උපාදාන පච්චයා භවෝ

star_outline

“තත්ථ කතමෝ උපාදානපච්චයා භවෝ? භවෝ දුවිධේන, අත්ථි කම්මභවෝ, අත්ථි උපපත්තිභවෝ. තත්ථ කතමෝ කම්මභවෝ? පුඤ්ඤාභිසංඛාරෝ අපුඤ්ඤාභිසංඛාරෝ ආනෙඤ්ජාභිසංඛාරෝ, අයං වුච්චති කම්මභවෝ, සබ්බම්පි භවගාමිකම්මං කම්මභවෝ. තත්ථ කතමෝ උපපත්තිභවෝ? කාමභවෝ රූපභවෝ අරූපභවෝ, සඤ්ඤාභවෝ අසඤ්ඤාභවෝ නේවසඤ්ඤානාසඤ්ඤාභවෝ, ඒකවෝකාරභවෝ, චතුවෝකාරභවෝ, පඤ්චවෝකාරභවෝ. අයං වුව්චති උපපත්තිභවෝ, අයං වුච්චති උපාදානපච්චයා භවෝ.”

මෙහි තේරුම මෙසේය :-

“උපාදාන හේතුවෙන් හටගන්නා භවය කවරේද? භවය දෙපරිද්දකින් දත යුතු ය. කර්මභවයෙක් ද ඇත. උපපත්තිභවයෙක් ද ඇත. එහි කර්මභවය කවරේ ද? පුණ්‍යාභිසංස්කාරය අපුණ්‍යාභිසංස්කාරය ආනෙඤ්ජාභිසංස්කාරය යන මෙය කර්මභවය යි කියනු ලැබේ. සකල භවගාමීකර්මය කර්මභවය ය. එහි උපපත්තිභවය කවරේ ද? කාමභවය, රූපභවය, අරූපභවය, සංඥාභවය, අසංඥාභවය, නේවසංඥානාසංඥාභවය, ඒකවෝකාරභවය, චතුවෝකාරභවය, පඤ්චවෝකාරභවය යන මෙය උපපත්තිභවය යි කියනු ලැබේ. මෙය උපාදාන හේතුවෙන් හටගන්නා භවය”යි කියනු ලැබේ.

කියන ලදුයේ උපාදාන ප්‍ර‍ත්‍යයෙන් වන්නා වූ භවය විභංගපාළියෙහි දැක්වුණු ආකාරය යි. ඒ භවය කොටින් සලකා ගත යුත්තේ මෙසේ ය. සත්ත්වසන්තානයෙහි උපාදානයන් ඇති වී ඒවා ලියලන්නට වැඩෙන්නට වූ කල්හි ඒවා නිසා තවත් දෙයක ඇති වීමක් වැඩීමක් වන්නේ ය. උපාදානයන් නිසා ඇති වන ඒ දෙය භව නම් වේ. එනම් ප්‍රාණඝාතාදි වශයෙන් දශප්‍රභේද වූ අකුශලය ය, දානාදි වශයෙන් දශප්‍රභේද වූ කුශලය ය, කුශලාකුශලයන් නිසා මතු ඒ ඒ භූමිවල හටගන්නා ස්කන්ධයෝ ය යන මොවුහු ය. එයින් ‘දශප්‍රභේද වූ අකුශලය, දශප්‍රභේද වූ ලෞකික කුශලය’ යි කියනු ලබන පින් පව් දෙකට ‘කර්‍මභවය’ යි කියනු ලැබේ. ඒ කර්මයන් කළ නිසා ඇතිවන්නා වූ සත්ත්වසන්තානයන්ට අයත් වූ ස්කන්ධයන්ට ‘උපපත්තිභවය’ යි කියනු ලැබේ.

උපපත්තිභවය: කාමභවය - රූපභවය - අරූපභවය යි තෙවැදෑරුම් වේ. සංඥාභවය, අසංඥාභවය, නේවසංඥානාසංඥාභවය යි තවත් ආකාරයකින් තෙවැදෑරුම් වේ. ඒකවෝකාරභවය, චතුවෝකාරභවය, පඤ්චවෝකාර භවය යි තවත් ආකාරයකින් තෙවැදෑරුම් වේ. මේ තුන් ආකාරයෙන් බෙදී යන භව සියල්ල එක් කොට ගත්විට භව නවයක් වේ.

