7. ලාභගරහ ජාතක කතාව (287)

star_outline

“නානුම්මත්තො” යනාදී මෙම දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සමයෙහි සැරියුත් මහරහතන් වහන්සේගේ සද්ධිවිහාරික භික්ෂුවක් අරබයා වදාළ සේක. සැරියුත් තෙරුන් වහන්සේගේ එම ශිෂ්‍ය භික්ෂුව තෙරුන් වෙත එළඹ, වැඳ, එකත්පසෙක හිඳ, “ස්වාමීනි, මට ලාභ උපදවන ප්‍රතිපදාව කියා දෙනු මැනවි. කුමක් කරමින් සිවුරු ආදිය ලබන්නෙක් වේදැ”යි විමසා සිටියේය. ඉක්බිති තෙරුන් වහන්සේ ඔහුට මෙසේ වදාළ සේක: “ඇවැත්නි, අංග හතරකින් යුක්ත වූවෙකුට ලාභ සත්කාර උපදියි:

  1. තමන් තුළ ඇති ලජ්ජාව බිඳ දමා, ශ්‍රමණභාවය නොසලකා හැර, උමතු නොවී එහෙත් උමතු වූවෙකු මෙන් විය යුතුයි.
  2. කේලාම් කියන්නෙකු විය යුතුයි.
  3. නළුවෙකු හා සමාන විය යුතුයි.
  4. විසුරුණු වචන ඇති, කටට ආ දෙයක් කියන කුතුහලය දනවන තැනැත්තෙකු විය යුතුය.”

යනුවෙන් මේ ලාභ උපදවන ප්‍රතිපදාව වදාළ සේක. ඒ භික්ෂුව එම ප්‍රතිපදාවට ගරහා, අසුනෙන් නැගිට ගියේය. තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වෙත එළඹ, වැඳ, ඒ පුවත සැල කළහ. බුදුරජාණන් වහන්සේ, “සාරිපුත්ත, ඒ භික්ෂුව ලාභයට ගැරහුවේ දැන් පමණක් නොවේ; පෙරත් ගැරහුවේම යැ”යි වදාරා, තෙරුන් වහන්සේගේ ඇරයුම පරිදි අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍ය කරන සමයෙහි බෝසතාණන් වහන්සේ බමුණු කුලයෙහි ඉපදී, වැඩිවියට පත්ව සොළොස් හැවිරිදි වියේදීම ත්‍රිවේදය හා අටළොස් ශිල්පයන්ගේ කෙළවරට පැමිණ, දිසාපාමොක් ආචාර්යවරයා වී පන්සියයක් තරුණයින්ට ශිල්ප ඉගැන්වූහ. එහි සිටි සීලාචාර සම්පන්න එක් තරුණයෙක් දිනක් ආචාර්යවරයා වෙත ගොස්, “ගුරුතුමනි, මේ සත්ත්වයන්ට කෙසේ නම් ලාභ උපදීදැ”යි ලාභ ප්‍රතිපදාව විචාළේය. ආචාර්යවරයා, “දරුව! මේ සත්ත්වයන්ට කරුණු සතරකින් ලාභ උපදියි” යැයි පවසා මේ පළමු ගාථාව වදාළේය.

“උමතු නොවූවෙක් නොවන (එනම් උමතුවෙකු වැනි), කේලාම් නොකියන්නෙක් නොවන (කේලාම් කියන), නළුවෙක් නොවන (නළුවෙකු වැනි), විසුරුණු වචන ඇත්තෙක් නොවන (කුතුහලය දනවන) තැනැත්තා ම මෝඩයන් අතර ලාභ ලබයි. මෙය නුඹට මා දෙන අනුශාසනාවයි.”

