“සබ්බෙහි කිර ඤාතීහි” (සියලු ඤාතීන් විසින්) යන මේ ජාතක ධර්ම දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවන මහා විහාරයෙහි වැඩවාසය කරන සමයෙහි කවුඩු බකමූණු දබරය අරබයා වදාළ සේක. එකල කවුඩෝ දවල් කාලයේ බකමූණන්ව කති. හිරු බැස ගිය තැන් පටන් බකමූණෝ ඒ ඒ තැන්වල නිදන කපුටන්ගේ හිස් කඩා මරා දමති. ඉක්බිති ජේතවනාරාමයේ කෙළවර එක් පන්සලක වසන්නා වූ එක්තරා භික්‍ෂූන් වහන්සේ නමකට අතුගාන අවස්ථාවෙහි ගසින් වැටුණා වූ නැළි හත අටක් පමණ බොහෝ කවුඩු හිස් ඉවත් කරන්නට සිදුවෙයි. හෙතෙම ඒ කරුණ භික්‍ෂූන් වහන්සේලාට සැල කළේය. භික්‍ෂූන් වහන්සේලා දම්සභාවෙහිදී “ඇවැත්නි, අසවල් භික්‍ෂූන් වහන්සේ වසන ස්ථානයේ දිනපතාම මෙපමණක් නම් කවුඩු හිස් ඉවත් කරන්නට සිදුවෙතියි” යනුවෙන් කථාව මතු කළහ. බුදුරජාණන් වහන්සේ එහි වැඩමවා “මහණෙනි, මෙහි කවර කථාවකින් යුතුව සිටියාහුදැයි” විචාළ සේක. භික්‍ෂූහු “මෙම කථාවෙන් යයි” කියා, “ස්වාමීනි! කවදා පටන් කවුඩන්ගේ හා බකමූණන්ගේ ඔවුනොවුන් අතර වෛරය උපන්නේදැයි” විචාළාහුය. බුදුරජාණන් වහන්සේ “ප්‍රථම කල්පයට අයත් කාලයේ පටන් යයි” වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
යටගිය දවස ප්‍රථම කල්පයේ මිනිස්සු රැස් වී මනා රූ සපුවෙන් යුත්, සෞභාග්‍යයෙන් අගතැන්පත්, ආඥා සම්පත්තියෙන් යුත්, සියලු ආකාරයෙන් පිරිපුන් එක් පුරුෂයෙකු කැඳවා රජබවට පත් කළහ. සිව්පාවෝද රැස් වී එක් සිංහයෙකු රජබවට පත් කළහ. මහ මුහුදෙහි මත්ස්‍යයෝ ආනන්ද නම් මත්ස්‍යයෙකු රජබවට පත් කළාහුය. ඉක්බිති කුරුළු සමූහයා හිමාල වන පෙදෙසේ එක් ගල්තලාවක් මත රැස්වී, “මිනිසුන් අතරෙහි රජෙක් සිටියි. එසේම සිව්පාවුන් අතරද මත්ස්‍යයන් අතරද රජවරු සිටිති. අප අතර රජෙක් නම් නැත. නායකයෙකු නොමැතිව වාසය කිරීම නම් නොවටියි. අපටද රජකෙනෙකු ලැබීම වටියි. රජ තනතුරේ තැබිය යුතු එකෙකු ගැන විමසා දැනගනිව්” යයි කීහ. ඔවුහු එවැනි කුරුල්ලෙකු සොයමින් එක් බකමූණෙකුට කැමතිව “මේ තෙමේ අපට රුචි වෙයි” යනුවෙන් කීහ. ඉක්බිති එක් කුරුල්ලෙක් සියල්ලන්ගේ අදහස් ගැනීම පිණිස තුන්වරක් ප්‍රකාශ කළේය. එසේ නම් ප්‍රකාශ කරද්දී දෙවරක් දැනුම්දීම ඉවසා තුන්වන වර කියවද්දී එක් කවුඩෙක් නැගී සිට, “මොහු රජකමට එළඹෙන මේ මොහොතේ මෙබඳු මුහුණක් ඇති කල කිපුණුවිට කෙබඳු වන්නේද? කිපුණු මොහු විසින් බලන ලද අපි රත්වූ කබලක දැමූ තල ඇට මෙන් ඒ ඒ තැනම බිඳෙන්නෙමු. මොහු රජ බවට පත්කිරීමට මගේ රුචියක් නැතැයි” කියා එම කරුණ ප්‍රකාශ කිරීමට,
“සියලු නෑයන් විසින් බකමූණා රජ කරන ලද්දේය. ඉදින් නෑයන් විසින් අවසර දෙන ලද්දෙමි නම් මම වචනයක් කියමි.”
