“අභිජ්ජමානෙ වාරිස්මිං” යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සමයේ එක් උකටලී වූ (සසුන ගැන කළකිරුණු) භික්‍ෂුවක් අරබයා දේශනා කළ සේක. දම්සභාවට කැඳවාගෙන එනු ලැබූ ඒ භික්‍ෂුව ඇමතූ බුදුරජාණන් වහන්සේ, “සැබෑද මහණ, නුඹ සසුන ගැන කළකිරුණෙහිදැයි” විචාරා, “එසේය ස්වාමීනි”යි කී කල්හි, “මහණ, මේ ස්ත්‍රීහු නම් පෙර පිරිසිදු සත්ත්වයන්ද කෙලෙසූහ”යි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජතුමා දරුවන් නොමැති බැවින් තමන්ගේ ස්ත්‍රීන්ට පුතෙකු ප්‍රාර්ථනා කරන ලෙස කීවේය. ඒ ස්ත්‍රීහු පුතුන් පැතූහ. මෙසේ දිගු කාලයක් ගිය කල්හි බෝසතාණන් වහන්සේ බ්‍රහ්ම ලෝකයෙන් චුත වී අගමෙහෙසියගේ කුසෙහි පිළිසිඳ ගත් සේක. ඒ කුමරුවා උපන් හැටියේම නාවා කිරි පෙවීම පිණිස කිරිමවකට දුන්නාහුය. හෙතෙම කිරි බොමින් හඬන්නට විය. ඉක්බිති කුමරු අන් ස්ත්‍රියකට දුන්නේය. ස්ත්‍රියකගේ අතට ගිය කුමරා නිහඬ නොවීය. ඉක්බිති කුමරු පිරිමි සේවකයෙකුට දුන්හ. ඔහු ගත් පමණින්ම කුමරු නිහඬ විය. එතැන් පටන් පුරුෂයෝම ඔහුව ගෙන හැසිරෙති. කිරි පොවන විට දොවා පොවති. නැතහොත් තිරයක් අතරින් තන පුඩුව කටෙහි තබති. ඒ නිසා ඔහුට ‘අනිත්ථිගන්ධ කුමාරයා’ (ස්ත්‍රී ගන්ධය නොඉවසන කුමාරයා) යැයි නමක් තැබූහ. වැඩෙන්නා වූ ඔහුට පසු කලෙකත් ස්ත්‍රීන් දැකීමට නොහැකි විය. ඒ නිසා රජතුමා ඔහුට වෙන් වෙන්ව හිඳිනා තැන් ආදියද, ධ්‍යාන වැඩීමට සුදුසු ගෙයක්ද කරවීය.
කුමරු සොළොස් හැවිරිදි වියට පත් කල රජතුමා, “මට වෙනත් පුතෙක් නැත. මේ තෙමේ කම් සුව නොවළඳයි. රාජ්‍යයටද කැමති නොවන්නේය. මගේ පුතා ඉතා අපහසුවෙන් ලබා ගත් කෙනෙකි” යයි සිතුවේය. ඉක්බිති නැටුම්, ගැයුම් හා වැයුම්හි දක්‍ෂ, පුරුෂයන්ව වසඟයට ගෙන පොළඹවා ගැනීමට හැකියාව ඇති එක් තරුණ නිළියක් රජු වෙත එළඹ, “දේවයන් වහන්ස! කුමක් සිතන්නාහුදැයි” ඇසුවාය. රජතුමා ඒ කාරණාව කීවේය. “දේවයන් වහන්ස! කමක් නැත, මම ඔහුව පොළඹවා කම් රසය දැනීමට සලස්වන්නෙමි”යි ඈ කීවාය. “ඉදින් මගේ පුත් අනිත්ථිගන්ධ කුමාරයාව පොළඹවා ගන්නට හැකි වන්නෙහි නම් ඔහු රජ වන්නේය. නුඹ අගමෙහෙසිය වන්නෙහිය” යැයි රජු කීවේය. ඈ, “දේවයන් වහන්ස! එය මට බාරයි. නුඹ වහන්සේ ඒ ගැන නොසිතනු මැනව”යි කියා ආරක්ෂක මිනිසුන් කරා එළඹ, “මම අලුයම් කාලයෙහි අවුත් රාජපුත්‍රයා නිදන ධ්‍යානාගාරයෙන් පිටත සිට ගායනා කරන්නෙමි. ඉදින් ඔහු කිපෙයි නම් මට කියව, මම ඉවත්ව යන්නෙමි. ඉදින් අසා සිටියි නම් මා ගැන වර්ණනා කරව”යි කීවාය. ඔවුහු “යහපතැ”යි එය පිළිගත්තාහුය.
