“න හි වණ්ණෙන සම්පන්නා” (වර්ණයෙන් සම්පූර්ණ නොවූවත්) යන මේ දේශනාව ශාස්තෘන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් අනේපිඬු සිටුතුමාගේ ලේලිය වූ, ධනඤ්ජය සිටුගේ දියණිය වූ, විශාඛාවගේ බාල සොහොයුරිය වූ සුජාතාව අරබයා වදාළ සේක. ඈ වනාහි මහත් සම්පත්තියෙන් අනේපිඬු සිටුතුමාගේ නිවස පුරවමින් පැමිණියාය. “මම මහා කුලයක දියණියක්මි” යි මාන්නයෙන් දැඩි වී, කෝපවන්නී, චණ්ඩ පරුෂ තැනැත්තියක් වූවාය. සැඩපරුෂ රළු වචන ඇත්තී, නැන්දාට, මාමාට හා ස්වාමියාට කළ යුතු වත් පිළිවෙත් නොකරන්නීය. ගෙයි ජනයාට තර්ජනය කරමින්, පහර දෙමින් හැසිරෙන්නීය. ඉක්බිති එක් දිනක් ශාස්තෘන් වහන්සේ පන්සියයක් භික්‍ෂූහු පිරිවරාගෙන අනේපිඬු සිටුතුමාගේ නිවසට වැඩමවා අසුන් ගත් සේක. මහා සිටුතුමා බණ අසමින් භාග්‍යවතුන් වහන්සේ අසල හිඳගත්තේය. ඒ මොහොතේ සුජාතාව දැසි දසුන් හා කම්කරුවන් සමඟ කලහ කරන්නීය. ශාස්තෘන් වහන්සේ ධර්ම කථාව නවත්වා “ඒ කිනම් ශබ්දයක්දැ”යි විචාළ සේක. “ස්වාමීනි, ඒ ගෙදර ලේලියයි; ඈට කිසි ගෞරවයක් නැත. ඈ නැන්දාට, මාමාට හෝ සැමියාට හෝ වත් පිළිවෙත් කිරීමක් නැත. සැදැහැ නැත; අප්‍රසන්නය. දිවා රාත්‍රී කලහ කරමින් හැසිරෙන්නී ය”යි සිටුතුමා කීවේය. “එසේනම් ඇය කැඳවන්නැ”යි බුදුරදුන් වදාළ සේක. ඈ අවුත් වැඳ එකත්පසෙක සිටියාය.
ඉක්බිති ඇයට ශාස්තෘන් වහන්සේ, “සුජාතාවෙනි, පුරුෂයාට භාර්යාවෝ සත්දෙනෙකි. ඒ භාර්යාවන් අතරින් නුඹ කවර තැනැත්තියක්දැ”යි විචාළ සේක. “ස්වාමීනි, සැකෙවින් වදාළ දෙයෙහි අර්ථය මම නොදනිමි. විස්තර වශයෙන් මට වදාරණ සේක්වා”යි ඈ කීවාය. ශාස්තෘන් වහන්සේ “එසේනම් මනා කොට අසව”යි වදාරා මේ ගාථා වදාළ සේක.
