කායං බලාකා සිඛිනී යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් එක්තරා බලවත් ආශා ඇති භික්ෂුවක් අරබයා වදාළ සේක. දම්සභාවට පමුණුවන ලද ඒ භික්ෂුවට බුදුරජාණන් වහන්සේ, “මහණ, ඔබ දැන් පමණක් නොව පෙරත් ලොල් බව නිසාම මරණයට පත් විය. ඒ නිසා පැරණි පඬිවරුන්ද තමන්ගේ වාසස්ථානයෙන් බැහැර වූහ” යි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රජ කරන සමයේ බරණැස් සිටුතුමාගේ මුළුතැන්ගෙයි බත් උයන්නා පින් පිණිස නිල් පැහැති කූඩුවක් (නීලපච්ඡි) තැබුවේය. එකල බෝසතාණන් වහන්සේ පරෙවි යෝනියෙහි ඉපදී එහි වාසය කළහ. ඉක්බිති එක් ලොල් කපුටෙක් මුළුතැන්ගෙයි මුදුනින් පියාඹන්නේ නොයෙක් ආහාර මස් මාංශ වර්ග දැක ආසාවෙන් මැඩුණේ, “කවරෙක් නිසා මෙහි ඉඩක් ලබන්නට හැකිවන්නේ දැයි” සිතමින් බෝසතාණන් වහන්සේ දැක, “මොහු නිසා එය කළ හැකි වන්නේ යැයි” නිගමනය කොට ඔහු ගොදුරු පිණිස කැලයට යන කල්හි පිටුපසින් පිටුපසින් ලුහුබැන්දේය. ඉක්බිති ඔහුට බෝධිසත්වයන් වහන්සේ, “කපුට, අපි වනාහි වෙනස් ගොදුරු ඇත්තෙමු. නුඹද වෙනස් ගොදුරු ඇත්තෙහි. ඒ නිසා කුමක් සඳහා මා පසුපස එන්නේදැයි” ඇසූහ. “ස්වාමීනි, ඔබවහන්සේගේ ක්‍රියාව මට රුචි වෙයි. මමද ඔබලාට සමාන ගොදුරු ගන්නෙකු වී ඔබවහන්සේට උපස්ථාන කරන්නට කැමැත්තෙමි” යි කීවේය. බෝසතාණන් වහන්සේ එය පිළිගත් සේක. ඒ කපුටා ඔහු සමඟ ගොදුරු බිමේදී එකට ගොදුරු සොයා හැසිරෙන්නෙකු මෙන් මඟහැර ගොස්, ගොම ගොඩක් අවුස්සා පණුවන් කා කුස පුරවාගෙන බෝසතාණන් වහන්සේ වෙත එළඹ, “ඔබවහන්සේ මෙතෙක් වේලා හැසිරෙන්නෙහිය. භෝජනයෙහි ප්‍රමාණය දැනගැනීම සුදුසුය. එන්න, සවස් වන්නට කලින්ම යමු” යි කීවේය. බෝසතාණන් වහන්සේ කපුටා රැගෙන වාසස්ථානයට ගිය සේක. අරක්කැමියා “අපගේ පරෙවියා යාළුවෙකු රැගෙන ආවේය” යි සිතා කපුටාටද එක් දහයියා කූඩුවක් (ථුසපච්ඡි) තැබුවේය. කපුටා දින හතර පහක් ඒ ආකාරයෙන්ම වාසය කළේය.
ඉක්බිති එක් දිනක් සිටුතුමාට බොහෝ මස් මාංශ ගෙන ආවාහුය. කවුඩා ඒ දැක ලෝභයෙන් මැඩුණේ උදේ කාලයේ පටන් කෙඳිරිගාමින් නිදා සිටියේය. ඉක්බිති පසු දින බෝසතාණන් වහන්සේ, “යහළුව, ගොදුරු සඳහා එන්න යැයි” කීහ. “ඔබවහන්සේ යන්න. මට කෑ දේ නොදිරවූ සැකයක් ඇතැයි” කීවේය. “යහළුව, කපුටන් අතර කෑම නොදිරවන කපුටෙක් නැත. ගිලින ලද ගිතෙල් පාන්තිරයක් පමණක් නුඹේ කුසෙහි ටික වේලාවක් පවතියි. සෙසු දේ උගුරෙන් පහළට වැටුණු ගමන් දිරවයි. මගේ කීම පිළිගන්න. මේ මස් මාංශ දැක, මෙසේ නොකරන්නැයි” කීහ. “ස්වාමීනි, මේ කුමක් කියව්ද? මට අජීර්ණය ගැන සැකය ඇත්තේමය.” “එසේ නම් නොපමා වුව මැනව” යි අවවාද දී බෝසතාණන් වහන්සේ ගිය සේක.
අරක්කැමියාද නොයෙක් ආකාර මස් මාංශ වර්ග පිළියෙළ කොට සිරුරෙන් දහදිය පිස දමමින් මුළුතැන්ගෙයි දොරටුව ළඟ සිටියේය. කපුටා, “මස් මාංශ කෑමට මේ සුදුසු කාලයයි” සිතා ගොස් රසවත් ආහාර බඳුන වසා ඇති පියන මත හිඳගත්තේය. අරක්කැමියා ‘කිලී’ යන හඬ අසා ආපසු හැරී බලන විට කපුටා දැක, ඇතුලට පැමිණ ඌ අල්ලාගෙන මුළු සිරුරෙහිම පිහාටු ගලවා හිස මුදුනෙහි කොණ්ඩය (සිළුවක්) පමණක් ඉතිරි කොට, ඉඟුරු, දුරු මිරිස් ආදිය අඹරා මෝරු සමඟ කලවම් කර, “නුඹ අපගේ සිටුතුමාගේ මස් මාංශ ඉඳුල් කළෙහිදැයි” කියා උගේ ශරීරය පුරාම තවරා විසිකොට නිල් කූඩුවට හෙළීය. ඌට බලවත් වේදනාවක් හටගත්තේය. බෝසතාණන් වහන්සේ ගොදුරු බිමෙන් අවුත් කෙඳිරිගාන ඌ දැක විහිළු කරමින් පළමු ගාථාව කීහ.
