්‍ර‍යාගේ නිරෝධය වදාරා තිබේ.

අවිද්‍යාව ප්‍ර‍හාණය නො කොට සංසාර චක්‍රයෙන් මිදිය හැකිද? යන ප්‍ර‍ශ්නය මෙහිදී මතුකළ හැකි ය. අවිද්‍යාව තිබියදී දුඃඛස්කන්ධය නිරුද්ධ නො වන බව එසේම ය. අවිද්‍යාව ඉතිරි වන සැටියට තෘෂ්ණාව ප්‍ර‍හාණය නො කළ හැකි ය. තෘෂ්ණාව ප්‍ර‍හාණය කළහොත් ඒ සන්තානයෙහි අවිද්‍යාව ඉතිරි නො වේ. අවිද්‍යා ප්‍ර‍හාණය තෘෂ්ණා ප්‍ර‍හාණයෙන් ම සිද්ධ ය. අවිද්‍යා තෘෂ්ණා දෙක ප්‍ර‍හාණය කිරීමට වෙන වෙන ම ප්‍ර‍තිපත්ති ක්‍ර‍ම දෙකක් ද නැත්තේ ය. එක ම ප්‍ර‍තිපත්තියෙන් ඒ දෙක්හි ම ප්‍ර‍හාණය සිදු වේ.

පටිච්චසමුප්පාදය ධර්මස්වාමි වූ බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් ගරුකරන ධර්මයෙකි. ඒ ධර්මය උන්වහන්සේ දිනපතා ම මෙනෙහි කරන සේක. මේ සූත්‍රදේශනය කළ දිනයේ තථාගතයන් වහන්සේ ඤාතිකයෙහි උළුමුවා පහයෙහි වැඩ වෙසෙමින් පටිච්චසමුප්පාදය මෙනෙහි කර ගෙන ගිය කල්හි උන්වහන්සේට භවාග්‍ර‍ය දක්වා ලෝකය එක මිදුලක් සේ පෙනෙන්නට විය. එකල්හි උන්වහන්සේ පටිච්ච සමුප්පාදය මෙනෙහි කිරීමෙන් ම තෘප්තියට නොපැමිණ ශ්‍රී මුඛය විවෘත කොට මධුර ස්වරය විහිදුවමින් ඒ ධර්මය සජ්ඣායනා කරන්නට වූහ.

ගඳකිළි මිදුල හැමදීම සඳහා එහි ගිය එක් භික්ෂුවකට පමණක් තථාගතයන් වහන්සේ ගේ ඒ ධර්ම සජ්ඣායනය අසන්නට ලැබිණ. සූත්‍ර‍ය සජ්ඣායනා කොට අවසානයේ දී මේ ධර්මයට කන් දුන් යම්කිසිවකු ඇද්දෝයි මෙනෙහි කළා වූ තථාගතයන් වහ්නසේට ඒ භික්ෂුව පෙනිණ. එකල්හි තථාගතයන් වහන්සේ ඒ භික්ෂුව අමතා ඒ ධර්මයෙහි අගය වදාරා එය භාවිත කරන ලෙස ඒ භික්ෂුවට අනුශාසනයක් කළ සේක.