අපාය සතරය, මිනිස් ලොවය, දෙව්ලොව සයය යන එකොළොස් භූමියෙහි උපදනා සත්ත්වයන්ගේ උපාදින්නස්කන්ධයෝ කාමභව නම් වෙති. සොළොස් රූපභූමියෙහි උපදනා සත්ත්වයන් ගේ උපාදින්නස්කන්ධයෝ රූපභව නම් වෙති. අරූතල සතරෙහි හැසිරෙන සත්ත්වයන්ගේ උපාදින්නස්කන්ධයෝ අරූපභව නම් වෙති. කාමභූමි එකොළොසය, අසංඥභූමිය හැර ඉතිරි රූපාවචර භූමි පසළොසය, යට අරූපභූමි තුනය යන මේ භූමීන්හි උපදනා සත්ත්වයන් ගේ උපාදින්නස්කන්ධයෝ සංඥාභව නම් වෙති. අසංඥභූමියෙහි උපදින්නවුන් ගේ උපාදින්නස්කන්ධයෝ අසංඥභව නම් වෙති. භවාග්‍ර‍ය යි කියනු ලබන අන්තිම අරූපභූමියෙහි උපදින්නවුන් ගේ උපාදින්නස්කන්ධයෝ නේවසංඥානාසංඥාභව නම් වෙති.

වෝකාර’ යනු ස්කන්ධයන්ට ම නමෙකි. අසංඥභූමියෙහි ඇත්තේ රූපස්කන්ධය පමණෙකි. එබැවින් එහි සත්ත්වයන් ගේ උපාදින්නස්කන්ධයෝ ඒකවෝකාර භව නම් වෙති. අරූප භූමීන්හි ඇත්තේ නාමස්කන්ධ සතර පමණෙකි. එබැවින් ඒවායේ සත්ත්වයන් ගේ උපාදින්නස්කන්ධයෝ චතුවෝකාරභව නම් වෙති. පඤ්චස්කන්ධය ඇති ඉතිරි භූමීන්හි සත්ත්වයන් ගේ උපාදින්නස්කන්ධයෝ පඤ්චවෝකාර භව නම් වෙති. සත්ත්වසන්තානයට අයත් ස්කන්ධයන් අතර කර්මයෙන් හටගන්නා කොටසක් හා අන්‍ය හේතූන්ගෙන් හටගන්නා කොටසක් ද ඇත්තේ ය. උපාදින්නස්කන්ධයයි කියන ලදුයේ කර්මයෙන් හට ගන්නා ස්කන්ධයන්ට ය. ‘උපාදානපච්චයා භවෝ’ යන මෙහි ගනු ලබනුයේ කර්මයෙන් හටගන්නා ස්කන්ධයෝ ය.

උපාදානයන් නිසා භවය ඇතිවන සැටි මතු දක්වන පරිදි දත යුතු ය. කර්මභව උපපත්තිභව දෙකින් කර්ම භවය අකුශලකර්මභවය කුශලකර්ම භවය යි දෙවැදෑරුම් වේ. තෘෂ්ණාව රූපතෘෂ්ණාදි වශයෙන් සවැදෑරුම් වන්නා සේ ම කාමුපාදානය ද, රූපකාමුපාදානාදි වශයෙන් සවෑදරුම් වන බව ද සැලකිය යුතු ය. මස් රසයට ලොල් වූ තැනැත්තා හට නිතරම එය අනුභව කරන්නට සිත් වෙයි. ඔහු ඒ නිසා ඌරු - කුකුළු - ගවාදි සතුන් මරන්නටත් මරවන්නටත් පටන්ගනී. මස් රසයට ආශාව කාමුපාදානය යි. ඔහු ගේ සතුන් මැරීම මැරවීම ඒ කාමුපාදානයේ මෙහෙයීමෙන් සිදු වන්නකි. ඇතැම්හු තමන් ගේ ගොවිතැන් පාලු කරන සතුන් ද, තවත් තමන් ඇලුම් කරන වස්තූන් නසන සතුන් ද මරා දමති. සමහරු තමන් ඇලුම් කරන වස්තූන් ලබාගනු පිණිස මුදල් සැපයීම සඳහා සතුන් මරති. සමහරු අඹුදරුවන් රකිනු සඳහා සතුන් මරති. ඒ ප්‍රාණඝාත කර්ම සියල්ල ම සිදු වන්නේ කාමුපාදානය නිසා ය.

