“යෙන මිත්තේන සංසග්ගා” (යම් මිතුරෙකු හා ඇසුරක් වේ ද) යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සමයෙහි කෝකාලික තෙරුන් අරබයා වදාළ සේක. කෝකාලික කථාවස්තුව දහතුන්වන නිපාතයෙහි තක්කාරිය ජාතකයෙහි මතු සඳහන් වන්නේය. කෝකාලික තෙරුන් වහන්සේ වනාහි, “සැරියුත් මුගලන් තෙරුන් වහන්සේලා දෙනම කැඳවාගෙන එන්නෙමියි” කෝකාලික රටේ සිට ජේතවනාරාමයට වැඩම කර ශාස්තෲන් වහන්සේ වැඳ, තෙරුන් වහන්සේලා දෙනම වෙත එළඹ, “ඇවැත්නි! කෝකාලික රටවැසි මිනිස්සු ඔබ වහන්සේලා දෙනම කැඳවන්නාහුය. වඩිනු මැනවි, යමු”යි කීහ. එවිට තෙරුන් වහන්සේලා “ඇවැත්නි! ඔබ යන්න, අපි නොඑන්නෙමු”යි කීහ. තෙරුන් වහන්සේලා විසින් ප්‍රතික්ෂේප කළ කෝකාලික තමා ම ආපසු ගියේය. ඉක්බිති භික්‍ෂූන් වහන්සේලා දම්සභාවෙහිදී “ඇවැත්නි! කෝකාලික භික්‍ෂුව සැරියුත් මුගලන් දෙදෙනා වහන්සේ ඇතිවත් සිටිය නොහැකිය, නැතිවත් සිටිය නොහැකිය. එක්වීමක් නො ඉවසයි, වෙන්වීමක් ද නොඉවසයි” යනුවෙන් කථාවක් මතු කළහ. බුදුරජාණන් වහන්සේ එහි වැඩමවා “මහණෙනි! මෙහි කවර කථාවකින් යුතුව සිටියාහුදැ”යි විචාරා, “මෙනම් කථාවෙන්” යයි කී කල්හි, “මහණෙනි! දැන් පමණක් නොව පෙරත් කෝකාලික, සැරියුත් මුගලන් දෙදෙනා ඇතුවත් නැතුවත් සිටින්නට නොහැකි වූයේ ය”යි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
අතීතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍ය කරන කල්හි බෝසතාණන් වහන්සේ එක්තරා කැළෑවක රුක් දෙවියෙකු වී උපන් සේක. ඔහුගේ විමානය අසල එක්තරා විශාල වනස්පති වෘක්‍ෂයක වෙනත් රුක් දෙවියෙක් වාසය කරයි. ඒ වන රොදෙහි සිංහයෙක් ද ව්‍යාඝ්‍රයෙක් ද වාසය කරති. ඔවුන් දෙදෙනාට ඇති බිය නිසා කිසිවෙක් එහි කුඹුරක් නොකරයි, ගසක් නොකපයි. එහි නැවතී බලන්නට සමතෙක් ද නැත. ඒ සිංහ ව්‍යාඝ්‍ර දෙදෙනා නොයෙක් ආකාර මෘගයන් මරා කති. කා ඉතිරි වූ කොටස් එහිම දමා යති. ඒ නිසා ඒ වනලැහැබ අසූචි කුණප ගඳ ඇත්තේ වෙයි.
ඉක්බිති කළයුතු නොකළ යුතු දේ නොදන්නා අන්ධබාල වූ අනෙක් රුක් දෙවියා එක් දිනක් බෝසතාණන් වහන්සේට, “යහළුව! මේ සිංහ ව්‍යාඝ්‍රයන් නිසා වනරොද අසූචි කුණප ගඳින් යුක්තයි. මම මුන් දෙදෙනා පලවා හරිමි”යි කීවේය. බෝසතාණන් වහන්සේ, “යහළුව! මේ දෙදෙනා නිසා අපගේ විමාන රැකේ. මොවුන් පලා ගිය විට අපේ විමාන විනාශ වෙයි. සිංහ ව්‍යාඝ්‍ර පා සලකුණ නොදකින මිනිස්සු සියලු වනය කපා, එකම පිටියක් කොට කුඹුරු කරන්නාහ. එබැවින් ඒ ක්‍රියාවට කැමති නොවන්නැ”යි කියා පළමු ගාථා දෙක වදාළේය:
“යම් මිතුරෙකු ඇසුරු කිරීමෙන්,
තමාගේ සැනසීම විනාශ වේ ද;
නුවණැත්තා තමාගේ ඇසක් රකින්නාක් මෙන්,
පෙර සිටම ඔහුගෙන් එන උපද්‍රවයෙන් (තමා) රැකගත යුතුය.”
