“කෝ නු උද්දිනභත්තෝ වා” යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරද්දී කොසොල් රජතුමාගේ මහා ඇමතියන් දෙදෙනෙකුගේ කලහයක් සංසිඳවීම අරබයා වදාළ සේක. වර්තමාන කථාව දුක නිපාතයෙහි කියන ලද පරිදිමය.
යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍ය කරන කල්හි බෝධිසත්වයෝ කාසි රට බමුණු කුලයක ඉපදී, වැඩිවියට පත්ව තක්සලා නුවරින් ශිල්ප ඉගෙන, පස්කම් සැප හැරදමා තවුස් පැවිද්දෙන් පැවිදිව හිමාල වනයේ ගං ඉවුරක අසපුවක් තනාගෙන, එහිදී අභිඥා සහ සමාපත්ති උපදවාගෙන ධ්‍යාන සුවයෙන් කල් ගෙවමින් වාසය කළහ. මේ ජාතකයෙහි බෝධිසත්වයෝ උපරිම මධ්‍යස්ථ ස්වභාවයෙන් යුක්ත වූහ; උපේක්‍ෂා පාරමිතාව පිරූහ. එක් කාය වාග් සංවරයක් නැති දුසිල් වඳුරෙක් අවුත් පන්සල් දොරකඩ වාඩි වී සිටින උන්වහන්සේගේ කන් සිදුරුවලට කෝටු කැබලි ඇතුළු කරන්නාක් මෙන් තම ලිංගය (අංගජාතය) ඇතුල් කරයි. බෝධිසත්වයෝ එය නොවළක්වා මැදහත්ව හිඳිති. ඉක්බිති එක් දිනක එක් ඉබ්බෙක් දියෙන් ගොඩට අවුත් ගං ඉවුරේ කට ඇරගෙන අව්ව තපිමින් නිදයි. ඒ බව දැක ඒ කෑදර වඳුරා උගේ කට තුළට ද තම ලිංගය ඇතුල් කිරීමේ ක්‍රියාව කළේය. එවිට ඉබ්බා පිබිදී වඳුරාගේ රහසඟ මල්ලක දමන්නාක් මෙන් කටින් ඩැහැ ගත්තේය. වඳුරාට බලවත් වේදනාවක් උපන්නේය. වේදනාව ඉවසිය නොහැකිව, “කවරෙක් නම් මා මේ දුකෙන් මුදවත්ද? කා ළඟට යම්දැයි?” සිතා, “තාපසතුමා හැර මේ දුකෙන් මා මුදවන්නට වෙන කෙනෙක් නැත. මා උන්වහන්සේ සමීපයටම යාම සුදුසුය”යි සිතා, තම දෑතින් ඉබ්බා ඔසවාගෙන බෝධිසත්වයන් වහන්සේ සමීපයට ගියේය. බෝධිසත්වයෝ ඒ දුස්සීල වඳුරා සමඟ විහිළු කරමින් පළමු වන ගාථාව වදාළහ.
“කෝ නු උද්ධිතභත්තෝව - පූරහත්ථෝව බ්‍රාහ්මණෝ
කහං නු භික්ඛං අචරි - කං සද්ධං උපසඞ්කමී”
පිරුණු බත් පාත්‍රයක් ගත්තෙකු මෙන් පෙනෙන මොහු කවරෙක්ද? (කාර්තික පූජාවෙහි ලද) පිරුණු පාත්‍රයක් අතැති බමුණෙකු මෙන් මොහු කවරෙක්ද? (නුඹ) කවර ප්‍රදේශයක පිඬු සිඟා හැසිරුණේද? කවර සැදැහැවතෙකු කරා එළැඹියේද?
එහි “කෝ නු උද්ධිතභත්තෝ වා” යනු පිරුණු බත් ඇත්තෙකු මෙන් එන මොහු කවුද? බතින් පිරුණු එක් පාත්‍රයක් දෑතින් ගෙන එන්නාක් මෙන් මේ එන තැනැත්තා කවරෙක්ද යන අර්ථයයි. “පූරහත්ථෝව බ්‍රාහ්මණෝ” යනු, ඉල් මස (කාර්තික මාසයේ) දීමනා ලැබ අත පිරුණු බමුණෙකු මෙන් එන මොහු කවුදැයි වඳුරා අරබයා කියයි. “කහං නු භික්ඛං අචරි” යනු, “එම්බා වඳුර! කුමන ප්‍රදේශයක අද නුඹ පිඬු සිඟා හැසිරුණෙහිද?” යන්නයි. “කං සද්ධං උපසංකමී” යනු, “මියගිය කවරෙකු උදෙසා කළ මළ බතක්ද? කවර සැදැහැවතෙකු වෙත එළඹ මේ දානය ලැබුවේද?” යයි විමසීමයි.
ඒ අසා දුසිල් වඳුරා දෙවන ගාථාව කීවේය.
