ආහාර පානවස්ත්‍රාදී ජීවත් වීමට වුවමනා උපකරණ සපයා ගෙන, සොරකම් නො කොට, අනුන්ගෙන් නො ඉල්ලා ලෝකයෙහි නියම මිනිසකු සැටියට ජීවත් වීමට පවා, වීර්‍ය්‍ය නැත්‍තෝ සමත් නො වෙති. නො පසු බස්නා වීර්‍ය්‍යය ඇති වෙහෙස ගණන් නො ගන්නා වූ වීර පුරුෂයනට නො පැමිණිය හැකි නො ලැබිය හැකි සැපතක් නැත.
වීර්‍ය්‍යයේ බලයෙන් මහ දුක්වලින් මහ විපත්වලින් මනුෂ්‍යයෝ මිදෙති. වීර්‍ය්‍ය බලයෙන් දිළින්දෝ පොහොසත් වෙති. අපණ්ඩිතයෝ පණ්ඩිත වෙති. ඇතැම්හු රජ වෙති. ඇතැම්හු ඇමති වෙති. ඇතැම්හු සෙන්පති වෙති. මනුෂ්‍යයෝ වීර්‍ය්‍ය බලයෙන් තවත් නොයෙක් තත්ත්වයන්ට පැමිණෙති. වීර්‍ය්‍ය බලයෙන් මිනිස්සු දේවත්වයට ද බ්‍රහ්මත්වයට ද පත් වෙති. පෘථග්ජනයෝ වීර්‍ය්‍ය බලයෙන් ම රහත් බවට ද, පසේ බුදු බවට ද, ලොව්තුරා බුදු බවට ද පැමිණෙති. රජතුමා මිස රොඩී කොලුවා රජ වන්නට නො සිතන්නාක් මෙන් වීර්‍ය්‍ය වන්තයා මිස අලසයා ලොවුතුරා බුදු වන්නට, පසේ බුදු වන්නට, රහත් වන්නට නො සිතන්නේ ය. තමා දුකින් මිදීමටත්, නිවන් සැපතට පැමිණීමටත් නො සිතන්නා වූ අලසයා ලොවුතුරා බුදුබවට පැමිණ සියලු සතුන් දුකින් මිදවීමට කෙසේ සිතා ද? නො සිතා ම ය. අලස බව මහා නපුරෙකි. අලසයෝ උසස් බවට කිසි කලෙක නො පැමිණෙති. ඔවුහු ඒ අලස බව නිසා ලබා තිබෙන යස ඉසුරෙන් ද පිරිහෙති.
සත්ත්ව සන්තානයෙහි රාගාදී ක්ලේශයෝ මතැතුන් සේ නැඟ එති. ඒවාට වසඟ වන සත්ත්වයෝ නොයෙක් පව් කම් කරති. කෙලෙස් වඩා අන්‍යයන් පව් කම්වල යොදවන්නා වූ ද, සුසිරිතෙන් බැහැර කරවන්නා වූ ද පාප මිත්‍රයෝ සත්ත්වයා වටේ පිරී සිටිති. ඔවුන් ගෙන් බේරී නිවන් මග ගමන් කිරීමට ඇත්තා වූ ආරක්ෂාවත්, ඔවුන් මැඬලීමට ඇත්තා වූ එක ම ආයුධයත් වීර්‍ය්‍යය ම ය. මෙසේ නා නා ආකාරයෙන් වීර්ය්‍යයේ අනුසස් මෙනෙහි කළ යුතු ය. අලස බැව්හි දොස් මෙනෙහි කළ යුතු ය.
ඉහත දැක්වුණු වීර්‍ය්‍යය ඇති වීමේ හේතු ද, කුසීත වස්තු අට ද, ආරම්භ වස්තු අට ද, වීර්‍ය්‍යයට ප්‍රතිපක්ෂ ධර්ම ද, ඒවා ඇති වීමේ හේතු ද, ඒවා නැති වීමේ හේතු ද මෙනෙහි කළ යුතු ය. වීර්‍ය්‍යය ඇතියන් ගේ චරිත මෙනෙහි කළ යුතු ය. මතු දැක්වෙන ධර්ම පද ද වීර්‍ය්‍යය ඇති වීම සඳහා මෙනෙහි කිරීමට සුදුසු ය.
“අජ්ජෙව කිච්චං ආතප්පං
කො ජඤ්ඤා මරණං සුවෙ,
නහි නො සංගරං තෙන
මහා සෙනෙන මච්චුනා”
කළ යුත්ත අද ම කළ යුතු ය. සෙට වන මරණය කවරෙක් දනී ද? මහා සේනා ඇති ඒ මාරයා ගේ අප හා පොරොන්දුවක් නැත.
“සබ්බරත්තිං සුපිත්වාන දිවා සංගණිකෙ රතො
කදස්සු නාම දුම්මේධො දුක්ඛස්සන්තං කරිස්සති“
මුළු රාත්‍රිය නිදා ගෙන දවල් අන්‍යයන් හා එක්ව කථා කිරීමෙහි ඇලුනා වූ නුවණ නැති තැනැත්තා කවදා දුක් කෙලවර කෙරේ ද?
“යො පුබ්බේ කරණියානි පච්ඡා සො කාතුමිච්ඡති.
සුඛා සො ධංසතෙ ඨානා පච්ඡා ච අනුතප්පති”
යමෙක් පළමු කළ යුත්ත පසුව කරන්නට කැමති වේද, හෙතෙමේ සැපයෙන් පිරිහෙන්නේ ය. මතු තැවෙන්නේ ය.
“ආරහථ නික්ඛමථ යුඤ්ජථ බුද්ධසාසනෙ,
ධූනාථ මච්චුනො සෙනං නළාගාරං ව කුඤ්ජරො.”
වීර්‍ය්‍ය කරව්, අලස බව දුරු කරව්, බුදු සස්නෙහි පිළිවෙත් පිරීමෙහි යෙදෙව්. ඇතා බටලී ගෙය පොඩිකර දමන්නාක් මෙන් මාර සේනාව මඩිව්.
“පරිත්තං දාරු මාරුය්හ යථා සීදෙ මහණ්ණවෙ
එවං කුසීත මාගම්ම සාධු ජිවිපි සීදති
තස්මා න පරිවජ්ජෙය්‍ය කුසීතං හීන විරියං”
මහ සයුරේදී පිහිට පිණිස කුඩා දර කඩකට නැගුණු තැනැත්තා යම් සේ මහ සයුරෙහි ම ගැලේ ද, එමෙන් අලසයා නිසා ඔහු ඇසුරු කරන තැනැත්තා ද, පිරිහීම් සයුරෙහි ගැලේ. එබැවින් අලසයා දුරු කරන්නේ ය. ඔහු ඇසුරු නො කරන්නේ ය.