“යම් මිතුරෙකු ඇසුරු කිරීමෙන්,
තමාගේ සැනසීම වැඩි දියුණු වේ ද;
නුවණැත්තා සියලු කටයුතුවලදී,
ඔහු හා සමාන පැවැත්මක් ඇති කරගත යුතුය.”
යනුවෙන් මෙම පළමු ගාථා දෙක පැවසීය.
යම් ආකාර පාප මිත්‍ර සේවනයක් හේතුකොට ගෙන සිතේ ද කයේ ද සැනසීම පිරිහෙයි ද, නුවණ ඇති පුරුෂ තෙම ඒ පාප මිත්‍රයා විසින් අභිබවනය (යටපත්) කළ යුතු දෙය තමාගේ දෑස් මෙන් රැක ගත්තේමය.
යම් බඳු කල්‍යාණ මිත්‍රයකු සමග එක්වීම නිසා කාය චිත්ත සුවය වැඩෙයි ද, ඒ කල්‍යාණ මිතුරාගේ සියලු කටයුත්තෙහි පණ්ඩිත පුරුෂ තෙමේ පැවැත්ම තමා හා සම කරන්නේය.
එහි යෙන මිත්තේන සංසග්ගා යනු යම් පවිටු මිතුරකු සමග ආශ්‍රය කිරීම හේතුවෙන් හෙවත් ආශ්‍රය කිරීම නමැති කරුණෙන්, යමකු සමග ඇති වන පස් ආකාර ඇසුර කරන ලද බැවින් යන අර්ථයයි. ඒ පස් ආකාර ඇසුර නම්:
- දැකීමෙන් ඇති වන ඇසුර (දස්සන සංසග්ග)
- ඇසීමෙන් ඇති වන ඇසුර (සවන සංසග්ග)
- කය ඇල්ලීමාදියෙන් ඇති වන ඇසුර (කාය සංසග්ග)
- කතාබහ කිරීමෙන් ඇති වන ඇසුර (සමුල්ලපන සංසග්ග)
- පරිභෝග කිරීමෙන් ඇති වන ඇසුර (පරිභෝග සංසග්ග)
යොගක්ඛෙමො යනු කයේ හා සිතේ සැපයයි. එය වනාහි දුක්ඛ යෝගයෙන් (දුක හා එක්වීමෙන්) ආරක්ෂා වන බැවින් මෙහි ‘යෝගක්ඛේම’ යයි අදහස් කරන ලදී. විහිය්‍යති යනු පිරිහීමට පත් වේ. පුබ්බෙවජ්ඣාභවං තස්ස රක්ඛෙ අක්ඛීව පණ්ඩිතො යනු ඒ පාප මිත්‍රයා විසින් කරන මැඩපැවැත්වීම තමා විසින් වැළැක්විය යුතුය. පාප මිතුරා තමාගේ ලාභ, කීර්ති, ජීවිත යන මේවා මැඩ පවත්වන්නට පෙර කල් ඇතිවම පණ්ඩිත පුරුෂයා තමාගේ ඇස මෙන් රකින්නේය.
දෙවන ගාථාවෙහි යෙන යනු යම් කල්‍යාණ මිතුරෙකු සමග එක්වීමේ කාරණයෙනි. යොගක්ඛෙමො පවඩ්ඪති යනු කයේ හා සිතේ සැපය වැඩෙයි. කරෙය්‍යත්තසමං වුත්තිං යනු පණ්ඩිත පුරුෂයා යම් සේ තමන්ගේ දිවි පැවැත්ම ද, ගෙවල් ඉඩම් ආදී උපභෝග පරිහරණය ද, ඇඳුම් ආහාර ආදී පරිභෝග පරිහරණය ද කරයි නම්, ඒ කල්‍යාණ මිත්‍රයාගේ සියලු කටයුතුවලදී ද මෙසේ මේ සියල්ල කරන්නේය. වැඩිපුරත් කරන්නේය. පහත් දෙයක් නම් නොකරන්නේය.
