5. රුචිර ජාතකය (275)

star_outline

“කායං බලාකා රුචිරා” (කෙකිනියගේ ශරීරය බබළයි) යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සමයෙහි එක් ලොල් වූ (ගිජු) භික්‍ෂුවක් අරබයා වදාළ සේක. මෙහි (වර්තමාන හා අතීත) කථාවස්තු දෙක ද, ගාථාවන් ද මුල් ජාතකයට (මින් පෙර දේශනා කළ ජාතකයට) සමාන ය.

“සිත්කලු වූ මේ කෙකිනිය කවුඩු කැදැල්ලෙහි සිටියි. (ඇය කවරියක් ද?) මගේ මිත්‍ර කපුටා නපුරු ය. මේ වනාහි ඔහුගේ කැදැල්ල ය.”

“තණ බීජ අනුභව කරන යහලු පක්‍ෂිය! නුඹ මා හඳුනන්නේ නැද්ද? නුඹේ වචනයට ඇහුම්කන් නොදී (නුඹේ අවවාදය නොපිළිගෙන) පියාපත් සිඳාගත් මම (මෙතැනට) පැමිණියෙමි. (දුකට පත්) මා දෙස බලන්න.”

“යහළුව, නුඹ නැවතත් මෙබඳු දුකකට පත්වන්නෙහිය. මක්නිසාද යත් නුඹගේ ස්වභාවය (හැසිරීම) එබඳු ය. මනුෂ්‍යයන්ගේ භෝග (ආහාර) පක්‍ෂීන් විසින් සුවසේ අනුභව කිරීමට යෝග්‍ය නොවේ.”

මෙහි ගාථාවන් (දෙදෙනා අතර) මාරුවෙන් මාරුවට කියැවුණි.

එහි, “රුචිරා” යනු මෝරු තැවරූ ශරීර ඇති බැවින් සුදු පැහැය ගැන සඳහන් කරමින් කියයි. බබළන, දැකුම්කලු, සුදු පැහැති යනු එහි අර්ථයයි. “කාකනීළස්මිං” යනු කපුටු කැදැල්ලෙහි ය. “කාකනිඩ්ඪස්මිං” යනුවෙන් ද පාඨයක් ඇත. “දිජ” (පක්‍ෂියා) යන්නෙන් කපුටා පරෙවියා අමතයි. “සාමාකභොජන” යනු තණ බීජ ආහාරයයි. මෙහි ‘සාමාක’ යන්න ගැනීමෙන් සියලු තණ බීජ (ධාන්‍ය) ගන්නා ලදී. මෙහි ද බෝධිසත්ත්වයන් වහන්සේ “දැන් පටන් මා විසින් මෙහි විසීමට නොහැකි ය” යි සිතා ඉගිලී වෙනත් තැනකට ගියහ.

බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා චතුරාර්ය සත්‍යය ප්‍රකාශ කොට ජාතකය ගළපා වදාළ සේක. සත්‍ය දේශනාව අවසානයෙහි ලොල් වූ භික්‍ෂුව අනාගාමී ඵලයෙහි පිහිටියේය. “එකල ලොල් වූ කපුටා නම් මේ ලොල් වූ භික්‍ෂුව ය. පරෙවියා වනාහි මම ම වූයෙමි” යි වදාළ සේක.

පස්වැනි වූ රුචිර ජාතක වර්ණනාව යි.