“කිමත්ථ මහිසන්ධාය” (කුමන අර්ථයක් සලකාගෙනද) යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සමයෙහි එක් චපල වඳුරෙකු අරබයා වදාළ සේක. සැවැත් නුවර එක් කුල ගෙදරක හදාවඩා ගන්නා එක් කෙලිලොල් වඳුරෙක් ඇත්හළට ගොස් සිල්වත් ඇතෙකුගේ පිටට නැග හිඳගෙන මලමුත්‍රා පහකරයි; පිටෙහි සක්මන් කරයි. ඇතා තමන්ගේ සිල්වත් බැවින්ද ඉවසිලිවන්ත බැවින් කිසිවක් නොකරයි. ඉක්බිති එක්දිනක් ඒ ඇතා සිටි තැන වෙනත් නපුරු ඇත් පැටවෙක් සිටියේය. වඳුරා “මේ ඒ (පළමු) ඇතාමය” යන හැඟීමෙන් නපුරු ඇතාගේ පිටට නැග්ගේය. එවිට ඒ ඇතා වඳුරා සොඬවැලෙන් ගෙන බිම ගසා පයින් පාගා පොඩි කළේය. ඒ පුවත භික්ෂු සංඝයා අතර ප්‍රකට විය. පසුව එක්දිනක භික්ෂූහු ධර්ම සභාවෙහිදී “ඇවැත්නි! කෙලිලොල් වඳුරා වනාහි සිල්වත් ඇතාය යන හැඟීමෙන් දුෂ්ට ඇතු පිටට නැග්ගේය. ඉක්බිති ඇතා වඳුරා මරණයට පත් කළේය” යනුවෙන් කථාව මතුකළහ. බුදුරජාණන් වහන්සේ එහි වැඩමවා, “මහණෙනි! මෙහි දැන් කවර කථාවකින් යුතුව සිටියාහුදැ”යි විචාරා, “මෙනම් කථාවෙන් යැ”යි කී කල්හි, “මහණෙනි! මේ ලොල වඳුරා මෙබඳු ස්වභාව ඇත්තේ දැන් පමණක් නොව පෙර පටන්ම මෙබඳු ස්වභාව ඇත්තේ ය”යි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූහ.
අතීතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ හිමාලය වන පෙදෙසෙහි මී ගව යෝනියෙහි උපත ලබා, වැඩිවියට පත්ව, කාය ශක්තියෙන් හා මහත් ශරීරයකින් යුක්තව පර්වත පාමුල, පර්වත ගුහා, ගිරි දුර්ග හා වන ලැහැබ්වල හැසිරෙමින් එක් සුවපහසු ගසක් දැක ගොදුරු කා දවල් කාලයේ ඒ ගස මුල සිටියහ. ඉක්බිති එක් චපල වඳුරෙක් ගසෙන් බැස ඌගේ පිටට නැගී මල මුත්‍රා කොට, අඟින් අල්ලාගෙන එල්ලෙමින්, වලිගය ගෙන පැද්දෙමින් ක්‍රීඩා කළේය. බෝසතාණන් වහන්සේ ඉවසීමෙන්, මෛත්‍රියෙන් හා දයාවෙන් යුක්තව වඳුරාගේ ඒ නරක හැසිරීම් මෙනෙහි නොකළහ. වඳුරා නැවත නැවතත් එසේම කරයි. ඉක්බිති එක්දිනක් ඒ ගසෙහි අධිගෘහිත දේවතාවා රුක් කඳෙහි සිට මීගවයාට “මීගව රජුනි, කුමක් නිසා මේ දුෂ්ට වඳුරාගේ අවමන් ඉවසන්නෙහිද? ඌ වළක්වන්නැ”යි කියා මේ අදහස ප්‍රකාශ කරමින් පළමු ගාථා දෙක වදාළේය.
“සැහැල්ලු සිතැති, මිත්‍රද්‍රෝහී වූ මොහුගේ මේ දුක් දීම, සියලු කැමැත්ත ලබාදෙන ස්වාමියෙකුගෙන් ලැබෙන දෙයක් මෙන් සලකා, කවර අර්ථයක් බලාපොරොත්තුවෙන් ඉවසා සිටින්නෙහිද?”
