වැස්සට පින්නට අව්වට සුළඟට අසුවීමෙන් ඇතැම් වස්තූන් දුබල වී දුර්වර්ණ වී ඒවායේ අගය අඩු වී යන්නාක් මෙන්, ඇතැම් කරුණුවලින් පාරමිතා කුශලය ද දුබල වේ. ඒ දුබල වීමට ‘පාරමිතා සංක්ලේශය’ යි කියනු ලැබේ. චාරියාපිටක අටුවාවෙහි දැක්වෙන පරිදි පාරමී සංක්ලේශය මෙසේ දත යුතු.
“අවිසෙසෙන තණ්හාදීහි පරාමට්ඨාභාවො පාරමීනං සංකිලෙසො” සාමාන්‍යයෙන් තෘෂ්ණාදි ක්ලේශයන් විසින් ගන්නා ලද බව සකල පාරමිතා කුශලයන්ගේ ම සංක්ලේශය ය. පින් කිරීමට පෙරාතුව හෝ කරන අවස්ථාවෙහි හෝ කළ පසු හෝ මේ පින්වලින් මම භවභෝග සම්පත් ලබමි ය, ප්‍රශංසා ලබමිය, කීර්තිමත් වෙමි ය, ගරු බුහුමන් ලබමි ය, අන්‍යයන් යටත් කරමි ය යනාදි අදහස් පින සම්බන්ධයෙන් ඇතිවීම පින තෘෂ්ණාදීන් විසින් ගැනීම ය. එයින් පින දුබල වේ. තෘෂ්ණාදීන් විසින් ගන්නා ලද පින ඒ සංක්ලේශය නිසා සර්වාකාරයෙන් නිෂ්ඵල වෙතැයි නො ගත යුතු ය. ඒ පින්වලින් ද ඵල ලැබෙන්නේය. වෙනස දීප්තිමත් ඵල නො ලැබී යාම ය.
“දෙය්‍යධම්ම පටිග්ගාහක විකප්පා දානපාරමියා සංකිලෙසො” “මේ මේ දෙය දෙමි ය, මේ මේ දෙය නො දෙමිය” යි දිය යුතු වස්තු පිළිබඳව ද, මේ මේ අයට දෙමිය, මේ මේ අයට නො දෙමිය යි පුද්ගලයන් ගැන ද, විශේෂ කල්පනා කිරීම දානපාරමිතාවේ සංක්ලේශය ය.
“සත්තකාලවිකප්පා සීල පාරමියා (සංකිලෙසො)” අසවල් අසවල් සත්ත්වයන් මරවමිය, අසවල් අසවල් සත්ත්වයන් නො මරවමි ය, අසවල් කාලයේ මරමි ය, අසවල් කාලයේ මැරීමෙන් වැළකෙමි ය යනාදීන් සත්ත්වයන් පිළිබඳ වූ ද, කාලයන් පිළිබඳ වූ ද, වස්තූන් පිළිබඳ වූ ද විශේෂ කල්පනාව ශීල පාරමිතාවේ සංක්ලේශ ය.
“කාමභව තදුපසමෙසු අභිරති අනභිරති විකප්පා නෙක්ඛම්ම පාරමියා සංකිලෙසො” අසවල් අසවල් කාම වස්තු පරිභෝග කළ යුතු ය. සොයා ගත යුතු ය. තබා ගත යුතු ය, අසවල් අසවල් කාම වස්තු පරිභෝග නො කළ යුතු ය., හළ යුතු ය: අසවල් අසවල් භවයන්ට පැමිණිය යුතුය, අසවල් අසවල් භව හළ යුතු යයි කාම වස්තූන් හා භවයන් ගැනීම හා බැහැර කිරීම පිළිබඳ විශේෂ කල්පනාව නෛෂ්ක්‍රම්‍ය පාරමිතාවේ සංක්ලේශය ය.
“අහං මමාති විකප්පා පඤ්ඤා පාරමියා සංකිලෙසෝ” මමය, අනෙකාය, මාගේය, අනෙකාගේය යනාදීන් විශේෂ කල්පනා කිරීම ප්‍රඥා පාරමිතාවේ සංක්ලේශය ය.