“යම් බිරිඳක් දූෂ්‍ය වූ සිත් ඇත්තී ද, හිතානුකම්පාව නැත්තී ද, අන් පුරුෂයන් කෙරෙහි ඇලුනී ද, තම සැමියා පහත් කොට සිතන්නී ද, ධනය දී තමා ලබාගත් තම සැමියාට හිරිහැර කිරීමට (වධ දීමට) උත්සාහ කරන්නී ද, පුරුෂයකුට මෙබඳු බිරිඳක් වේ නම්, ඈ වධකයකුට සමාන නිසා ‘වධක භාර්යාව’ යැයි කියනු ලැබේ.” [1]
“බිරිඳගේ සැමියා කඩු දුනු ආදී ශිල්පයක්, වෙළඳාමක් හෝ ගොවිතැනක් කරමින් යම් ධනයක් ලබයි ද, ස්ත්‍රිය ඒ ධනයෙන් ස්වල්පයක් හෝ පැහැරගනු කැමති වේ ද, පුරුෂයෙකුට මෙබඳු බිරිඳක් වේ නම් ඈ සොරෙකුට සමාන යැයි ද, ‘චෝර භාර්යාව’ යැයි ද කියනු ලැබේ.” [2]
“වැඩකටයුතු කිරීමට අකමැති, අලස, බොහෝ දේ අනුභව කරන, සැරපරුෂ වූ, චණ්ඩ වූ, නරක වචන කියන, සැමියාගේ වීර්යය (උත්සාහය) යටපත් කරගෙන සිටින බිරිඳක් යම් පුරුෂයෙකුට වේ නම්, ඒ බිරිඳ ස්වාමියාට (ආර්යාවක ලෙස) සමාන යැයි ද, ‘ස්වාමි භාර්යාව’ (ආර්ය භාර්යාව) යැයි ද කියනු ලැබේ.” [3]
“යම් බිරිඳක් හැමකල්හිම හිතානුකම්පීව, මවක් පුතෙකු රකින්නාක් මෙන් සැමියා රකින්නී ද, ඒ වාගේම ඔහු විසින් රැස්කළ ධනය රකින්නී ද, පුරුෂයෙකුට මෙබඳු වූ බිරිඳක් වේ නම්, ඒ බිරිඳ මවට සමාන යැයි ද, ‘මාතෘ භාර්යාව’ යැයි ද කියනු ලැබේ.” [4]
“වැඩිමහල් සොහොයුරා කෙරෙහි නැගණිය පිළිපදින අයුරින් තම සැමියා කෙරෙහි ගෞරව සහිත වේ ද, ලජ්ජා සහගත සිත් ඇත්තී ද, සැමියාගේ අදහස් අනුව පවතී ද, පුරුෂයෙකුට මෙබඳු බිරිඳක් වේ නම් ඈ සොහොයුරියට සමාන යැයි ද, ‘භගිනී භාර්යාව’ යැයි ද කියනු ලැබේ.” [5]
“මෙලොව යම් බිරිඳක් බොහෝ කලකින් පැමිණි මිතුරෙකු දැක සතුටුවන මිතුරියක මෙන් සිය සැමියා දැක වඩාත් සතුටට පත්වන්නී ද, කුල සිරිත් අනුගමනය කරන්නී ද, සිල්වත් ද, පතිවත රකී ද, පුරුෂයෙකුට මෙබඳු බිරිඳක් වේ නම් ඈ සිල්වත් මිතුරියකට සමාන යැයි ද, ‘සඛී භාර්යාව’ යැයි ද කියනු ලැබේ.” [6]
“සැමියා විසින් දඬුමුගුරු ගෙන මරණීය තර්ජන කළත් නොකිපෙන, දුෂ්ට සිත් නැති, සැමියාට සමාව දෙන, කෝප නොවෙන, සැමියාගේ අදහස් අනුව පවතින මෙබඳු බිරිඳක් පුරුෂයෙකුට වේ නම්, ඒ බිරිඳ දාසියකට සමාන යැයි ද, ‘දාසී භාර්යාව’ යැයි ද කියනු ලැබේ.” (අ· නි· 7.63) [7]
“සුජාතාවෙනි, පුරුෂයාගේ භාර්යාවන් මේ සත්දෙනා ය. ඒ සත්දෙනා අතුරින් වධක සම භාර්යාවත්, චෝර සම භාර්යාවත්, ආර්ය සම (ස්වාමි) භාර්යාවත් යන තිදෙනා මරණින් මතු නිරයේ උපදිති. ඉතිරි සතරදෙනා නිම්මානරතී දිව්‍ය ලෝකයෙහි උපදිති.”