මෙසේ බෝසතාණන් වහන්සේ විසින් කරුණු කී කල්හි ද, ඒ මෝඩ දෙවියා සොයා නොබලා එක් දිනක් බිය ගෙන දෙන රූපයක් මවා ඒ සිංහයා හා ව්‍යාඝ්‍රයා පලවා හැරියේය. මිනිස්සු ඔවුන්ගේ පා සටහන් නොදැක “සිංහ ව්‍යාඝ්‍ර දෙදෙනා වෙනත් වන ලැහැබකට ගියේ ය”යි දැන වන ලැහැබේ එක් කොටසක් සිඳ දැමූහ. දේවතාවා බෝසතාණන් වහන්සේ වෙත එළඹ, “යහළුව, මම ඔබේ කීම නොසලකා ඔවුන් පලවා හැරියෙමි. දැන් ඔවුන් ගිය බව දැන මිනිස්සු කැලේ කපති. කුමක් කළ යුතුදැ”යි ඇසීය. එවිට “දැන් ඔවුන් දෙදෙනා අසවල් වන ලැහැබෙහි වසත්. ගොස් ඔවුන් කැඳවාගෙන එන්නැ”යි කියන ලදුව, එහිම ගොස් සිංහ ව්‍යාඝ්‍ර දෙදෙනා ඉදිරියේ සිට දෑත් එක්කොට වැඳ තුන්වන ගාථාව කීවේය:
“එනු මැනවි ව්‍යාඝ්‍රයෙනි ආපසු හැරී එනු මැනවි,
නැවතත් ඒ මහා වනයටම පැමිණෙනු මැනවි;
ව්‍යාඝ්‍රයන් නැති වනය (මිනිසුන් ලවා) නොකපවා,
ව්‍යාඝ්‍රයෝ ද වනය අහිමි වූවන් නොවෙත්වා!”
යනුවෙන් තුන්වන ගාථාව කීවේය.
“ව්‍යාඝ්‍රයෙනි, එන්න. ආපසු පෙරළා එන්න. මහ වනයට එළඹෙව්. ව්‍යාඝ්‍රයන් නැති වනය (මිනිසුන් ලවා) නොකප්පවනු මැනවි. ව්‍යාඝ්‍රයෝ වන විරහිත වූවාහු නො වෙත්වා. ව්‍යාඝ්‍රයෝ කැලෑවක් නැති අය නො වෙත්වා.”
එහි ව්‍යග්ඝා යනු ඒ දෙදෙනාට ව්‍යාඝ්‍ර නාමයෙන් අමතයි යනුවෙන් කීවේය. නිවත්තව්හො යනු ආපසු එව්. පච්චුපෙථ මහාවනං යනු ඒ මහා වනයට ආපසු එව්, නැවත එළඹෙව්. මෙයම පාඨයයි. මා වනං ඡින්දි නිබ්යග්ඝං යනු අපගේ වනලැහැබ දැන් තොප නොමැතිකමින් ව්‍යාඝ්‍රයන් නැති එකකි; එබැවින් මිනිස්සු ඒ වනය නොකපත්වා. බ්යග්ඝා මාහෙසු නිබ්බනා යනු තොප වැනි ව්‍යාඝ්‍ර රජවරු තම වාසස්ථානයෙන් පලා ගිය බැවින්, වාසය කරන තැන වන වනයෙන් තොර නොවේවා.
ඔවුහු දේවතාවා විසින් මෙසේ ඉල්ලනු ලබද්දී ද, “යව, අපි නොඑන්නෙමු”යි ප්‍රතික්ෂේප කළාහුය. දේවතාවා තනියම ආපසු ගියේය. මිනිස්සු ද කීප දිනකින් සියලු වනය කපා, කුඹුරු කොටා ගොවිතැන් කළාහුය.
බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා චතුරාර්ය සත්‍යය ප්‍රකාශ කොට ජාතකය නිමවා වදාළ සේක. එකල නුවණ නැති දෙවියා කෝකාලික ය. සිංහයා සැරියුත් ය. ව්‍යාඝ්‍රයා මුගලන් ය. නුවණ ඇති දෙවියා වනාහි මම ම වූයෙමි යි වදාළ සේක.
ව්‍යග්ඝ ජාතක වර්ණනාව දෙවැනියි.