5. අන්ත ජාතකය (295)

star_outline

“උසභස්සෙව තෙ ඛන්ධො” යන මේ දේශනාව ශාස්තෘන් වහන්සේ ජේතවනාරාමයේ වැඩවාසය කරන සමයේ, ඒ දෙනම (කෝකාලික හා දේවදත්ත) අරභයා වදාළ සේක. වර්තමාන කථාව පෙර පරිදිමය.

අතීතයේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍ය කරන සමයේ, බෝසතාණන් වහන්සේ එක් ගම් සීමාවක එරඬු ගසක වෘක්ෂ දේවතාවෙක් වී උපන්හ. එකල මිනිස්සු එක් ගමක මළා වූ මහලු ගවයෙකු ඇදගෙන ගොස් ගම් දොරකඩ එරඬු වනයෙහි දැමූහ. එක් හිවලෙක් පැමිණ ඌගේ මස් කෑවේය. එක් කපුටෙක් ද එහි අවුත් එරඬු ගසෙහි සැඟවී හිවලා දැක, “මම මොහුගේ නැති ගුණ වර්ණනා කොට මස් කන්නෙම් නම් යෙහෙකැ”යි සිතා පළමු ගාථාව කීවේය.

“නුඹේ කඳ වෘෂභ රාජයෙකුගේ වැනිය. විජෘම්භණය (ඇඟ කිළිපොලා ගැසීම) සිංහයෙකුගේ වැනිය. මෘගරාජය, ඔබට නමස්කාර වේවා! අපටත් යමක් ලැබෙනවා නම් මැනවි.”

එහි නමො ත්‍යත්‍ථු යනු ‘නමො තෙ අත්‍ථු’ (ඔබට නමස්කාර වේවා) යන්නයි.

එය අසා හිවලා දෙවන ගාථාව කීවේය.

“කුල පුත්‍රයන් පසසන්නට දන්නේ කුල පුත්‍රයෙක්ම පමණි. මොණරකුගේ වැනි බෙල්ලක් ඇති කවුඩාණෙනි, මෙහි එන්න (මස් කන්න).”

එහි ඉතො පරියාහි යනු එරඬු ගසෙන් බැස මා සිටින මෙම ස්ථානයට පැමිණ මස් කව, යයි කීමකි.

ඔවුන්ගේ ඒ ක්‍රියාව දැක රුක් දේවතාවා තුන්වන ගාථාව කීවේය.

“මෘගයන් අතරින් හිවලා අධමයෙකි. පක්‍ෂීන් අතරින් කවුඩා අධමයෙකි. වෘක්‍ෂයන් අතරින් එරඬු ගස ද අධමය. මේ අධමයෝ තිදෙනා මෙතැන එකට හමු වූහ.”

එහි අන්තො යනු හීන වූ හෙවත් පහත් (ලාමක) වූ යන්නයි.

ශාස්තෘන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. “එකල හිවලා නම් දේවදත්තය. කපුටා නම් කෝකාලිකය. රුක් දෙවියා නම් මම ම වෙමි”යි වදාළ සේක.

පස්වන වූ අන්ත ජාතක වර්ණනාවයි.