ඇතැම් මිථ්‍යාදෘෂ්ටිකයෝ දෙවියන් සතුටුකොට දෙව්ලොව යන බලාපොරොත්තුවෙන් දෙවියන් පිදීම සඳහා සතුන් මරති. ඇතැම්හු දෙවියන් සතුටු කරවනු පිණිස දන්දීම සඳහා සතුන් මරති. ඇතැම්හු ‘සත්ත්වයෝ මනුෂ්‍යයා ගේ ප්‍රයෝජනය පිණිස දෙවියන් විසින් මවන ලද්දෝ ය’ යි සලකා ගෙන සතුන් මරති. ඇතැම්හු මහායාග පවත්වනු පිණිස බොහෝ සතුන් මරති. මරවති. මේ දිට්ඨුපාදානය නිසා ප්‍රාණඝාත කර්මය සිදුවන සැටි ය.

ඇතැම්හු ආත්මය කල් පැවැත්ම සඳහා, නිරෝග කරනු සඳහා, බලවත් කරනු සඳහා සතුන් ගේ බිත්තර කති. කුකුළු - වටු ආදි සතුන් මරා කති. මරවා ගනිති. ආත්මය ආරක්‍ෂා කරනු පිණිස උකුණන් මකුණන් මැස්සන් මදුරුවන් මරති. බල්ලන් සර්පයන් මරති. තවත් සතුන් ද මරති. අඹුදරුවන් ගේ ආත්මාරක්‍ෂාව සඳහා ද එසේ කරති. ඒ අත්තවාදුපාදානය නිසා ප්‍රාණඝාතකර්මය සිදුවන ආකාරයයි. මෙසේ උපාදානයන් ගේ මෙහෙයීමෙන් සත්ත්වයා විසින් ප්‍රාණඝාත කර්මය කරනු ලැබේ. අදත්තාදානාදි අකුශලයන්, උපාදානයන් නිසා කරන සැටි ද කියන ලද්දට අනුව කල්පනා කර ගත යුතු ය. ග්‍ර‍න්ථය මහත් වන බැවින් මෙහි නො දක්වනු ලැබේ. අකුශලකර්මදශය අතුරෙන් කාමමිථ්‍යාචාරය හා අවිද්‍යාව කාමුපාදානය නිසාම සිදුවන බව ද, මිථ්‍යාදෘෂ්ටි කර්මය ඉතිරි උපාදාන තුන නිසා සිදු වන බව ද මෙහි ලා විශේෂයෙන් සැලකිය යුතු ය.

දන් දීමෙන් මිනිස්ලොව පොහොසත් පවුල්වල - සිටු පවුල්වල - රජ පවුල්වල ඉපද ප්‍ර‍ණීත ආහාරපාන - වස්ත්‍ර‍ - යාන - වාහන වාසස්ථානාදිය ලැබිය හැකි බව හා දෙව්ලොව ඉපද එයටත් වඩා ප්‍ර‍ණීත කාමසම්පත් ලැබිය හැකි බව ද අසන කල්හි; බෙර හඬ ඇසෙන කල්හි පිස්සුව ඇවිස්සෙන්නාක් මෙන්, කාමුපාදානය ඇති තැනැත්තා කෙරෙහි ඒ කාමුපාදානය නැඟ නැඟ එන්නට පටන්ගනී. ගින්නකට තෙල් ඉසින කල්හි එය බුර බුරා නැඟ එන්නාක් මෙන්, කාමුපාදාන ගින්න බුර බුරා නඟින්නට පටන් ගනී. එයින් මෙහෙයන ලද තැනැත්තා මිනිස් ලොව හා දෙව්ලොව කාමයන් ලබනු පිණිස ආහාර පාන වස්ත්‍රාදිය දන් දෙයි. මල්පූජා පහන් පූජාදිය කරයි. වතු කුඹුරු ආදිය පුදයි. විහාර - දාගැබ් - සංඝාවාස - පාසල් - අම්බලම් - ලිං - පොකුණු ආදිය කරවයි. සිල් රැකි කල්හි ඒ පිනෙන් ඒවා ලැබිය හැකි බව ඇසූ කල්හි, කාමුපාදානය නැඟී එයින් මෙහෙයන ලදුව, පන්සිල් අටසිල් දසසිල් ආදි සිල් රකී. සමහරවිට පැවිදිව ද සිල් රකී. භාවනාමය කුශලයෙන් ඒවා ලැබිය හැකි බව ඇසූ කල්හි භාවනාවෙහි යෙදෙයි. මේ කාමුපාදානය නිසා දාන ශීල භාවනාමය කුශලයන් ඇති වන ආකාරය යි.

