8. මන්ධාතු ජාතක වර්ණනාව (258)

star_outline

“යාවතා චන්දිමසූරියා” (සඳ හිරු පවතින තාක්) යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සමයෙහි පැවිදි දිවිය ගැන කලකිරුණු එක් භික්ෂුවක් අරබයා වදාළ සේක. ඒ භික්ෂුව සැවැත්නුවර පිඬු පිණිස හැසිරෙන්නේ මනා අලංකාරයෙන් සැරසුණු ස්ත්‍රියක දැක කලකිරුණේය. ඉක්බිති භික්ෂූන් වහන්සේලා ඒ භික්ෂුව දම් සභාවට කැඳවාගෙන විත් “ස්වාමීනි, මේ භික්ෂුව කලකිරුණේ යැයි” බුදුරජාණන් වහන්සේට දැක්වූහ. බුදුරජාණන් වහන්සේ ද “මහණ, ඔබ කලකිරුණ බව ඇත්ත දැයි” විචාරා “ඇත්තයි ස්වාමීනියි” යි කී කල්හි, “මහණ, නුඹ ගිහිගෙයි වාසය කරමින් කවදා නම් තෘෂ්ණාව පුරවන්නට හැකිවන්නෙහි ද? කාම තණ්හාව නම් වූ මෙය මහා සාගරය මෙන් පිරවීම දුෂ්කරය. පුරාණ රජවරු දෙදහසක් කුඩා දිවයින්වලින් පිරිවරන ලද සතර මහාද්වීපයන්හි සක්විති රජකම් කර, මිනිස් සිරුරින්ම චාතුර්මහාරාජික දෙව්ලොව රජය කරවා, තව්තිසා දෙව්ලොව ශක්‍රයින් තිස්හය දෙනෙකුගේ ආයු කාලයක් දිව්‍ය රාජ්‍යය කරවා ද තමන්ගේ කාම තෘෂ්ණාව පුරවන්නට නොහැකිවම කලුරිය කළාහුය. එසේ තිබියදී නුඹ වනාහි මේ තෘෂ්ණාව කවදා පුරවන්නට හැකිවන්නෙහි දැයි” වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.

යටගිය දවස පළමු කල්පයෙහි මහා සම්මත නම් රජ කෙනෙක් විය.

  1. ඔහුගේ පුතා රෝජ නම් විය.
  2. ඔහුගේ පුතා වරරෝජ නම් විය.
  3. ඔහුගේ පුතා කල්‍යාණ නම් විය.
  4. ඔහුගේ පුතා වරකල්‍යාණ විය.
  5. ඔහුගේ පුතා උපෝසථ නම් විය.
  6. ඔහුගේ පුතා මන්ධාතු නම් විය.

හෙතෙම සත්රුවන්වලින් ද, සතර සෘද්ධිපාදවලින් ද යුක්ත වූයේ සක්විති රජකම කරවීය. ඔහු වම් අත අකුලාගෙන දකුණතින් අත්පොළසන් දුන් කල්හි අහසින් දිව්‍ය වර්ෂාවක් මෙන් දණක් පමණ උසට සත්රුවන් වර්ෂාවක් වසී. මොහු මෙබඳු ආශ්චර්යවත් මිනිසෙක් විය. ඔහු අසූහාර දහසක් අවුරුදු කුමාර ක්‍රීඩා කළේය; අසූහාරදහසක් අවුරුදු යුවරජකම කළේය; අසූහාරදහසක් අවුරුදු සක්විති රජකම කළේය. ඔහුගේ ආයුෂ අසංඛ්‍යයක් පමණ විය.

ඔහු එක් දවසක් කාම තෘෂ්ණාව පුරවන්නට නොහැකි ව කලකිරුණු ආකාරයක් දැක්වීය. “දේවයන් වහන්ස, කුමක් නිසා කලකිරුණේ දැයි” ඇමතිවරු විචාළහ. “මගේ පිං බලය දෙස බලන කල්හි මේ රාජ්‍යය කුමක් කරන්නේ ද? කිනම් තැනක් රමණීය වේ දැයි” රජු ඇසීය. “මහරජතුමනි! දෙව්ලොව රමණීය යැයි” ඇමතිවරු කීහ. රජතුමා චක්‍රරත්නය ඉස පිරිවර සමග චාතුර්මහාරාජික දිව්‍යලෝකයට ගියේය. ඉක්බිති සතර වරම් දෙවි මහරජවරු දිව්‍ය මල් හා සුවඳ අතැති දේව සමූහයා පිරිවරාගෙන ඔහුට පෙරගමන් කොට, රජතුමා කැඳවාගෙන ගොස් චාතුර්මහාරාජික දෙව්ලොව රාජ්‍යය දුන්හ. සිය පිරිස පිරිවරාගෙන එහි රජ කරන ඔහුට දිගු කලක් ගතවිය.

