“අපි ච ඡ ධම්මා ථිනමිද්ධස්ස පහානාය සංවත්තන්ති, අතිභොජනෙ නිමිත්තග්ගාහො, ඉරියාපථ සම්පරිවත්තනතා, ආලොකසඤ්ඤා මනසිකාරො, අබ්භොකාස වාසො, කල්‍යාණමිත්තතා, සප්පායකථාති.”
යනුවෙන් ථිනමිද්ධය දුරු වීමේ හේතු සයක් දක්වා තිබේ. පමණට වඩා ආහාර වැළඳීමෙන් වැළකීම ය, ඉරියව් වෙනස් කිරීම ය, ආලෝකය මෙනෙහි කිරීම ය, එළිමහනෙහි විසීම ය, කල්‍යාණ මිත්‍ර සේවනය ය, සත්ප්‍රාය කථාය යන මේ සය ථිනමිද්ධය හෙවත් අලස බව දුරු වීමේ හේතු ය.
දානවල දී බොහෝ අනුභව කිරීමෙන් දායකයනට පින් වැඩි වේය යන හැඟීම ඇති බමුණෝ වෙති. ඔවුහු ඒ නිසා බොහෝ අනුභව කෙරෙති. ඇතැම් බමුණෙක් දානවල දී නැගිටින්නට බැරිවන තුරු බත් අනුභව කෙරෙති. අහර ගත් පසු අනුන් විසින් අතින් අල්ලා නැගිට විය යුතු ඒ බමුණෝ “ආහාර හත්ථක” නම් වෙති. ඇතැම් බමුණෙක් බඩ කට පුරා කා ඒවා වමාරා දමා නැවතත් අනුභව කෙරෙති. ඔවුහු “භුත්තවමිතක” නම් වෙති. ඇතැම් බමුණෙක් නැගිටින්නට බැරිවන තෙක් කා එතැන ම පෙරලෙති. ඔවුහු “තත්ථවට්ටක” නම් වෙති. ඇතැම් බමුණෙක් හිණ වතක් තබා ගන්නට නො හැකි වන තෙක් අනුභව කෙරෙති. ඔවුහු “අලංසාටක” නම් වෙති. ඇතැම් බමුණෙක් උගුර තෙක් කුස පිරී සිටින සැටියට අනුභව කෙරෙති. කට ඇරියහොත් ඔවුන් ගේ උගුරෙන් කවුඩකුට හොට දමා බත් ගත හැකි ය. ඔවුහු “කාකමාසක” නම් වෙති.
ආහාරහත්ථකාදී බමුණන් මෙන් දායකයන්ට පින් සිදු කිරීමේ අදහසින් හෝ වඩාත් ඇඟ සනීප කර ගැනීමේ අදහසින් හෝ රස තෘෂ්ණාව නිසා හෝ පමණට වඩා ආහාරය ගත් කල්හි ථිනමිද්ධය හෙවත් අලස බව හිස ඔසවන්නට නුපුළුවන් වන සැටියට එන්නේ ය. පමණට වඩා ආහාරානුභවය නොයෙක් රෝගයන්ට ද හේතු වේ.
“චත්තාරෝ පඤ්ච ආලොපෙ අභූත්වා උදකං පිවෙ,
අලං ඵාසු විහාරය පහිතත්තස්ස භික්ඛුනො”
යනුවෙන් දැක්වෙන පරිදි බඩට අල්ලන ප්‍රමාණයෙන් බත් පිඬු සතරක් පසක් අඩු කොට අහර වළඳා පැන් පානය කරන තැනැත්තාට නිරෝගී බවත්, වීර්‍ය්‍යයත් ඇති වේ.