එහි “නානුම්මත්තො” (උමතු නොවූවෙක් නොවන) යනු මෙය කියන ලද්දේ වෙයි: යම්සේ උම්මත්තකයෙකු ස්ත්‍රී පුරුෂයන් හා දරුවන් දැක ඔවුන්ගේ වස්ත්‍ර ආභරණ ආදිය පැහැර ගනියි ද, ඒ ඒ තැනින් මස්, මාළු, කැවුම් ආදිය බලෙන් රැගෙන කයි ද; එසේම යම් ගිහියෙක් අභ්‍යන්තර හා බාහිර ලජ්ජා භය හැර දමා, කුසල් අකුසල් නොසලකා, අපා බියට බිය නොවී, ලෝභයෙන් යටපත් වූ සිතින් කාමයන්හි පමා වී ගෙවල් බිදීම් ආදී සැහැසි ක්‍රියා කරයි ද; එසේම පැවිද්දා ද ලැජ්ජා භය හැර කුසල් අකුසල් නොසලකා, අපා බියට බිය නොවී, බුදුරජාණන් වහන්සේ පැනවූ ශික්‍ෂාපද කඩමින් ලෝභයෙන් යටපත් වූ සිතින් සිවුරු ආදී ලාභයක් තකා තම ශ්‍රමණභාවය අතහැර පමාවූයේ වෙදකම් කිරීම්, පණිවිඩ ගෙනයාම් ආදිය කරයි ද, උණ බම්බු ආදිය දීමෙන් දිවි ගෙවයි ද; මොහු ස්වභාවයෙන් උමතු නොවී ද උමතුවකු හා සමාන බැවින් ‘උමත්තක’ නම් වේ. මෙබඳු තැනැත්තාට වහා ලාභ උපදියි. යමෙක් වනාහි මෙසේ උමතු නොවී පවට ලැජ්ජා ඇත්තෙක් වේ නම්, හෙතෙම මෝඩයන් අතර ලාභ නොලබයි. ඒ නිසා ලාභ බලාපොරොත්තු වන්නා විසින් පිස්සෙකු මෙන් විය යුතුය.

“නාපිසුණො” (කේලාම් නොකියන්නෙක් නොවන) යනු මෙහි ද යමෙක් කේලාම් කියයි ද, “අසවලා විසින් මේ දේ කරන ලදී” යැයි රජකුලයට කේලාම් ගෙන යයි ද, ඔහු අනුන්ගේ කීර්තිය සිඳ දමා එය තමන්ට පවරා ගනී. රජවරු ද “මේ තෙමේ අප කෙරෙහි ස්නේහ ඇත්තෙකැ”යි සිතා ඔහු උසස් තනතුරක තබති. ඇමතිකම් ආදිය දරන අය ද “මේ තෙමේ රජගෙදර අය අප හා භේද කරන්නේ යැ”යි බියෙන් ඔහුට යමක් දිය යුතුයැයි සිතති. මෙසේ දැන් කාලයේ කේලාම් කියන්නාට ලාභ උපදියි. යමෙක් වනාහි කේලාම් නොකියන්නේ නම් ඔහු මෝඩයන් අතර ලාභ නොලබයි. මෙසේ මෙහි අර්ථය දත යුතුය.

“නානටො” (නළුවෙක් නොවන) යනු ලාභ උපදවන්නා විසින් නළුවෙකු මෙන් විය යුතු බවයි. යම්සේ නළුවා ලැජ්ජා බය හැර දමා නැටුම්, ගී කීම්, වාදනය කිරීම්වලින් ක්‍රීඩා කොට ධනය රැස් කරයි ද, මෙසේම ලාභ කැමැත්තා විසින් ලැජ්ජා භය බිඳ දමා ස්ත්‍රී, පුරුෂ, දරුවන් සමඟ ලොල් ස්වභාවයෙන් යුතු වී නොයෙක් ආකාර සෙල්ලම් කරන්නෙකු වී හැසිරිය යුතුයි. යමෙක් එසේ නළුවෙක් නොවී නම් හෙතෙම මෝඩයන් අතර ලාභ නොලබයි.