යන පළමු ගාථාව කීය.
එහි අර්ථය නම්: යම් මේ ප්‍රකාශයක් පවතීද, එය අසා කියමි. “සබ්බෙහි කිර” යනු මෙහි රැස්වූ සියලු “ඤාතීහි” (ඤාතීන්) විසින් මේ “කොසියො” (බස්සා) රජු ලෙස “කතො” (කරන ලදි). ඉදින් මම වනාහි නෑයන් විසින් අවසර ලද්දෙම් නම් මෙහි කිය යුතු “එක වාචිකං” (එක් වචනයක්/කිසිවක්) “භණෙය්‍යං” (කියන්නෙමි).
ඉක්බිති ඔහුට අවසර දෙමින්,
“මිත්‍රය, කථා කරව. තොපට අවසර දෙන ලද්දෙහිය. අර්ථය හා ධර්මය (ප්‍රවේණිය) පමණක් කියව. මන්දයත් නුවණත්, තේජසත් ඇති තරුණ පක්ෂීහු තවත් ඇත්තාහ.”
යන දෙවන ගාථාව කීහ.
එහි, “භණ සම්ම අනුඤ්ඤාතො” යනු යහළු කවුඩාණෙනි! අප සියල්ලන් විසින් නුඹ අනුදන්නා ලදි (අපි සියල්ලෝම නුඹට අවසර දුනිමු). යමක් නුඹට කිවයුතු නම් එය කියව. “අත්‍ථං ධම්මඤ්ච කෙවලං” යනු කියද්දී කාරණය ද පරම්පරාවෙන් ආ වචනයද නොඉක්මවා කියව. “පඤ්ඤවන්තො ජුතින්ධරා” යනු නුවණින් යුක්ත වූද ප්‍රඥාලෝකය දරන්නා වූද තරුණ පක්‍ෂීහු ඇත්තේමය.
මෙසේ අවසර ලත් හෙතෙම,
“තොප හැමට යහපතක් වේවා! බකමූණාගේ රජවීම මට රුචි නොවෙයි. නොකිපුණා වූ මොහුගේ මුහුණ බලව. කිපුණු මොහු කුමක් කරන්නේද?”
යන තෙවන ගාථාව කීය.
එහි අර්ථය නම්: “භද්දං” (තොපට යහපතක්ම වේවා!) තුන්වරක් කරන ප්‍රකාශයන් මගින් “උලූකස්ස අභිසෙචනං” (බකමූණාගේ රජවීම) කෙරෙයි. එය මට “න රුච්චති” (රුචි නොවේ). දැන් සතුටු සිත් ඇති “අක්කුද්ධස්ස මුඛං” (නොකිපුණා වූ මොහුගේ මුහුණ) බලව්. “කුද්ධො” (කිපුණා වූ මොහු) වනාහී “කථං කරිස්සති” (කුමක් කරන්නේදැයි) නොදනිමි. “සබ්බථාපි එතං” (හැම අයුරින්ම මෙය) මට රුචි නොවෙයි.
හෙතෙම මෙසේ කියා “මට රුචි නොවෙයි, මට රුචි නොවෙයි” කියමින් කෑ ගසමින්ම අහසට පැන්නේය. බකමූණාද නැගිට ඔහුව ලුහුබැන්දේය. එතැන් පටන් ඔවුහු ඔවුනොවුන් වෛර බැන්දාහුය. කුරුල්ලෝ ස්වර්ණ හංසයා රජබවට පත්කොට ගියාහුය.
බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා චතුරාර්ය සත්‍ය ප්‍රකාශ කොට ජාතකය නිමවා වදාළ සේක. සත්‍යය අවසානයෙහි බොහෝ දෙනා සෝවාන් ආදී ඵලයන්ට පැමිණියාහුය. “එකල රජකමට පත් හංස පෝතකයා වනාහි මම ම වූයෙමි” යි වදාළ සේක.
දසවන උලූක ජාතක වර්ණනාවයි.
දෙවැනි පදුම වර්ගය නිමියේය.
එහි උද්දානය (සාරාංශ ගාථාව) මෙසේය:
- පදුම ජාතකය
- මුදුපාණි ජාතකය
- පලෝභන ජාතකය
- පනාදක ජාතකය
- ඛුරප්ප ජාතකය
- සින්ධව ජාතකය
- කක්කට ජාතකය
- රාමදූසක ජාතකය
- සුජාත ජාතකය
- උලූක ජාතකය
යන ජාතක දසයයි.