“මේ කුමන සිළු ඇති කෙකිනියක්ද? වළාකුළ සීයා (පියාගේ පියා) කොට ඇති සොරු තැනැත්තියක්ද? එම්බා කෙකිනිය, කූඩුවෙන් බිමට බැස මෙහි එන්න. මාගේ මිතුරු කපුටා ඉතා සැර පරුෂය.”
එහි, කායං බලාකා සිඛිනී යනු: ගණ මෝරුවලින් තවරන ලද කාක්කාගේ ඒ ශරීරය සුදු බැවින් ද, හිස මුදුනෙහි කොණ්ඩය තබා ඇති බැවින් ද, “මේ කවර තැනැත්තියක්ද? කෙකිනියක්ද? මොනරෙක්දැයි?” විමසමින් අමතයි. චොරී යනු: පරෙවි කුලයෙන් අවසර නොලැබ පරෙවියාගේ කුලගෙට (කූඩුවට) ඇතුළු වූ බැවින් ද, කපුටාගේ අකමැත්තෙන් (අරක්කැමියා විසින් දැමීම නිසා) කූඩුවට ඇතුළු වූ බැවින් ද ‘චොරී’ (සෙර) යනුවෙන් කියයි. ලඞ්ඝිපිතාමහා යනු: අහසෙහි එල්ලෙන හෙයින් වැහි වළාකුළ ‘ලංඝී’ යයි කියනු ලැබේ. වැහි වළාකුලෙහි හඬින් (මේඝ ශබ්දයෙන්) කෙකිනියෝ ගැබ් ගනිති යන අර්ථයෙන් මේඝ ශබ්දය කෙකිනියන්ගේ පියාය. එබැවින් වැහිවළාකුළ (මේඝය) සීයා (පියාගේ පියා) වෙයි. එහෙයින් ‘ලංඝීපිතාමහා’ යයි කියනු ලැබේ. ඔරං බලාකෙ ආගච්ඡ යනු: “එම්බා කෙකිනිය මෙහි එන්න”. චණ්ඩො මෙ වායසො සඛා යනු: “මගේ යහළුවා වූ, කූඩුවෙහි අයිතිකරු වූ, චණ්ඩ වූ, පරුෂ වූ ඒ කපුටා පැමිණ ඔබ දැක හෙල්ලක් වැනි හොටෙන් කොටා මරා දමන්නේය. එහෙයින් ඌ පැමිණීමට පෙර කූඩුවෙන් බැස මෙහි එන්න, ඉක්මණින් පැන යන්න” යනුවෙන් කියයි.
ඒ අසා කපුටා දෙවන ගාථාව කීවේය.
“මම සිළු ඇති කෙකිනියක් නොවෙමි. මම ලොල් වූ කපුටෙක්මි. ඔබගේ වචනය නොකළ නිසා පියාපත් සිඳින ලද්දේ වෙමි. ගොදුරු බිම සිට පැමිණි ඔබ, මා දෙස බලන්න.”
එහි ආගතො යනු: ආහාර සොයාගන්නා තැනින් ආවා වූ ඔබ, දැන් තටු සිඳින ලද මා දෙස බලන්න යන අර්ථයයි.
ඒ අසා බෝසතාණන් වහන්සේ තෙවන ගාථාව කීහ.
“යහළුව, ඔබ නැවතත් දුකකට පත් වන්නෙහිය. තොපගේ ස්වභාවය (ශීලය) එවැනිය. මිනිසුන්ගේ භෝග පක්ෂීන් විසින් සුවසේ අනුභව කළ හැකි ඒවා නොවේ.”
එහි, පුනපාපජ්ජසි සම්ම යනු: යහළු කපුටාණෙනි! නැවතත් නුඹ මෙබඳු දුකක් ලබන්නෙහිමය. නුඹට මෙපමණකින් මිදීමක් නැත. කුමක් නිසාද? සීලඤ්හි තව තාදිසං යනු: ඔබේ පහත් හැසිරීම එබඳු දුකක් ලැබීමට සුදුසුය. න හි මානුසකා යනු: මිනිස්සු නම් මහ පින් ඇත්තෝය. තිරිසන්ගත සත්ත්වයන්ට එබඳු පිනක් නැත. ඒ නිසා මිනිසුන් විසින් පරිභෝග කළයුතු සම්පත් තිරිසන්ගත පක්‍ෂීන් විසින් අනුභව නොකළ යුතුය.
මෙසේ කියා බෝසතාණන් වහන්සේ, “මෙතැන් පටන් මට මෙහි විසීමට නොහැකි යැයි” සිතා ඉගිලී අන් තැනකට ගියහ. කවුඩාද කෙඳිරිගාමින් එහිම මිය ගියේය.
බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා චතුරාර්ය සත්‍යය ප්‍රකාශ කොට ජාතකය නිමවා වදාළ සේක. සත්‍ය දේශනාව කෙළවර ලොල් භික්ෂුව අනාගාමී ඵලයෙහි පිහිටියේය. “එකල ලෝල කපුටා නම් මේ ලෝල භික්ෂුව විය. පරෙවියා වනාහි මම ම වූයෙමි” යි වදාළ සේක.
සිව්වන වූ ලෝල ජාතක වර්ණනාවයි.