“නාකුතූහලො” (කුතුහලය දනවන වචන නැත්තෙක් නොවන) යනු කුතුහල පුද්ගලයා හෙවත් විසුරුණු වචන ඇති තැනැත්තාය. රජවරු ඇමතිවරුන්ගෙන් “අසවල් තැන මනුෂ්‍යයෙකු මරා දමා ඇතැයි ද, ගෙයක් කොල්ලකා ඇතැයි ද, අන්‍යයන්ගේ බිරියන් දූෂණය කර ඇතැයි ද අසන්නට ලැබේ. මේ කවුරුන්ගේ ක්‍රියාවක් දැ”යි විමසති. එහිදී අන් අය කතා කිරීමට කලින් නැගිට “අසවලා සහ අසවලා මෙය කළේ යැ”යි කියන තැනැත්තා ‘කුතුහල පුද්ගලයා’ නම් වෙයි. රජවරු ඔහුගේ වචනයෙන් ඒ පුරුෂයන් සොයා දඬුවම් කොට “මොහු නිසා අපගේ නගරය සොරුන්ගෙන් තොර විය” යැයි ඔහුට මහත් යසසක් දෙති. සෙසු ජනයා ද “මොහු රාජ පුරුෂයන් විසින් විමසූ විට අප ගැන යුක්තිය හෝ අයුක්තිය කියන්නේ යැ”යි බියෙන් ඔහුටම ධනය දෙති. මෙසේ කුතුහල පුද්ගලයාට ලාභ උපදී. යමෙක් වනාහි කුතුහල පුද්ගලයෙකු නොවේ ද හෙතෙම මෝඩයන් අතර ලාභ නොලබයි. “එසා තෙ අනුසාසනී” යනු මෙය අප වෙතින් තොපට ලැබෙන ලාභය පිළිබඳ අනුශාසනයයි.

අතවැසියා ගුරුවරයාගේ කථාව අසා ලාභයට ගරහමින් මෙසේ කීය:

“බමුණ! යම් ජීවන පැවැත්මක් තමා විනාශ කර ගැනීමෙන් හෝ අධාර්මික හැසිරීමෙන් සිදුවේ නම්, ඒ තුළින් ලබන යසස් (කීර්ති) ලාභයට ද ධන ලාභයට ද නින්දා වේවා!”

“අධාර්මික ලෙස ධනය සොයමින් ජීවත් වීමට වඩා, ගිහිගෙයින් නික්ම අනගාරිකව (පැවිදිව) පාත්‍රයක් අතින් ගෙන හැසිරෙන (පිඬු සිඟා යන) යම් ජීවන වෘත්තියක් වේ ද, එම ජීවන පැවැත්ම ම ඉතා ශ්‍රේෂ්ඨ ය.”

එහි “යා වුත්ති” යනු යම් දිවි පැවැත්මක් ඇද්ද යන්නයි. “විනිපාතෙන” යනු තමාගේ ජීවිතය විනාශයට පත්කර ගැනීමෙනි. “අධම්මචරණෙන වා” යනු අදැහැමි ක්‍රියාවෙන් හෙවත් නරක ක්‍රියාවෙන් මරණය, සිරගතවීම, ගැරහීම ආදියට පත්ව තමා විනාශ කරගෙන අධර්මයෙහි හැසිර යම් දිවි පැවැත්මක් වී ද, ඒ සියල්ලත්, එම යසස හා ධන ලාභයත් යන සියල්ලට “ධිරත්ථු” හෙවත් නින්දා කරමි, ගරහමි, මට එයින් ඵලක් නැතැයි යන අදහසයි. “පත්තමාදාය” යනු භික්‍ෂා භාජනය හෙවත් පාත්‍රය ගෙන යන්නයි. “අනගාරො පරිබ්බජෙ” යනු ගෙයක් නැති පැවිද්දෙක් වී හැසිරෙන්නේය; සත්පුරුෂයා කයින් කෙරෙන දුසිරිත් ආදිය වන අදැහැමි හැසිරීමක නොහැසිරෙන්නේය. කුමක් නිසාද? “එසාව ජීවිකා සෙය්‍යො, යා චාධම්මෙන එසනා” යනු, යම් මේ අධාර්මික ලෙස ජීවත්වීමට අදාළ දේ සෙවීමක් වේ ද, ඊට වඩා පාත්‍රය අතැතිව අනුන්ගේ ගෙවල පිඬු සිඟා ජීවත්වීම සියදහස් ගුණයකින් ශ්‍රේෂ්ඨ බවත් වඩා සුන්දර බවත් දක්වයි.

මෙසේ ඒ තරුණයා පැවිද්දෙහි ගුණ වර්ණනා කොට, ගිහිගෙයින් නික්ම ඍෂි පැවිද්දෙන් පැවිදිව, දැහැමින් ආහාර සොයමින්, අභිඥා හා සමාපත්ති උපදවා බ්‍රහ්මලෝකයෙහි උපන්නේය.

බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක: “එකල ලාභයට ගැරහූ මානවකයා නම් මේ භික්‍ෂුව විය. එකල ආචාර්යවරයා වනාහි මම ම වූයෙමි.”

ලාභගරහ ජාතක වර්ණනාව සත්වැන්නයි.