ඈ ද අලුයම් කාලයෙහි ඒ ප්‍රදේශයෙහි සිට වීණා හඬින් ගී හඬද, ගී හඬින් වීණා හඬද නොඉක්මවා මිහිරි ස්වරයෙන් ගායනා කළාය. කුමරා එය අසමින්ම නිදා ගත්තේය. දෙවන දවසේද ඊට වඩා ආසන්නයේ සිට ගායනා කරන්නට අණ කළේය. ඊළඟ දවසේ ධ්‍යානාගාරය ඇතුළෙහි සිට ගයන්නට අණ කළේය. පසුදින තමන් ළඟ සිට ගයන්නට අණ කළේය. මෙසේ ක්‍රම ක්‍රමයෙන් තෘෂ්ණාව උපදවා, මෛථුන සේවනයෙහි යෙදී පංචකාමයෙහි රසය දැන, “ස්ත්‍රියක නම් අන් අයට නොදෙන්නෙමි”යි කඩුව ගෙන ඇතුල් වීථියට බැස පුරුෂයින් ලුහුබඳිමින් හැසිරෙන්නට විය. ඉක්බිති රජතුමා කුමාරයා අල්ලවාගෙන, ඒ කුමාරිකාව සමග නගරයෙන් නෙරපා හැරියේය. දෙදෙනාම කැලයට පිවිස, ගඟ පහළට ගොස් එක් පැත්තකින් ගඟත්, එක් පැත්තකින් මුහුදත් ඇති ලෙස ඒ දෙක අතරෙහි අසපුවක් තනාගෙන වාසය කළාහුය. කුමාරිකාව අසපුවේ හිඳ අල මුල් ආදිය උයයි. බෝසතාණන් වහන්සේ වනයෙන් පලාඵල ගෙන එයි.
ඉක්බිති එක් දිනක් කුමරා පලවැල සඳහා ගිය කල්හි, මුහුද මැද දිවයිනක සිටි එක් තාපසයෙක් පිඬු සිඟීම පිණිස අහසින් යන්නේ දුම් පිටවෙනු දැක අසපුව ළඟට බැස්සේය. ඉක්බිති ඈ “බත් ඉදෙන තුරු හිඳගන්නැ”යි ඒ තවුසාට කියා හිඳුවා, ස්ත්‍රී මායම් පෙන්වා පොළඹවාගෙන ලෝකාස්වාද රතියෙහි යෙදී ධ්‍යානය නැති කොට මොහුගේ බ්‍රහ්මචරියාව අතුරුදහන් කළාය. හෙතෙම පියාපත් සිඳින ලද කපුටෙක් මෙන් එතැනින් ඉවත්ව යන්නට නොහැකි වී එදින එහිම සිටියේය. බෝසතාණන් වහන්සේ එනු දැක හෙතෙම වේගයෙන් මුහුද දෙසට පලා ගියේය. ඉක්බිති බෝසතාණන් වහන්සේ, “මොහු මගේ සතුරෙකැ”යි සිතා කඩුව ඔසවාගෙන ඔහුව ලුහුබැන්දේය. තාපසයා අහසට නගින ආකාරයක් දක්වා මුහුදට වැටුණේය. බෝසතාණන් වහන්සේ, “මේ තාපසයා අහසින් එන්නට ඇත. ධ්‍යානය පිරිහී ඇති බැවින් මුහුදට වැටුණේය. දැන් මා විසින් මොහුට පිහිට වීම වටී” යයි සිතා, වෙරළ අසල සිට මෙම ගාථාවන් පැවසූහ.
“වෙනස් නොවන, කම්පා නොවන මේ ජලයෙහි (සයුරෙහි) ජලය ස්පර්ශ නොකොට තෙමේ අහසින් සෘද්ධියෙන්ම අවුත්, ස්ත්‍රිය හා එක්ව මෛථුන සේවනයෙහි යෙදී (ධ්‍යානය පිරිහීමෙන්) මහ මුහුදෙහි ගිලෙන්නෙහිය.”