“ලීනුද්ධච්ච විකප්පා වීරිය පාරමියා (සංකිලෙසො)” මෙය තේරුම් ගැනීමට දුෂ්කර පාඨයෙකි. සංක්ලේශය පිළිබඳව පළමු පාරමිතා ගැන කී කරුණු අනුව සලකත හොත් මෙයට වීර්‍ය්‍ය කළ යුතු ය, මෙයට වීර්‍ය්‍ය නො කළ යුතු ය, මෙය ඉක්මනින් කළ යුතු ය. මෙය සෙමින් කළ යුතු ය, මේ අවස්ථාවේ දී වීර්‍ය්‍ය කළ යුතු ය, මේ අවස්ථාවේ දී වීර්‍ය්‍ය නො කළ යුතු ය යනාදීන් වීර්‍ය්‍යය හා පසුබැසීම පිළිබඳව විශේෂ කල්පනාව වීර්‍ය්‍ය පාරමිතාවේ සංක්ලේශය ය.
“අත්තපර විකප්පා ඛන්ති පාරමියා (සංකිලෙසො)” මොහු අපේ පවුලේ කෙනෙක, නෑ කෙනෙක, ගමේ කෙනෙක, ජාතියේ කෙනෙක, ඒ නිසා මොහු ගේ වරද ඉවසිය යුතු ය, තම තමන් ගේ අය ගැන ඉවසුවත් සැම දෙනා ම කරන අපරාධ ඉවසිය හැකි ද යනාදීන් තමාගේ ය - අනුන්ගේ ය යන විශේෂ කල්පනාව ක්ෂාන්ති පාරමිතා සංක්ලේශය ය.
“අදිට්ඨාදීසු දිට්ඨාදි විකප්පා සච්චපාරමියා (සංකිලෙසො)” නො දක්නා ලද්ද දක්නා ලද්දේ ය., නො අසන ලද්ද අසන ලද්දේ ය, නො කියන ලද්ද කියන ලද්දේ ය, යනාදීන් කල්පනා කිරීම සත්‍ය පාරමිතාවේ සංක්ලේශය ය. සත්‍ය කීමෙන් සත්‍යයෙහි පිහිටීමෙන් තමාට හෝ අන්‍යයන්ට හෝ හානියක් වන තන්හි අසත්‍යය වුව ද කිය යුතු ය; පොරොන්දු කඩ කළ යුතුය; අසත්‍යය වුවද එයින් වැඩක් සිදු වතොත් කීම නිවරදය යනාදි විශේෂ කල්පනාව සත්‍ය පාරමිතාවේ සංක්ලේශය සැටියට ගැනීම ද වරද නැතැයි සිතමු.
“බොධිසම්භාර තබ්බිපක්ඛෙසු දොස ගුණ විකප්පා අධිට්ඨනපාරමියා (සංකිලෙසො)” බෝධි සම්භාරයන් ගේ නුගුණ හා බෝධි සම්භාරයන්ට විපක්ෂ ධර්මයන් ගේ ගුණ ද කල්පනා කිරීම අධිෂ්ඨාන පාරමිතාවේ සංක්ලේශය ය.
“හිතාහිත විකප්පා මෙත්තා පාරමියා (සංකිලෙසො)” මොවුහු තමාට හිත සත්ත්වයෝ ය. මොවුහු අහිත සත්ත්වයෝ යයි මෙත් සිත පැවැත්වීම පිළිබඳව සත්ත්වයන් වෙන් කොට සැලකීම මෛත්‍රී පාරමිතාවේ සංක්ලේශය ය.
“ඉට්ඨානිට්ඨ විකප්පා උපෙක්ඛාපාරමියා (සංකිලෙසො)” ඉෂ්ටානිෂ්ටයන් ගැන විශේෂ කල්පනාව උපේක්ෂා පාරමිතාවේ සංක්ලේශය ය.