දානාදි පින්කම්වලින් දෙවියන් සතුටු කරවීමෙන් කියන ලද සම්පත් ලැබිය හැකිය යන දෘෂ්ටිය ඇත්තෝ කාමුපාදාන දිට්ඨුපාදාන දෙකින් ම මෙහෙයන ලදුව දන් දිම්, සිල් රැකීම් භාවනාවෙහි යෙදීම් කරති. ඒ කාමුපාදාන දිට්ඨුපාදාන දෙක නිසා දාන ශීල භාවනා සංඛ්‍යාත කුශල කර්මභවය ඇති වන ආකාරය යි.

දන්දීම් ආදි පින්වලින් දිව්‍යලෝක - මනුෂ්‍යලෝක දෙක්හි, දීර්ඝායු ඇති, වර්ණසම්පත්තිය ඇති, නිරෝග බව ඇති, තේජස් ඇති, අධිපති බව ඇති, මනා නුවණ ඇති, සිහිය ඇති, ධෛර්‍ය්‍යය ඇති, උසස් ආත්මයන් ලැබිය හැකි බව ඇසූ කල්හි, අත්තවාදුපාදාන ගින්න නගින්නට පටන් ගනී. එයින් මෙහෙයන ලද තැනැත්තා උසස් ආත්මයන් ලබනු සඳහා දන්දීම කරයි. සිල් රැකීම කරයි. භාවනා කරයි. රූපාරූප බ්‍ර‍හ්මයන් ගේ ආත්මභාව සම්පත්තිය ඇසූ කල්හි එයට පැමිණීම සඳහා ගිහිගෙය හැර පැවිදිව සිල් රකියි. ධ්‍යාන වඩයි. මේ අත්තවාදුපාදානය නිසා දාන ශීල භාවනා සංඛ්‍යාත කුශලකර්මභවය ඇත වන ආකාරය යි.

මෙහි දක්වන ලදුයේ ඒ ඒ උපාදානයන් නිසා ඒ ඒ කුශලාකුශල කර්‍මයන් බොහෝ සෙයින් ඇති වන ආකාරය යි. පෘථග්ජන පුද්ගලයා පිස්සකු වැනි ය. ඔහු කවර උපාදානයක් නිසා වුව ද, පින්පව්වලින් කවරක් වුව ද නො කරන්නේ නො වේ. එබැවින් උපාදාන සතර ම නිසා කුසල් වූ ද අකුසල් වූ ද සැම කර්‍මයක් ම සිදු විය හැකි බව සාමාන්‍යයෙන් කිය යුතු ය.

කුඹුරක හටගන්නා වී වලින් එක් කොටසක් බොල් වේ. කොටසක් මතු ගොයම ඇති කිරීමේ ශක්තිය වූ බීජශක්තිය ඇත්තා වූ යහපත් වී වේ. එමෙන් උපාදානයන් නිසා සත්ත්වයන් විසින් කරන කර්මයන්ගෙන් එක් කොටසක් මතු උත්පත්තියක් ඇති කිරීමෙහි සමත් බවක් නැත්තා වූ දුබල කර්මයෝ වෙති. කොටසක් අනාගතයෙහි සත්ත්වයා ඒ ඒ භවයට පැමිණවීමේ ශක්තියෙන් යුක්ත වූ බලවත් කර්මයෝ වෙති. දුබල පින් පව්වලට කර්මය යි ද, අනාගතයෙහි ප්‍ර‍තිසන්ධි දානයට සමත් වූ බලවත් කර්‍මයන්ට කර්‍මපථය යි ද කියනු ලැබේ. දුබල කර්මයෝ අභාවප්‍රාප්ත වෙති. බලවත් කර්මයෝ විපාක බවට පැමිණීම් වශයෙන් අනාගතයෙහි සත්ත්වයන් ඒ ඒ භවයට පමුණුවති. එහෙයින් කාමභවයෙහි ඉපදීමට හේතුවන කර්මයෙන් කාමභවය ඇති කරනු ලැබේ. රූපභවයෙහි ඉපදීමට හේතුවන කර්මයෙන් රූපභවය ඇති කරනු ලැබේ. අරූපභවයෙහි ඉපදීමට හේතු වන කර්මයෙන් අරූපභවය ඇති කරනු ලැබේ. සංඥභවාදීහු කියන ලද භවයන්ගේ ම ප්‍රභේදයෝ ය. මෙසේ උපාදාන හේතුවෙන් ඇතිවන කර්මභවය නිසා නව වැදෑරුම් උපපත්තිභවය නැවත නැවතත් ඇති වේ.