හෙතෙම එහිදී ද තෘෂ්ණාව පුරවන්නට නොහැකි ව කලකිරුණු ස්වභාවයක් දැක්වීය. සතරවරම් දෙවි මහරජවරු “මහරජතුමනි, කුමක් නිසා කලකිරුණේ දැයි” විචාළහ. “මේ දේව ලෝකයට වඩා කිනම් තැනක් සිත්කලු දැයි” රජු ඇසීය. “දේවයන් වහන්ස! අපි වනාහි අනුන්ට උපස්ථාන කරන සේවකයන් හා සමානය. තව්තිසා දෙව්ලොව සිත්කළු තැනකියි” ඔවුහු කීහ. මන්ධාතු රජතුමා චක්‍රරත්නය ඉස තමන්ගේ පිරිස පිරිවරාගෙන තව්තිසාව බලා පිටත් විය. ඉක්බිති සක්දෙව් රජ දිවමල් හා සුවඳ අතැතිව දේව සමූහයා පිරිවරා ඔහුට පෙරගමන් කොට, රජතුමාගේ අතින් අල්ලාගෙන “මහරජතුමනි, මෙහි එනු මැනවියි” කීවේය. මන්ධාතු රජතුමා දේව සමූහයා පිරිවරාගෙන යන කල්හි පරිනායක රත්නය (රජුගේ වැඩිමහල් පුත්‍රයා) චක්‍රරත්නය ද රැගෙන පිරිස සමග මිනිස් ලොවට බැස තමන්ගේ නුවරටම පිවිසියේය. ශක්‍රයා මන්ධාතු රජු තව්තිසා භවනයට පමුණුවා දෙවියන් කොටස් දෙකකට බෙදා තමන්ගේ රාජ්‍යය මැදින් බෙදා අඩක් දුන්නේය. එතැන් පටන් රජවරු දෙදෙනා රාජ්‍යය කළහ. මෙසේ කල්යත්ම ශක්‍රයා තුන්කෝටි හැටලක්ෂයක් අවුරුදු ආයුෂ ගෙවා ඉන් චුත විය. වෙනත් ශක්‍රයෙක් උපන්නේය. ඔහු ද දේව රාජ්‍යය කොට ආයුෂ ගෙවීමෙන් චුතවිය. මේ ක්‍රමයෙන් ශක්‍ර දෙවිවරු තිස්හය දෙනෙක් චුත වූහ. මන්ධාතු රජු වනාහි මිනිස් වෙසින්ම දෙව්ලොව රජය කරවයි.

මෙසේ කල් ගතවන විට ඔහුට වඩ වඩාත් කාම තණ්හාව උපන්නේය. “මට මේ අර්ධ රාජ්‍යයෙන් ඇති වැඩ කුමක් ද? ශක්‍රයා මරා එකම රාජ්‍යයක් කරන්නේ යැයි” සිතුවේය. ශක්‍රයා මැරීමට නම් නොහැකිය. මේ තෘෂ්ණාව වනාහි විපතට මුලයි. ඒ නිසා මොහුගේ ආයුෂ පිරිහුණේය; ජරාවට පත් විය. මනුෂ්‍ය සිරුරක් දෙව්ලොව දී මරණයට පත් නොවේ. ඉක්බිති ඔහු දෙව්ලොවින් බැස උයනට පතිත විය. උයන්පල්ලෝ රජතුමා ආ බව රජගෙදරට දැන්වූහ. රජගෙදරින් පැමිණ උයනෙහිම යහනක් පැනවූහ. රජතුමා නැගිටීමට නොහැකිව සයනය කළේය. ඇමතිවරු, “දේවයන් වහන්ස! ඔබවහන්සේගේ අභාවයෙන් පසු අන් අයට කියන්නට යම් පණිවිඩයක් ඇද්දැයි” විචාළහ. “තොපි මා මළ පසු ‘මන්ධාතු මහරජ දෙදහසක් කුඩා දිවයින්වලින් පිරිවැරූ සතර මහාද්වීපවල සක්විති රජකම කොට, දිගුකලක් චාතුර්මහාරාජිකයේ රජකම් කරවා, ශක්‍රයන් තිස්හය දෙනෙකුගේ ආයු කාලයක් දෙව්ලොව රජකම් කරවා, තෘෂ්ණාව පුරවා නොගෙනම මිය ගියේය’ යන මේ පණිවිඩය මහජනයාට කියන්නැයි” කීය. රජතුමා මෙසේ කියා කම් වූ පරිද්දෙන් මිය ගියේය.

බුදුරජාණන් වහන්සේ මේ අතීත කථාව ගෙනහැර දක්වා අභිසම්බුද්ධත්වයට පත්ව (මෙම කාරණය අවබෝධ කරවමින්) මෙම ගාථාවන් වදාළ සේක.