“මේ ස්ත්‍රීහු කාමයෙන් පුරුෂයන් පොළඹවන්නෝය. මහා මායා ඇත්තෝය. බඹසර නම් වූ උතුම් හැසිරීම විනාශ කොට පුරුෂයන් අපායේ ගිල්වති. මෙය දැන ඇය දුරින්ම දුරු කරන්නේය.”
“මේ ස්ත්‍රීහු කැමැත්තෙන් හෝ ධන හේතුවෙන් හෝ යම් පුරුෂයෙකු ඇසුරු කෙරෙත් ද, තමා සිටි තැන දවන ගින්න සේ තමන්ව සේවනය කළ තැනැත්තාව වහා දවාලති.”
යනුවෙන් මේ ගාථාවන් වදාළහ.
එහි අභිජ්ජමානෙ වාරිස්මිං යනු නොසෙල්වෙන, කම්පා නොවන මේ ජලයෙහි හෙවත් සයුරෙහි, ජලය ස්පර්ශ නොකොට තමා අහසින් සෘද්ධියෙන්ම අවුත් යන්නයි. මිස්සීභාවිත්ථියා යනු ලෝක ධර්ම වශයෙන් හෙවත් මෛථුන සේවනයෙන් ස්ත්‍රීය සමග මිශ්‍ර වීමයි. ආවට්ටනී මහාමායා යනු මේ ස්ත්‍රීහු නම් කාමය නැමති පෙළඹවීමෙන් පුරුෂයින්ව පොළඹවන්නා වූ ද, අනන්ත ස්ත්‍රී මායම්වලින් යුක්ත වූ ද බැවින් ‘මහාමායා’ නම් වෙති. මේ බව මෙසේ වදාරා ඇත:
“ස්ත්‍රීහු මායාවකි. මිරිඟුවකි. ශෝකයකි. රෝගයකි. උවදුරකි. කර්කශ බන්ධනයකි. මර උගුලකි. ගුහාවක් බඳුය. ඔවුන් කෙරෙහි යම් පුරුෂයෙක් විශ්වාසය තබයි ද, හෙතෙම මිනිසුන් අතර අධම පුරුෂයෙකි.” (ජාතක 2.21.118)
යනුවෙන් වදාරන ලදී.
බ්‍රහ්මචරියවිකොපනා යනු ශ්‍රේෂ්ඨ හැසිරීම වූ, මෛථුනයෙන් වැළකීම නම් වූ බ්‍රහ්මචර්යාව කඩ කරන්නීය යන්නයි. සීදන්ති යනු මේ ස්ත්‍රීහු සෘෂිවරුන්ගේ බඹසර කඩ කිරීමෙන් ඔවුන්ව අපායවල ගිල්වති. ඉතිරිය පෙර ක්‍රමයෙන්ම යොදා ගත යුතුය.
බෝසතාණන් වහන්සේගේ මේ වචන අසා තාපසයා මුහුද මැද සිටිමින්ම නැසුණු ධ්‍යානය නැවත උපදවාගෙන අහසින්ම තමන්ගේ වාසස්ථානයට ගියේය. බෝසතාණන් වහන්සේ, “මෙතරම් බර වූ ශරීරයක් ඇති මේ තාපසයා ඉඹුල් පුළුන් රොදක් මෙන් අහසින් ගියේය. මා විසින්ද මොහු මෙන් ධ්‍යාන උපදවා අහසින් හැසිරීම වටී” යැයි සිතූහ. ඔහු අසපුවට ගොස් ඒ ස්ත්‍රිය මිනිස් වාසයට ගෙන ගොස්, “නුඹ කැමති තැනකට යන්නැ”යි කියා යවා, වනයට පිවිස සිත්කළු භූමි භාගයක අසපුවක් තනාගෙන තවුස් පැවිද්දෙන් පැවිදිව, කසිණ භාවනා කොට අභිඥා සමාපත්ති උපදවාගෙන ජීවිතාන්තයේ බ්‍රහ්ම ලෝකයෙහි උපන් සේක.
බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා සත්‍ය ප්‍රකාශ කොට ජාතක කථාව නිමා කළ සේක. සත්‍ය දේශනාව කෙළවර ඒ කළකිරුණු භික්‍ෂුව සෝවාන් ඵලයෙහි පිහිටියේය. “එකල අනිත්ථිගන්ධ කුමාරයා වූයේ මම ම” යයි වදාළ සේක.
තුන්වන වූ චූළපලොභන ජාතක වර්ණනාව නිමියේය.