උපපත්තිභවය කර්ම හේතුවෙන් හටගන්නා කල්හි “උපාදානපච්චයා භවෝ” යි ‘කර්මභව උපපත්තිභව දෙක ම උපාදාන හේතුවෙන් වේ ය’ යි වදාළේ කුමක් නිසා ද? යන ප්‍ර‍ශ්නය මෙ තැන්හි පහළ වේ. එහි කාරණය මෙසේ දත යුතු.

ක්ලේශයෝ වනාහි සා පිපාසාවන් මෙන් සත්ත්ව සන්තානය දවන්නා වූ තවන්නා වූ ස්වභාවයෝ ය. සාගින්න නිවාගැනීමට ආහාරය ද, පිපාසය නිවා ගැනීමට පානවර්ග ද ඇතුවාක් මෙන් ඒ ඒ ක්ලේශයන් නිසා වන දැවිල්ල තැවිල්ල සන්සිඳවා ගැනීමට වුවමනා ක්ලේශාහාර කොටසක් ද ඇත්තේ ය. උපාදානයෝ ද අන් නමකින් කියන ක්ලේශයෝ ය. ඒවායේ ද සන්තානය දවන තවන ස්වභාවය ඇත්තේ ය. කාමුපාදානය යනු රූපශබ්දාදි කාමවස්තූන් පැතීම ය. එය එක්තරා දැවීමකි, තැවීමකි. ඒ දැවිල්ල නො ඉවසිය හැකි බැවින් සන්තානයෙහි කාමුපාදානය නැගී සිටි සත්ත්වයා එය නිවාගනු පිණිස කාමවස්තූන් සොයන්නේ ය. කාමුපාදාන ගින්න නිවන, සන්සිඳවන දෙය නම් කාමවස්තූහු ය. කාමවස්තු කාමුපාදානයේ ආහාරය යි.

අත්තවාදුපාදානය භවසම්පත්තිය පිළිබඳ වූවකි. ඒ අත්තවාදුපාදාන ගින්නට ආහාරය භවසම්පත්තිය ය. එබැවින් උපාදානයන් නැගී අවුත් ඒ ගින්නෙන් දැවෙන තැවෙන සත්ත්වයා සොයන පතන දෙය නම් කාම වස්තු හා භව සම්පත්තිය ය. ඔහු කාමවස්තූන් හා භවය ලබාගැනීමට, ඇතිකර ගැනීමට උත්සාහ කරයි. කර්මභවය යනු ඒ කරන උත්සාහය යි. එය අප්‍ර‍ධාන දෙයකි. උපාදනයන්ට ප්‍ර‍ධාන වශයෙන් වුවමනා දෙය භව සම්පත්තිය වූ උපපත්ති භවය යි. කර්මය උපපත්ති භවයට හේතු වතුදු උපාදානය ම උපපත්ති භවය ඇති වීමේ මූලික හේතුව වේ. එබැවින් උපාදානය නිසා කර්මභව උපපත්තිභව දෙක ම ඇති වේ ය යි කීම යුක්ති යුක්තය.

‘අවිජ්ජාපච්චයා සංඛාරා’ යනුවෙන් වරක් දක්වන ලද කර්මය ම නැවත උපාදානයන් ගේ ඵල වශයෙන් දැක්වීම නිරර්ථක නො වේ ද? යනු මෙහි ඇති වන තවත් ප්‍ර‍ශ්නයකි. මේ පටිච්චසමුප්පාද දේශනය ජාති තුනක් හා සම්බන්ධය. “අවිජ්ජාපච්චයා සංඛාරා” යන තන්හි දක්වන ලද කර්මය අතීත ජාතියට අයත් වූ වර්තමාන භවය ඇතිවීමට හේතු වූ කර්මය යි. “උපාදානපච්චයා භවෝ” යන මෙහි දක්වන කර්මය වර්තමාන භවයට අයත් වූ අනාගත භවයට හේතු වන කර්මය යි. අතීත භවයෙන් වර්තමාන භවයට පැමිණීම හා වර්තමාන භවයෙන් අනාගත භවයට පැමිණීමත් දක්වන මේ දේශනයෙහි දෙතැනක කර්මය දැක්වීම කළ යුතු ම ය. එබැවින් කර්මය දෙතැනක දැක්වීම නිෂ්ඵල නො වන බව දත යුතු ය.