තේරුම් ගැනීමට අපහසු ධර්ම නිරවුල් පරිදි තේරුම් ගත හැකි වීමට පූරවාචාර්‍ය්‍යවරයෝ ඒ ධර්මයන්ගේ ලක්ෂණය, රසය, ප්‍රත්‍යුපස්ථානය, පදස්ථානය යන කරුණු සතර දැක්වූහ.
තං තං සභාවො ලක්ඛණං කිච්චසම්පත්තියෝ රසො
ගය්හාකරො ඵලං වා පි - පච්චුපට්ඨාන සඤ්ඤිතං
ආසන්නකාරණං යං තං - පදට්ඨානන්ති තං මතං
යනුවෙන් දැක්වෙන පරිදි ධර්මවලට අයත් වූ ඒ ඒ ස්වභාවය ලක්ෂණ වේ. ඒ ඒ ධර්මවලින් සිදුවන සිදුකරන කෘත්‍ය හෝ ධර්මයන්හි ඇතිගුණ විශේෂ හෝ රස නම් වේ. ධර්මයන්ගේ රසය දැක්වීමේදී කෘත්‍යය ප්‍රකට ධර්මයන්ගේ රසය වශයෙන් කෘත්‍යය දක්වනු ලැබේ. කෘත්‍යය අප්‍රකට යම්කිසි ගුණ විශේෂයක් ප්‍රකට ධර්මයන් ගේ රසය වශයෙන් ඒ ගුණ විශේෂය දක්වනු ලැබේ. බොහෝ සෙයින් රසය වශයෙන් දක්වා ඇත්තේ ධර්මවල කෘත්‍යය ය. ප්‍රත්‍යුපස්ථාන යනු වැටහෙන ආකාරය ය. ධර්මයන්ගේ තතු විමසන තැනැත්තාට මේ මෙය යයි අනික් ධර්මයන් ගෙන් වෙන් කොට සිතින් ගත හැකි ආකාර ධර්මයන්හි ඇත්තේ ය. ප්‍රත්‍යුපස්ථානය ය, වැටහෙන ආකාරයයයි කියනුයේ එයට ය. එබඳු ආකාර විශේෂයක් දැක්වීම දුෂ්කර ධර්මයන්ගේ පදස්ථානය වශයෙන් ඒ ධර්මය නිසා ඇති වන ඵලය දක්වනු ලැබේ. පදස්ථාන යනු ආසන්න කාරණය ය. එක් එක් ධර්මයක් ඇති වන්නේ එක හේතුවකින් නොව හේතු බොහෝ ගණනකිනි. ඒ හේතූන් ගෙන් ඇතැමෙක් දුරින් උපකාරක වෙති. ඇතැමෙක් ලඟින් උපකාරක වෙති. ආසන්න කාරණය යනු ලඟින් උපකාර වන ධර්මය ය. පාරමිතා ධර්ම නිරවුල් ලෙස තේරුම් ගත හැකි වනු පිණිස චරියාපිටක අටුවා ආදියෙහි ඒවායේ ලක්ෂණාදිය මෙසේ දක්වා තිබේ.
පරිච්චාග ලක්ඛණා දානපාරමී, දෙය්‍යධම්ම ලොභ විද්ධංසන රසා, අනාසත්ති පච්චුපට්ඨානා, පරිච්චජිතබ්බවත්ථු පදට්ඨානා, භවසම්පත්ති පච්චුපට්ඨානා වා.
දාන පාරමිතාවේ ලක්ෂණය තමා අයත් වස්තුව දීමය. එහි කෘත්‍යය ලෝභය නැති කිරීම ය. වැටහෙන ආකාරය වස්තුවෙහි නො ඇලෙන බව ය. ආසන්න කාරණය දෙන වස්තුව ය.
සීලන ලක්ඛණා සීල පාරමී, දුස්සීල්‍ය විද්ධංසන රසා, අනවජ්ජ රසා වා, සොචෙස්‍ය පච්චුපට්ඨානා, හිරොත්තප්ප පදට්ඨානා.
ශීල පාරමිතාවේ ලක්ෂණය කය වචන දෙක පාපයෙහි නො යොදවා මනාකොට තැබීම ය. එහි කෘත්‍යය දුසිල් බව නැති කිරීම ය, වැටහෙන ආකාරය පිරිසිදු බවය, ආසන්න කාරණය හිරි ඔතප් දෙක ය.
කාමතො ච භවතො ච නික්ඛමණ ලක්ඛණා නෙකඛම්ම පාරමී, තදාදීනව විභාවන රසා, තතො එව විමුඛභාව පච්චුපට්ඨානා, සංවෙග පදට්ඨානා.
නෛෂ්ක්‍රම්‍ය පාරමිතාවේ ලක්ෂණය කාමයන් කෙරෙන් හා භවය කෙරෙන් නික්මීමය, රසය කාමයන් ගේ හා භවයා ගේ ආදීනවය ප්‍රකට කිරීම ය, ප්‍රත්‍යුපස්ථානය තෘෂ්ණාවෙන් කාම භවයන් දෙස නො බැලීම ය, ආසන්න කාරණය සංවේගය ය.
