අධිමුත්ත සාමණේරයෝ සංකිච්ච තෙරුන් වහන්සේගේ ගෝල නමකි. දිනක් සංකිච්ච තෙරුන් වහන්සේ සාමණේරයන් අමතා “සාමණේරය, දැන් තෙපි වැඩිවිය පැමිණ සිටින්නාහු ය. උපසම්පදා කරවීමට මාපියන් වෙත ගොස් වයස විචාරා එව’යි කීහ. සාමණේරයෝ පා සිවුරු ගෙන මාපියන්ගේ ගමට යන්නාහු අතර මඟ පිහිටි සොරුන් වෙසෙන මහ වනයෙන් මොබ නැඟණියන් ගේ ගෙයි දන් වළඳා තමන් වහන්සේගේ වයස විචාළහ. නැඟණියෝ, එය තමන් නො දන්නා බවත්, “මෑණියන් දන්නා බවත් කියා “මෑණියන් වෙත ගොස් අසනු මැනව”යි කීහ.
සාමණේරයෝ මෑණියන් වෙත යන්නාහු සොරුන් වෙසෙන වනයට ඇතුළු වූහ. සොරුන් ගේ දූතයෙක් උන්වහන්සේ දැක පැවිද්දකු වනයෙහි එන බව සොරුන්ට දැන්වීය. සොරු මඟ රැක සිට සාමණේරයන් අල්ලා ගත්හ. ඒ සොරුන්ගෙන් ඇතැමෙක් සාමණේරයන් මරා දමන්නටත්, ඇතැමෙක් මුදා හරින්නටත් කථා කළහ. ඔවුන් ගේ කථා ඇසු සාමණේරයෝ මම තවම මහන දම් පුරා අවසන් නොකළෙමි. මොවුන් විසින් මා මරා දැමුව හොත් මේ අත්බැව්හි මට රහත්වන්නට නො ලැබෙන්නේ ය. මොවුන් හා කථා කොට මාගේ ජීවිතය රැක ගත යුතු යි සිතා සොර දෙටුවා අමතා ඇවැත්නි, මම ඔබට උපමාවක් කියන්නෙමි.
“පෙර මහ වනයක මිනිසෙක් උගුලක් අටවා සාවකු මැරීය. සාවා මැරි සිටිනු දුටු මෘග පක්ෂීහු සැම දෙන ම මෙහි නපුරක් ඇත්තේ යයි එක් රැයකදි ම එම වනය හැර ගියෝය. එසේ ම කිසි ධනයක් නැති ශ්‍රමණයකු මෙම වනයෙහි දී මැරුවහොත් පැවිද්දකුටවත් බේරී යන්නට නොලැබෙන මෙම වනයට මින් පසු කිසිවෙක් නො එන්නාහ. ඉන්පසු ඔබට මගීන්ගෙන් ධනය පැහැර ගන්නට නො ලැබෙන්නේ ය යි” කීහ. එකල්හි සොර දෙටුවා මේ සාමණේරයන් කියන දෙය සැබෑ ය. මුන් වහන්සේ මැරුවහොත් මින් පසු මෙ මග මිනිස්සු නො එන්නාහ. අපට මින්පසු ධනය නො ලැබී යන්නේය යි වනයෙහි සොරු ඇති බව මඟ යන එන කිසිවකුට නොකියන ලෙස පොරොන්දු කරවා ගෙන සාමණේරයන් මුදා හැරියේ ය.
ඉදිරියට යන්නා වූ සාමණේරයන්ට තමන් ගේ මා පිය දෙදෙනා හා සහෝදරයා ද, සහෝදරී ද ඒ මඟ එනු හමු වූහ. සත්‍යයෙහි පිහිටි සාමණේරයෝ වනයෙහි සොරු ඇති බව ඔවුනට ද නො කීහ. තමන් ගේ මා පියන් රැක ගැනීමට ද පොරොන්දු කඩ නො කළහ. සාමණේරයන්ගේ නෑ පිරිස සොරුන් විසින් අල්ලා ගන්නා ලදහ. සොරුන් ඔවුනට පීඩා කරන කල්හි සාමණේරයන් ගේ මෑණියෝ “මේ අන්තරාය දැන දැන ද අධිමුත්තයෝ අපට නො කීහ යි කියමින් ළයෙහි අත් ගසමින් හඬන්නට පටන් ගත්හ. අධිමුත්තයන් ගැන කියමින් හඬනු අසා සොර දෙටුවා ඇගෙන් තොරතුරු විමසු කල්හි “මම අධිමුත්ත සාමණේරයන් ගේ මවය. මේ පියාය. මේ සහෝදරිය හා සහෝදරයා ය. අධිමුත්ත කළේ මහ අපරාධයෙක. මේ මේ අන්තරාය දැන දැන ම අධිමුත්තයෝ අපට නො කීහ” යි කීහ.
එකල්හි සොර දෙටුවා “මෙය ධර්මයෙන් ජීවත් වන ආර්‍ය්‍යයන් ගේ සැටිය. අධිමුත්ත සත්‍ය වාදියෙක, සත්‍යයෙහි පිහිටියෙක, පොරොන්දු කඩ නො කරන්නෙක, ඒ නිසා නුඹලා ගේ ඒම උන්වහන්සේ විසින් වළක්වා නැත. අධිමුත්තයන් වහන්සේ ගේ සත්‍ය වාදීත්වය නිසා නුඹලා ද මුදාහරින්නෙමි” යි ඔවුන් හැම දෙන ම මුදාහැර, ඒ කාරණයෙන් පැහැදුණා වූ සොරු සියලු දෙනා ම සාමණේරයන් වහන්සේ යටතේ පැවිදි වූහ. සාමණේරයෝ සොරුන් පන්සියය ද ගෙන තමන් ගේ ආචාර්‍ය්‍යවරයන් වහන්සේ වෙත ගොස්, තමන් පළමුවෙන් උපසම්පදාව ලබා සොරු පන්සිය ය තමන් වහන්සේ ගේ අතවැසියන් ලෙස පසුව උපසම්පදා කරවූහ. ඒ හැම දෙනා ම අධිමුත්තයන් වහන්සේ ගේ අවවාදයෙහි පිහිටා මහණ දම් පුරා රහත්ව නිවන් දුටහ.