“සඳ හිරු දෙදෙනා යම් තාක් තැනක මහමෙර පැදකුණු කරත් ද, යම් තාක් දිශාවන් බබුළුවත් ද, යම් පමණ බබුළුවන ස්වභාවය ඇත්තාහු ද, ඒ තාක් තන්හි පොළොව ඇසුරු කොට වෙසෙන යම් පමණ මනුෂ්‍ය ප්‍රාණීහු වෙත් ද, ඒ සියලු දෙනා මන්ධාතු රජුගේ දාසයෝ ය.”

“කහවණු වැස්සක් වැස්සුව ද කාමයන්හි තෘප්තියක් නොලැබේ. ‘කාමයෝ අල්ප ආශ්වාද ඇත්තාහ; දුකට හේතු වන්නාහ’ යැයි මෙසේ නුවණැත්තා දැනගත යුතුය.”

“හෙතෙම දිව්‍ය වූ කාම සම්පතෙහි ද ඇල්මක් ඇති කර නොගනී. සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවකයා තෘෂ්ණාව ක්ෂය කිරීම නම් වූ නිවනෙහි ඇලුනේ වෙයි.”

එහි යාවතා යනු සීමාව දැක්වීමේ වචනයකි. පරිහරන්ති යනු යම් පමණ සීමාවකින් මහමෙර වටා ගමන් කරත් ද යන්නයි. දිසා භන්ති යනු දස දිසාවල බබළත් ද යන්නයි. විරොචනා යනු ආලෝක කිරීම නිසා බබළන ස්වභාවය ඇත්තේ ද යන්නයි. සබ්බෙව දාසා මන්ධාතු යෙ පාණා පථවි නිස්සිතා යනු එපමණ ප්‍රදේශයක පොළොව ආශ්‍රිත යම් පමණ ප්‍රාණීහු වෙත් ද, ජනපදවාසී මිනිස්සු වෙත් ද, ඒ අපි සියල්ලෝම මන්ධාතු රජුගේ දාසයෝ වෙමු. ‘මන්ධාතු රජතුමා අපගේ ස්වාමියා’ යැයි මෙසේ එළඹුණු හෙයින් නිවහල් අය වුව ද දාසයෝම වෙති.

න කහාපණ වස්සෙන යනු ඒ දාසයන් වූ මිනිසුන්ට අනුග්‍රහ පිණිස මන්ධාතු රජතුමා අත්පොළසන් ගසා යම් සත්රුවන් වැස්සක් වස්වයි ද, එය මෙහි ‘කහවණු වැස්ස’ යයි කියන ලදී. තිත්ති කාමෙසු යනු ඒ කහවණු වැස්සෙන් ද, වස්තුකාම ක්ලේශ කාමයන්හි තෘප්තියක් නම් නැත. මෙසේ ඒ තෘෂ්ණාව පිරවීම අපහසුයි. අප්පස්සාදා දුඛා කාමා යනු සිහිනයක් හා සමාන බැවින් කාමයෝ අල්ප ආශ්වාද ඇත්තාහ; ස්වල්ප සැප ඇත්තාහ. මෙහි වනාහි දුකම බහුලය. මෙය දුක්ඛක්ඛන්ධ සූත්‍ර ක්‍රමයෙන් පැහැදිලි කළ යුතුයි. ඉති විඤ්ඤාය යනු මෙසේ දැනගෙන යන්නයි.

දිබ්බෙසු යනු දෙවියන් විසින් පරිභෝග කරනු ලබන රූපාදියෙහි ය. රතිං සො යනු විදර්ශනා වඩන ඒ භික්ෂුව දිව්‍ය කාමයන් භුක්ති විඳින්නැයි ආරාධනා ලැබුවත්, සමිද්ධි තෙරුන් වහන්සේ මෙන් ඒ කාමයන්හි නොඇලෙයි. තණ්හක්ඛය රතො යනු නිවනෙහි ඇලුණේ ය. නිවනට පැමිණ තෘෂ්ණාව ක්ෂය වේ. ඒ නිසා එය (නිවන) ‘තණ්හක්ඛය’ යයි කියනු ලැබේ. එහි මනා කොට ඇලුණේ වෙයි. සම්මාසම්බුද්ධසාවකො යනු බුදුරජාණන් වහන්සේගේ ධර්ම ශ්‍රවණයෙන් උපන්, බොහෝ ඇසු පිරූ තැන් ඇති යෝගාවචර පුද්ගලයා ය.

මෙසේ බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා චතුරාර්ය සත්‍යය දේශනා කොට ජාතක කථාව නිමවා වදාළ සේක. සත්‍ය දේශනාව අවසානයෙහි කලකිරුණු භික්ෂුව සෝවාන් ඵලයෙහි පිහිටියේය. අන්‍ය බොහෝ අය ද සෝවාන් ඵල ආදියට පත් වූහ. “එකල මන්ධාතු මහරජ වූයේ මම ම යැයි” වදාළ සේක.

අටවන මන්ධාතු ජාතක වර්ණනාවයි.