ආරඤ්ඤිකස්ස ඉසිනො (වනයෙහි වසන ඉසිවරයාගේ) යනාදී වශයෙන් එන මේ ධර්ම දේශනාව ශාස්තෘන් වහන්සේ ජේතවනාරාමයේ වැඩවාසය කරන සමයේ ළිඳ අපවිත්‍ර කරන එක් හිවලෙකු අරබයා දේශනා කළ සේක. එක්තරා හිවලෙක් භික්ෂු සංඝයා පැන් වළඳන ළිඳට මල මුත්‍රා කොට අපවිත්‍ර කර පලා යයි. ඉක්බිති එක් දිනක් ළිඳ සමීපයට පැමිණි ඌට සාමණේරවරු ගල් කැටවලින් ගසා පීඩා කළහ. ඌ එතැන් පටන් නැවත ඒ ස්ථානය දෙස ආපසු හැරීවත් නොබැලුවේය. භික්ෂූන් වහන්සේලා ඒ පුවත දැන දම්සභාවේදී කථාවක් ඇති කර ගත්හ. “ඇවැත්නි, ළිඳ අපවිත්‍ර කරන හිවලා සාමණේරයන්ගෙන් පීඩා විඳි තැන් පටන් නැවත ආපසු හැරීවත් නොබැලුවේය” කියාය. ශාස්තෘන් වහන්සේ එහි වැඩම කොට, “මහණෙනි, කවර නම් කථාවකින් යුතුව මේ අවස්ථාවේ රැස්ව සිටියහුදැයි” විචාරා, “මේ නම් කථාවෙනැ”යි පැවසූ කල්හි, “මහණෙනි, දැන් පමණක් නොව පෙරත් මේ හිවලා ළිඳ දූෂණය කරන්නෙක්මය”යි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
යටගිය දවස බරණැස් නුවර මේ ඉසිපතනයත්, මේ ළිඳත් විය. එකල බෝධිසත්ත්වයන් වහන්සේ බරණැස් නුවර කුලීන නිවසක උපත ලබා, වියපත් වූ පසු ඍෂි ප්‍රව්‍රජ්‍යාවෙන් පැවිදිව ඍෂි සමූහයා පිරිවරාගෙන ඉසිපතනයේ වාසය කළහ. එකල මේ හිවලාම මේ ළිඳම අපවිත්‍ර කොට පලා යයි. ඉක්බිති එක් දිනක් තාපසවරු ඒ හිවලා වටලා එක් උපායකින් අල්ලාගෙන බෝධිසත්ත්වයන් වහන්සේ වෙත ගෙන ගියහ. බෝධිසත්ත්වයන් වහන්සේ හිවලා සමඟ කථා කරමින් පළමු ගාථාව වදාළ සේක.
“හිවල් යහලුව! වනවාසී වූ, බොහෝ කල් තපස් රකින්නා වූ, සෘෂීන් විසින් ඉතා අපහසුවෙන් තනන ලද ළිඳ, නුඹ කුමක් නිසා මළ මුත්‍රයෙන් දූෂණය කළෙහිද?”
යනුවෙන් පළමු ගාථාව වදාළහ.
එහි අර්ථය මෙසේය: වනයෙහි වසන බැවින් ආරඤ්ඤිකස්ස (ආරණ්‍යක) යැයිද, සොයා ගත් ගුණ ඇති බැවින් ඉසිනො (ඍෂිවරයාගේ) යැයිද කියනු ලැබේ. බොහෝ කාලයක් තපස් රැකීම නිසා චිරරත්තතපස්සිනො (බොහෝ කල් තපස් ඇති) නම් වේ. කිච්ඡාකතං යනු මහත් වෑයමකින් හා දුකකින් තනන ලද උදපානං (ළිඳ) ය. කථං (කුමක් හෙයින්) සම්ම (හිවල් යහළුව), නුඹ අවාහයි යනු මළ මුත්‍රාවලින් යට කළෙහිද? දූෂණය කළෙහිද? ඒ මළ මුත්‍රා මෙහි හෙළුවෙහිද? යන අර්ථයි.
එය අසා හිවලා දෙවන ගාථාව ප්‍රකාශ කළේය.
“යම් තැනක දිය බී එතැනම අපි මළපහ කරමු නම්, මුත්‍රා කරමු නම් එය හිවලුන්ගේ ස්වභාවයයි. එය අපේ පියාගේත් සීයාගේත් ධර්මතාවයයි. එබැවින් ඒ පිළිබඳව නුඹ අපට දොස් නගන්නට සුදුසු නැත.”
යනුවෙන් දෙවන ගාථාව කීවේය.
එහි එස ධම්මො යනු මෙය ස්වභාවයයි. යං පිත්වා ඔහදාමසෙ යනු, ‘යහළුව, අපි යම් තැනක පැන් බොමුද, එතැනම පහරමු (මළපහ කරමු), මුත්‍රා කරමු’ යි පවසමින් එය අප හෙවත් හිවලුන්ගේ ධර්මතාව යැයි දක්වයි. පිතුපිතාමහං යනු අපගේ පියවරුන්ගේද සීයලාගේද ස්වභාවය එයමය. න තං උජ්ඣාතුමරහසි යනු ‘එය අපට පරම්පරාවෙන් ආ ධර්මතාවයකි, ස්වභාවයකි. එබැවින් නුඹ ඊට දොස් කීමට සුදුසු නොවෙයි; මෙහිලා නුඹ කෝප වීම යුක්තිසහගත නැතැ’යි යන අර්ථයි.
ඉක්බිති බෝධිසත්ත්වයන් වහන්සේ හිවලාට තුන්වන ගාථාව වදාළ සේක.
“ඉදින් තොපගේ ධර්මය මෙබඳු වී නම්, අධර්මය කෙබඳු වේද? තොපගේ ධර්මයවත් අධර්මයවත් අපි කිසි කලෙක නොදුටුවෙමු (මෙතැනින් ඉවත්ව යව).”
යනුවෙන් තුන්වන ගාථාව වදාළ සේක.
එහි මා වො යනු ‘තොපගේ ධර්මය හෝ වේවා, අධර්මය හෝ වේවා අපි කිසි දිනෙක නොදකිමු (නොදුටුවෙමු)’ යනුයි.
මෙසේ බෝධිසත්ත්වයන් වහන්සේ ඌට අවවාද දී “නැවත මෙහි නොඑව”යි වදාළ සේක. ඌ එතැන් පටන් නැවත හැරීවත් නොබැලුවේය.
ශාස්තෘන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා චතුරාර්ය සත්‍යය ප්‍රකාශ කොට ජාතකය නිමවා වදාළ සේක. එකල ළිඳ අපවිත්‍ර කළ හිවලා නම් මේ ළිඳ දූෂණය කළ හිවලාමය. පිරිසට අවවාද දුන් තාපසයා නම් මම ම වෙමි’යි වදාළ සේක.
පළමුවන උදපානදූසක ජාතක වර්ණනාවයි.