බොරු කීම පැවිද්දන්ට ඉතා අයෝග්‍ය පාපයෙකි. පැවිද්දන් විශේෂයෙන් ම සත්‍යවාදී විය යුතුය. බොරුකීමට ලජ්ජා නො වන පැවිද්දාගේ මහණකම ගැන අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍රයෙහි දැක්වෙන සැටි මෙසේය:
“අථ ඛො භගවා පරිත්තං උදකාවසෙසං උදකාධානෙ ඨපෙත්වා ආයස්මන්තං රාහුලං ආමන්තෙසි; පස්සසි නො ත්වං රාහුල, ඉමං පරිත්තං උදකාවසේසං උදකාධානෙ ඨපිතන්ති? එවං භන්තෙ, එවං පරිත්තං ඛො රාහුල, කෙසං සාමඤ්ඤං යෙසං නත්ථි සම්පජාන මුසාවාදෙ ලජ්ජාති.”
“අථ ඛො භගවා තං පරිත්තං උදකාවසේසං ඡඩ්ඩෙත්වා ආයස්මත්තං රාහුලං ආමන්තෙසි; පස්සසි නො ත්වං ඡඩ්ඩිතං කො රාහුල තෙසං, සාමඤ්ඤං යෙසං නත්ථි සම්පජාන මුසාවාදෙ ලජ්ජාති.”
“අථ ඛො භගවා තං උදකාධානං නික්කුජ්ජිත්වා, ආයස්මන්තං රාහුලං ආමන්තෙසි; පස්සසි නො ත්වං රාහුල, ඉමං උදකාධානං නික්කුජ්ජිතන්ති? එවංභන්තෙ. එවං නික්කුජ්ජිතං ඛො රාහුල, තෙසං සාමඤ්ඤං යෙසං නත්ථි සම්පජාන මුසාවාදෙ ලජ්ජාති.”
“අථ ඛො භගවා තං උදකාධානං උක්කුජ්ජිත්වා, ආයස්මන්තං රාහුලං ආමන්තෙසි; පස්සසි නො ත්වං රාහුල, ඉමං උදකාධානං රිත්තං තුච්ඡන්ති? එවං භන්තෙ. එවං රිත්තං තුච්ඡං ඛො රාහුල, තෙසං සාමඤ්ඤං යෙසං නත්ථි සම්පජාන මුසාවාදෙ ලජ්ජාති.”
දිනක් බුදූරජාණන් වහන්සේ පා සෝදා දිය බඳුනෙහි වතුර ඇබිත්තක් ඉතිරි කොට රාහුල සාමණේරයන් අමතා “රාහුලය, මේ දිය බඳුනෙහි ඉතිරි වී ඇති වතුර ඇබිත්ත දක්නෙහි දැ’යි වදාරා, “එසේ ය” යි සැල කළ කල්හි “රාහුලය, බොරු කීමට ලැජ්ජා නැති තැනැත්තාට ඇති මහණකම මෙසේ ම ඇබිත්තකැ’යි වදාළ සේක.
ඉක්බිති තථාගතයන් වහන්සේ ඒ වතුර ඇබිත්ත ද විසි කොට රාහුල සාමණේරයන්ට දක්වා “රාහුලය බොරු කීමට ලැජ්ජා නැති තැනැත්තා ගේ මහණකම මෙසේ විසි කරන ලද්දකැ’ යි වදාළ සේක.
ඉක්බිති තථාගතයන් වහන්සේ දිය බදූන මුනින් නවා දක්වා “රාහුලය බොරු කීමට ලැජ්ජා නො වන්නාහු ගේ මහණකම මෙසේම මුනින් නැමුණේය” යි වදාළ සේක.
ඉක්බිති ඒ බඳුන මුව උඩට සිටින සේ තබා රාහුල සාමණේරයන්ට දක්වා “රාහුලය, බොරු කීමට ලැජ්ජා නැති තැනැත්තා ගේ මහණකම මේ බඳුන සේ ම සිස්ය”යි වදාළ සේක. මේ ඉහත දැක්වූ සූත්‍ර පාඨයේ අදහස ය.