“මෙලොව යම් භාර්යාවක් ‘වධක’ යැයි ද, ‘චෝරී’ යැයි ද, ‘ආර්ය’ (ස්වාමි) යැයි ද කියනු ලැබේ ද; දුස්සීල වූ, පරුෂ වචන කියන, ආදරය නැති ඔවුහු කය බිඳී මරණින් මතු නිරයට යති.” [8]
“මෙලොව යම් භාර්යාවක් ‘මාතෘ’ භාර්යාව, ‘භගිනී’ භාර්යාව, ‘සඛී’ (මිතුරු) භාර්යාව, ‘දාසී’ භාර්යාව යැයි කියනු ලැබේ ද; සීලයෙහි පිහිටා සිටි බැවින් බොහෝ කලක් සංවර වූ ඒ ස්ත්‍රීහු කය බිඳී මරණින් මතු සුගතියට (ස්වර්ගයට) යති.” (අ· නි· 7.63)
මෙසේ ශාස්තෘන් වහන්සේ විසින් මේ භාර්යාවරුන් සත්දෙනා දක්වනු ලබද්දීම සුජාතාව සෝවාන් ඵලයෙහි පිහිටියාය. “සුජාතෙ, නුඹ මේ සත්දෙනා අතුරින් කවර භාර්යාවක් වන්නෙහි දැ”යි වදාළ කල්හි, “ස්වාමීනි! මම දාස භාර්යාවට සමාන වෙමි”යි පවසා තථාගතයන් වහන්සේට වැඳ සමාව ගත්තාය. මෙසේ ශාස්තෘන් වහන්සේ ගෙදර ලේලිය වූ සුජාතාව එකම අවවාදයෙන් දමනය කොට, දන් වළදා ජේතවනයට වැඩමවා, භික්‍ෂු සංඝයා විසින් වත් දැක්වූ කල්හි ගන්ධකුටියට වැඩම කළ සේක. දම්සභාවෙහි දී භික්‍ෂූහු, “ඇවැත්නි! ශාස්තෘන් වහන්සේ එකම අවවාදයෙන් සුජාතා ලේලිය දමනය කොට සෝවාන් ඵලයෙහි පිහිටවූ සේකැ”යි බුදුරජාණන් වහන්සේගේ ගුණ කථාව මතු කළහ. ශාස්තෘන් වහන්සේ එහි වැඩමවා, “මහණෙනි! මෙහි දැන් කවර කථාවකින් යුතුව සිටියාහු දැ”යි විචාරා, “මෙනම් කථාවෙන්” යැයි කී කල්හි, “මහණෙනි, දැන් පමණක් නොව පෙරත් මා විසින් සුජාතාව එකම අවවාදයෙන් දමනය කරන ලදී” යැයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරන කල්හි, බෝසතාණන් වහන්සේ ඔහුගේ අගබිසවගේ කුසෙහි පිළිසිඳගෙන ඉපිද, වැඩිවියට පත්ව තක්සලා නුවරින් සියලු ශිල්ප ඉගෙන, පියාගේ ඇවෑමෙන් රාජ්‍යයෙහි පිහිටා දැහැමින් රාජ්‍යය කරවූහ. ඔහුගේ මව ක්‍රෝධයෙන් යුක්ත ය; සැඩපරුෂ ය; දෝෂාරෝපණය කරන්නියක හා අපහාස කරන්නියක වූවාය. ඔහු මවට අවවාද දෙනු කැමති වුව ද, “නිමිත්තක් (හේතුවක්) නැතිව කියන්නට සුදුසු නැතැ”යි සිතා ඇයට අනුශාසනා කිරීම පිණිස උපමාවක් සොයමින් සිටියි. ඉක්බිති එක් දිනක් රජතුමා උයනට ගියේය. මව ද පුතා සමඟ ම ගියාය. අතරමග දී කිරළ (කිකී) පක්ෂියෙක් නාද කළේය. බෝසත් පිරිස ඒ හඬ අසා කන් වසාගෙන, “එම්බල! චණ්ඩ වූ පරුෂ වචන ඇත්ත, ශබ්ද නොකරව” යැයි කීහ. බෝසතාණන් වහන්සේ නැටුම් පිරිස පිරිවරා මව සමඟ උයනෙහි හැසිරෙන විට, මල් පිපුණු එක් සල් ගසක සැඟවුණු එක් කෙවිල්ලක් මිහිරි හඬින් නාද කළාය. මහජනයා ඇගේ ස්වර හඬින් මත් වී, ඇඟිලි බැඳගෙන, “මෘදු වචන ඇත්තිය! ප්‍රිය වචන ඇත්තිය! නාද කරව, නාද කරව”යි කියමින් බෙල්ල ඔසවා කන් යොමාගෙන බලමින් සිටියහ.
මහාසත්ත්වයන් වහන්සේ ඒ කාරණා දෙක දැක, “දැන් මවට කරුණු අවබෝධ කර දීමට හැකි වන්නෙමි”යි සිතා, “මෑණියනි, අතරමග දී කිරළාගේ හඬ අසා මහජනයා ‘ශබ්ද නොකරව, ශබ්ද නොකරව’යි කන් වසා ගත්හ. රළු වචන කිසිවෙකුට ප්‍රිය නොවේ” යැයි පවසා මේ ගාථා වදාළ සේක:
“වර්ණයෙන් සම්පූර්ණ වූ, මිහිරි නාද ඇති, දැකුම්කළු වූවෝ ද (පරුෂ වචන ඇත්තාහු නම්) මෙලොව ද පරලොව ද ප්‍රිය නොවෙති; රළු වචන ඇත්තෝ කිසිවෙකුටත් ප්‍රිය නො වෙති.”