“අහං කපිස්මි දුම්මේධෝ - අනාමාසානි ආමසිං
ත්වං මං මෝචය භද්දං තේ - මුත්තෝ ගච්ඡෙය්‍ය පබ්බතං”
“ස්වාමීනි, මම මෝඩ වඳුරෙක්මි. ස්පර්ශ නොකළ යුතු තැන් ස්පර්ශ කළෙමි. ඔබ මා (මේ දුකෙන්) මුදවන සේක්වා! ඔබට යහපතක් වේවා. මෙයින් මිදුණු පසු මම නැවත පර්වතයට යන්නෙමි.”
එහි “අහං කපිස්මි දුම්මේධෝ” යනු, “ස්වාමීනි! මම මෝඩ චපල සිත් ඇති වඳුරෙක් වෙමි” යන්නයි. “අනාමාසානි ආමසිං” යනු, “ස්පර්ශ නොකළ යුතු තැන් ස්පර්ශ කළෙමි” යන්නයි. “ත්වං මං මෝචය භද්දං තේ” යනු, “දයාවෙන් පිරුණු අනුකම්පාවෙන් යුතු ඔබවහන්සේ මාව මේ දුකින් මුදවන්න. ස්වාමීනි, ඔබවහන්සේට යහපතක් වේවා!” යන්නයි. “මුත්තෝ ගච්ඡෙය්‍ය පබ්බතං” යනු, “ඒ මම ඔබවහන්සේගේ අනුහසින් මේ විපතින් මිදුනේ නම් පර්වතයටම යන්නෙමි. නැවත ඔබේ ඇස් හමුවට නොඑන්නෙමි” (ඔබ වහන්සේට පෙනෙන්නට නැවත නොඑන්නෙමි) යන අර්ථයි.
බෝධිසත්වයෝ ඔහු කෙරෙහි කරුණාවෙන්, ඉබ්බා සමඟ කථා කරමින් තුන්වන ගාථාව වදාළහ.
“කච්ඡපා කස්සපා හොන්ති - කොණ්ඩඤ්ඤා හොන්ති මක්කටා
මුඤ්ච කස්සප කොණ්ඩඤ්ඤං - කතං මේථුනකං තයා”
“ඉබ්බෝ කාශ්‍යප ගෝත්‍ර ඇත්තෝ වෙති. වඳුරෝ කොණ්ඩඤ්ඤ ගෝත්‍ර ඇත්තෝ වෙති. කාශ්‍යපය! කොණ්ඩඤ්ඤයා මුදවන්න! ඔබ (ඉබ්බා) විසින් (වඳුරා සමඟ) මෛථුන සේවනය (ලිංගික සේවනය) කරන ලදී.”
එහි අර්ථය මෙසේය: “කච්ඡපා” හෙවත් ඉබ්බෝ නම් කාශ්‍යප ගෝත්‍රයෙහි වෙති. “මක්කටා” හෙවත් වඳුරෝ කොණ්ඩඤ්ඤ ගෝත්‍රයේ වෙති. කාශ්‍යප සහ කොණ්ඩඤ්ඤ ගෝත්‍රවලට අයත් වූවන් අතර ඔවුනොවුන් ආවාහ විවාහ සම්බන්ධයක් ඇත. ඒ මේ ආවාහ විවාහ ලොල් වූ, දුසිල් වූ මේ වඳුරා විසින් ඔබ සමඟද, “තයා” හෙවත් ඔබ විසින් මේ දුසිල් වඳුරා සමඟ ද, ගෝත්‍ර සමානකම් ඇති මෛථුන ධර්මයට සුදුසු වූ දුසිල් ක්‍රියාවක් වූ “මෛථුනකං කතං” හෙවත් මෛථුනය කරන ලදී. එහෙයින් “මුඤ්ච කස්සප කොණ්ඩඤ්ඤ” හෙවත් කාශ්‍යපය, කොණ්ඩඤ්ඤව නිදහස් කරන්න.
ඉබ්බා බෝධිසත්වයන් වහන්සේගේ වචනය අසා කාරණයෙහි පැහැදී වඳුරාගේ රහසඟ නිදහස් කළේය. වඳුරා මිදුණු සැණින් බෝධිසත්වයන් වහන්සේට වැඳ පලා ගියේය; නැවත ඒ ස්ථානය දෙස හැරීවත් නොබැලුවේය. ඉබ්බා ද බෝධිසත්වයන් වහන්සේට වැඳ තම වාසස්ථානයට ගියේය. බෝධිසත්වයෝ ද නොපිරිහුණු ධ්‍යාන ඇත්තාහු බඹලොව උපන්හ.
බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා චතුරාර්ය සත්‍යය ප්‍රකාශ කොට ජාතකය නිමවා වදාළ සේක. එකල ඉබ්බා හා වඳුරා වනාහි දැන් මේ ඇමතිවරු දෙදෙනා වූහ. තාපසයා වනාහි මම ම වූයෙමි.
තුන්වන වූ කච්ඡප ජාතක වර්ණනාවයි.