යථාසභාව පටිවෙධ ලක්ඛණා පඤ්ඤා පාරමී, විසයොභාසන රසා, අසම්මොහ පච්චුපට්ඨානා, සමාධි පදට්ඨානා.
ප්‍රඥා පාරමිතාවේ ලක්ෂණය ඒ ඒ දෙයෙහි සැබෑ සැටිය දැකීම ය. රසය දත යුත්ත ආලෝකවත් කිරීම ය, ප්‍රථ්‍යුපස්ථානය නො මුලා වන බව ය. ආසන්න කාරණය සමාධිය ය.
උස්සහන ලක්ඛණා විරිය පාරමී, උපත්ථම්භන රසා, අසංසීදන පච්චුපට්ඨානා, විරියාරම්භවත්ථු පදට්ඨානා, සංවේග පදට්ඨානා වා.
වීර්‍ය්‍ය පාරමිතාවේ ලක්ෂණය උත්සාහය ය, රසය උපස්ථම්භනය ය, ප්‍රත්‍යුපස්ථානය නො හැකිලෙන නො පසු බස්නා බව ය. ආසන්න කාරණය වීර්‍ය්‍යාරම්භ වස්තු හෝ සංවේගය ය.
බමන ලක්ඛණා ඛන්ති පාරමී, ඉට්ඨානිට්ඨ සහන රසා, අධිවාසන පච්චුපට්ඨානා, අවිරොධ පච්චුපට්ඨානා වා යථාභූතදස්සන පදට්ඨානා.
ක්ෂාන්ති පාරමිතාවේ ලක්ෂණය ඉවසීම ය. රසය ඉෂ්ටානිෂ්ට දෙකින් වෙනස් නොවී සමානව පැවතිය හැකි බවය. ප්‍රත්‍යුපස්ථානය අනුන් කරන අපරාධ ඉවසිය හැකි බව හෝ අනුන්ට විරුද්ධ නො වන බව ය. ආසන්න කාරණය ධර්ම ස්වභාවය ඇති සැටියට දක්නා බව ය.
අවිසංවාදන ලක්ඛණා සච්ච පාරමී, යථාසභාව විභාවන රසා, සාදුතා පච්චුපට්ඨානා, සොරච්ච පදට්ඨානා.
සත්‍ය පාරමිතාවේ ලක්ෂණය කාරණය අනුන්ට නො වැරද වීම ය. රසය ඇති සැටි ප්‍රකට කිරීම ය. ප්‍රත්‍යුපස්ථානය වචනවල යහපත් බව ය. ආසන්න කාරණය වරද නො කරන බව ය.
බොධිසම්භාරෙසු අධිට්ඨාන ලක්ඛණා අධිට්ඨාන පාරමී, තෙසං පටිපක්ඛාභිභවන රසා, තත්ථ අචලතා පච්චුපට්ඨානා, බෝධිසම්භාර පදට්ඨානා.
අධිෂ්ඨාන පාරමිතාවේ ලක්ෂණය බෝධිසම්භාරයන්හි නො සැලී පිහිටී ම ය. රසය බෝධි සම්භාරයන්ට ප්‍රතිපක්ෂ ධර්ම අභීභවනය කිරීම ය. ප්‍රත්‍යුපස්ථානය බෝධි සම්භාරයන්හි නො සැලෙන බව ය. ආසන්න කාරණය බෝධිසම්භාර ධර්මයෝ ය.
හිතාකාරප්පවත්ති ලක්ඛණා මෙත්තා පාරමී, හිතුපසංහාර රසා, ආඝාතවිනයන රසා වා, සොම්මභාව පච්චුපට්ඨානා, සත්තානං මනාපභාවදස්සන පදට්ඨානා.
මෛත්‍රී පාරමිතාවේ ලක්ෂණය සත්ත්වයනට උපකාරී භාවයෙන් පැවැත්මය. රසය අන්‍යයන්ට යහපත එළවීම හෝ වෛරය දුරු කිරීම ය. ප්‍රත්‍යුපස්ථානය සෞම්‍ය භාවය ය. ආසන්න කාරණය සත්ත්වයන් ගේ මනාප භාවය දැකීම ය.
මජ්ඣත්තාකාර පවත්ති ලක්ඛණා උපෙක්ඛා පාරමී, තදාදීනව විභාවන රසා, තතො එව විමුඛ භාව පච්චුපට්ඨානා, සංවෙග පදට්ඨානා.
උපේක්ෂා පාරමිතාවේ ලක්ෂණය මධ්‍යස්ථාකාරයෙන් පැවැත්ම ය. රසය හිතාහිත සත්ත්වයන් හා ඉෂ්ටානිෂ්ට වස්තූන් සම සේ සැලකීම ය. ප්‍රත්‍යුපස්ථානය කෝපය හා ඇලීම සංසිඳීමය, ආසන්න කාරණය කර්මය සත්ත්වයනට අයත් බව මෙනෙහි කිරීම ය.