“ශරීර වර්ණයෙන් දුර්වර්ණ වූ, ලපවලින් යුත් මේ කළු පැහැති කෙවිලිය, මටසිලිටු (සිනිඳු) වචනය හේතුවෙන් බොහෝ සත්ත්වයන්ට ප්‍රියමනාප වී ඇති අයුරු ඔබ නොදක්නෙහි ද?”
“එබැවින් පුද්ගලයා මටසිලිටු (මිහිරි) වචන ඇත්තෙක් වන්නේ ය. නුවණින් විමසා පමණට කථා කරන්නෙක් වන්නේ ය. උඩඟු නොවන්නේ ය. ඔහුගේ මිහිරි වචනය අර්ථයත් ධර්මයත් ප්‍රකාශ කරන්නේ ය.”
ඒ ගාථාවන්ගේ අර්ථය මෙසේ ය: “මෑණියනි, මේ සත්ත්වයෝ පුවඟු මෙන් ද, ත්‍රස්තවාලු මෙන් ද කළු පැහැයෙන් යුක්ත වුව ද කටහඬෙහි මිහිරි බැවින් ‘මඤ්ජුකා’ නම් වෙති; මනා රූප සම්පත්තියෙන් යුක්ත හෙයින් ‘පියදස්සනා’ නම් වෙති. එසේ වුව ද, යටත් පිරිසෙයින් මව්පියන්ට ද දොස් කීම්, අපහාස කිරීම් ආදී වශයෙන් පවතින්නා වූ රළු වචනයෙන් යුක්ත හෙයින් ‘ඛරවාචා’ නම් වූවාහු, මෙලොව ද පරලොව ද ‘පියා’ (ප්‍රිය) නම් නොවෙති; අතරමග සිටි රළු වචන ඇති කිරළා මෙනි. මටසිලිටු මිහිරි වචනයෙන් යුක්ත, මොළොක් වචන කථා කරන්නෝ විරූපී වුව ද ප්‍රිය වෙති. එහෙයින් මෑණියන්ට මෙය කියමි: ‘නනු පස්සසි ත්වං ඉමං කාළිං’ (ඔබ මේ කළු තැනැත්තිය නොදක්නෙහි ද?) ‘දුබ්බණ්ණං’ (දුර්වර්ණ වූ), ශරීර වර්ණයටත් වඩා කළු වූ ලපවලින් යුක්ත ‘කොකිලං’ (කෙවිලිය), මෙසේ දුර්වර්ණ වුව ද මොළොක් වචනයෙන් බොහෝ දෙනාට ප්‍රිය වූවා ය. මෙසේ රළු වචන ඇති සත්ත්වයා ලෝකයෙහි මව්පියන්ට ද අප්‍රිය වෙයි. එහෙයින් බොහෝ දෙනාට ප්‍රිය බව කැමති පුරුෂයා මටසිලිටු වචන ඇති, මිහිරි මොළොක් වචන ඇති කෙනෙක් විය යුතුය. ප්‍රඥාව නම් වූ මන්ත්‍රයෙන් සීමා කොට කථා කරන හෙයින් ‘මන්තභාණී’ නම් වේ. විසුරුණු බවින් තොර ව ප්‍රමාණයෙන් යුක්ත ව කථා කරන හෙයින් ‘අනුද්ධතො’ නම් වේ. යමෙක් මෙබඳු පාළි අර්ථයක් හා ධර්මයක් ප්‍රකාශ කරයි ද, ‘තස්ස භාසිතං’ (ඔහුගේ වචනය) කරුණු සහිත ව අනුන්ට දොස් නොකියා කථා කරන හෙයින් ‘මධුරං’ (මිහිරි) වෙයි.”
මෙසේ බෝධිසත්ත්වයන් වහන්සේ මේ ගාථා තුනෙන් මවට ධර්මය දේශනා කොට කරුණු අවබෝධ කරවූහ. ඈ එතැන් පටන් ආචාරශීලී වූවාය. බෝධිසත්ත්වයන් වහන්සේ ද මව එකම අවවාදයෙන් දමනය කොට, කම් වූ පරිද්දෙන් මියපරලොව ගිය සේක.
ශාස්තෘන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. “එකල බරණැස් රජුගේ මව මේ සුජාතාව වූවාය. රජු වනාහි මම ම වූයෙමි.”
නවවන වූ සුජාත ජාතක වර්ණනාවයි.