“මොහු අඟින් ඇන නසන්න; පාදයෙන් පාගා දමන්න. ඉදින් වළක්වන්නෙක් නොවන්නේ නම්, මෝඩයෝ බොහෝ සෙයින් කිපෙන්නාහ (කරදර කරන්නාහ).”
යනුවෙන් පළමු ගාථා දෙක කීවේය.
එහි අර්ථය මෙසේය: කිමත්ථමභිසන්ධාය යනු කුමන කාරණාවක් හේතුකොටගෙන, කුමක් දකිමින්ද යන්නයි. දුබ්භිනො යනු මිත්‍රද්‍රෝහියාටයි. සබ්බකාමදදස්සෙව යනු සියලු කාම සම්පත් ලබා දෙන්නා වූ ස්වාමියෙකුගේ හිරිහැර කිරීමක් මෙනි. තිතික්ඛසි යනු ඉවසා සිටින්නෙහිය. පදසා ච අධිට්ඨහ යනු ඌට තියුණු කුර අගින් ඇන මෙතැනම මැරෙන ලෙස ඌ පාගා දමන්න. භිය්‍යො බාලා යනු ඉදින් වළක්වන්නෙක් නොවන්නේ නම්, මෝඩ වූ අඥාන සත්ත්වයෝ නැවත නැවතත් කිපෙන්නාහුය; ගැටෙන්නාහුය; වෙහෙසට පමුණුවන්නාහුම යයි දක්වයි.
ඒ අසා බෝසතාණන් වහන්සේ, “රුක් දෙවිය! ඉදින් මම ජාති, ගෝත්‍ර, කාය බල ආදියෙන් මොහුට වඩා උසස් වූ කෙනෙක් වී මොහුගේ දොස් නොඉවසන්නෙම් නම්, කෙසේ මගේ මනදොළ (සීල පාරමිතාව) නිමාවට පත්වන්නේද? මේ වඳුරා වනාහි මා මෙන් අනිත් අය ගැනත් සිතමින් මෙසේ නරක හැසිරීම් කරන්නේය; නපුරු මීගවයන්ට මොහු මෙසේ කළ විට, ඒ මීගවයෝම මොහු මරා දමති. මොහුට අන්‍යයන්ගෙන් ඒ මරණය සිදුවන්නේය. (එවිට) දුකෙන්ද, ප්‍රාණ ඝාතයෙන්ද මගේ මිදීම වන්නේය”යි පවසා තුන්වන ගාථාව වදාළහ.
“මේ තෙමේ (සෙස්සන් ද) මා මෙන් යැයි සිතමින් අනෙක් අයටද මෙසේ කරන්නේය. ඔවුහු ඒ අවස්ථාවේදී මොහු මරා දමන්නාහ. එයින් මට (පවින්) මිදීම වන්නේය.”
යනුවෙන් තෙවන ගාථාව වදාළහ.
කීප දිනකින් බෝසතාණන් වහන්සේ අන් තැනකට ගිය සේක. වෙනත් නපුරු මී ගවයෙක් එතනට අවුත් සිටියේය. දුෂ්ට වඳුරා “මේ ඔහුමය” යන හැඟීමෙන් ඌගේ පිටට පැන පෙර පරිදිම නොමනා ලෙස හැසුරුණේය. ඉක්බිති ඒ ගවයා ඇඟ සොලවා වඳුරා බිම දමා, අඟින් ඇන හදවත සිදුරු කර, පයින් පාගා පොඩි කර දැමුවේය.
බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා චතුරාර්ය සත්‍යය ප්‍රකාශ කොට ජාතක කථාව නිමවා වදාළ සේක. “එකල නපුරු මී ගවයා වූයේ දැන් මේ දුෂ්ට ඇතාය. දුෂ්ට වඳුරා නම් මේ දුෂ්ට වඳුරාම විය. සීලාචාර මී ගව රාජයා වනාහි මම ම වූයෙමි”යි වදාළ සේක.
අටවැනි වූ මහිසරාජ ජාතක වර්ණනාවයි.