4. කුණ්ඩකකුච්ඡි සින්ධව ජාතකය (254)

star_outline

“භුත්වා තිණපරිඝාසං” යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් සැරියුත් මහතෙරුන් වහන්සේ අරබයා වදාළ සේක. එක් සමයෙක්හි සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර වස් වැස චාරිකාවෙහි හැසිර ආපසු වැඩිය කල්හි, මිනිස්සු “ආගන්තුක සත්කාර කරන්නෙමු” යි බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සඟනට දන් දෙති. විහාරයේ එක්තරා ධර්ම ඝෝෂක (බත් උදෙසන) භික්‍ෂුවක් තැබූහ. හෙතෙම යම් යම් අය අවුත් යම් යම් ප්‍රමාණයක භික්‍ෂු පිරිසක් කැමති වෙත් ද (ඉල්ලත් ද), ඒ ඒ අයට භික්‍ෂූන් තෝරා ලබාදෙයි.

ඉක්බිති එක්තරා දුප්පත් මහලු ස්ත්‍රියක් එක් නමකට පමණක් දානය සකස් කොට, ඒ ඒ මිනිසුන්ට භික්‍ෂූන් තෝරා ලබා දුන් කල්හි, දවල් වී ධර්ම ඝෝෂක භික්‍ෂුව වෙතට ගොස් “මට එක භික්‍ෂුවක් දෙන්නැ” යි කියා ඉල්ලුවා ය. “මා විසින් සියලු භික්‍ෂූහු තෝරා දෙන ලදහ. සැරියුත් මහතෙරුන් වහන්සේ පමණක් විහාරයේ සිටිති. ඔබතුමිය උන්වහන්සේට දානය දෙව” යි හෙතෙම කීවේ ය. ඈ “යහපති” යි සතුටු සිත් ඇත්තී ජේතවනාරාමයේ දොරටුවෙහි සිට, තෙරුන් වහන්සේ වැඩම කළ අවස්ථාවේ වැඳ, අතින් පාත්‍රය ගෙන ගෙට වැඩමවා වඩා හිඳවූවා ය. “එක් මහලු තැනැත්තියක විසින් දම්සෙනෙවි සැරියුත් මහතෙරුන් වහන්සේ තමන්ගේ නිවසෙහි වඩා හිඳවූ සේකැ” යි බොහෝ සැදැහැති කුලකයෝ ඇසූහ. ඔවුන් අතර පසේනදී කොසොල් මහරජතුමා ඒ පුවත අසා, “මගේ ආර්යයන් වහන්සේට වළඳවන විට මේ සළුව ඇඳගෙන, මේ කහවණු වියදම් කොට තෙරුන් වහන්සේට වළඳවන්නැ” යි පවසා ඒ ස්ත්‍රියට සළුවක් ද, කහවණු දහසක් ද සමඟ දන් පිසින බඳුන් ද යැවී ය. රජතුමා මෙන් ම අනේපිඬු සිටුතුමා ද, සුළු අනේපිඬු සිටුතුමා ද, විශාඛා මහෝපාසිකාව ද අවශ්‍ය දෑ යැවූහ. සෙසු කුලවල අය ද කහවණු සියය, දෙසීය ආදී වශයෙන් තම තමන්ට හැකි පමණින් කහවණු යැවූහ. මෙසේ එක් දිනකින් ම ඒ මහලු ස්ත්‍රිය කහවණු ලක්‍ෂයක් පමණ ලැබුවා ය. තෙරුන් වහන්සේ ඇය විසින් දෙන ලද කැඳ පමණක් වළඳා, ඇය විසින් සකස් කළ කැවිලි වර්ග ද පිසූ දානය ද (පිළිකුල් නොකොට) වළඳා, අනුමෝදනා පවත්වා, ඒ මහලු තැනැත්තිය සෝවාන් ඵලයෙහි පිහිටුවා විහාරයට ම වැඩි සේක.

දම්සභාවෙහි දී භික්‍ෂූන් වහන්සේලා තෙරුන් වහන්සේ පිළිබඳ ව, “ඇවැත්නි! දම්සෙනෙවි සැරියුත් මහතෙරුන් වහන්සේ මහලු ගෘහපතිනිය දුගී භාවයෙන් මුදා ගත් සේක; පිහිටක් වූ සේක. ඇය විසින් පිළිගන්වනු ලැබූ ආහාරපාන පිළිකුල් නොකොට වැළඳූ සේක” යනුවෙන් ගුණ කථාවක් මතු කළහ. බුදුරජාණන් වහන්සේ එහි වැඩමවා, “මහණෙනි! මා එන්නට පෙර මෙහි කවර කථාවකින් යුතුව සිටියාහු දැ?” යි විචාරා, “මෙ නම් කථාවෙන් ය” යි කී කල්හි, “මහණෙනි! සැරියුත් තෙමේ මේ මහලු ස්ත්‍රියට පිහිට වූයේ දැන් පමණක් නොවේ. ඇය විසින් දෙන ලද ආහාර පිළිකුල් නොකර වැළඳුවේ ද දැන් පමණක් නොවේ. පෙරත් වැළඳුවේ ය” යි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.

අතීතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ උත්තරාපථයෙහි අශ්ව වෙළෙඳ කුලයෙහි උපන් සේක. උත්තරාපථ ජනපදවාසී පන්සියයක් අශ්ව වෙළෙන්දෝ බරණැසට අසුන් ගෙනවුත් විකුණති. තවත් අශ්ව වෙළෙන්දෙක් ද පන්සියයක් අසුන් ගෙනවුත් බරණැසට යන මගට පිළිපන්නේ ය. අතරමග බරණැසට නුදුරෙහි එක් නියම්ගමක් ඇත. එහි පෙර මහා සම්පත් තිබූ සිටුවරයෙක් සිටියේ ය. ඔහුට විශාල නිවසක් විය. ඒ කුලය පිළිවෙළින් පරිහානියට ගියේ ය. එක් මහලු තැනැත්තියක් පමණක් ඉතිරි වූවා ය. ඈ ඒ මාලිගාවේ වාසය කරයි. ඉක්බිති ඒ අශ්ව වෙළෙන්දා ඒ නියම්ගමට පැමිණ “කුලිය දෙන්නෙමි” යි කියා ඒ ගෙයි නවාතැන් ගෙන අසුන් එකත්පසෙක නතර කරවී ය. එදින ම ඔහුගේ එක් ආජානීය වෙළඹකට පැටවෙකු ලැබුණේ ය. ඔහු දෙතුන් දවසක් වාසය කොට, අශ්වයන්ට බල කවා, “රජු දකින්නෙමි” යි අසුන් රැගෙන පිටත් විය. ඉක්බිති මහලු තැනැත්තිය ඔහුට “ගෙවල් කුලිය දෙන්නැ” යි කී කල්හි, “හොඳයි, අම්මේ දෙමි” යි කියා, “දරුව! මට කුලිය දෙන විට මේ අස් පැටවාගේ වටිනාකම කුලියෙන් අඩු කරගෙන (අස් පැටවා) දෙව” යි කීවා ය. වෙළෙන්දා එසේ කොට ගියේ ය. ඒ තැනැත්තිය ඒ අස් පැටවා කෙරෙහි පුත් සෙනෙහස උපදවාගෙන බත් ද, කැඳ ද, ඉතිරි වන බත් දන්කුඩ ද, (අන් සතුන් කා) ඉතිරි වන ඉඳුල් තණකොළ ද දී ඌ පෝෂණය කළා ය.

ඉක්බිති පසු කාලෙක බෝසතාණන් වහන්සේ අසුන් පන්සියයක් රැගෙන එමින් ඒ ගෙයි නවාතැන් ගත්හ. (බත්) කුඩු කන්නා වූ ඒ සෛන්ධව පැටියා සිටි තැන ගඳ ආඝ්‍රාණය කොට එක අශ්වයෙකුටවත් ගෙදරට ඇතුල් වීමට නොහැකි විය. බෝසතාණන් වහන්සේ මහලු තැනැත්තියගෙන් “මෑණියනි! මේ ගෙයි අශ්වයෙකු සිටිත් දැ?” යි ඇසූහ. “දරුව! අනෙක් අශ්වයෙක් නම් නැත. මම වනාහි පුත් තනතුරෙහි තබා එක් අස් පොව්වෙක් පෝෂණය කරමි. ඌ මෙහි ඇත” යි ඈ කීවා ය. “මෑණියනි! ඌ දැන් කොහි ද?” “දරුව! ඌ කෑමට ගියේ ය.” “මෑණියනි! කොයි වේලාවෙහි එන්නේ ද?” “දරුව! සවස එන්නේ ය” යි කීවා ය. බෝසතාණන් වහන්සේ උගේ පැමිණීම බලාපොරොත්තු වෙමින් අසුන් පිටත රඳවාගෙන ම හුන්හ. සෛන්ධව පෝතකයා ද ඇවිද කල් ඇති ව ආවේ ය. බෝසතාණන් වහන්සේ (හාල්) කුඩු ආදිය කුසෙහි ඇති සෛන්ධව පෝතකයා දැක, දේහ ලක්‍ෂණ සලකා බලා, “මේ සෛන්ධවයා ඉතා අනර්ඝ ය. මැහැල්ලියට මුදල් දී ගෙනයාමට වටී” යයි සිතූහ. සෛන්ධවයා ද ගෙට පිවිස තමන් වසන තැන ම සිටියේ ය. ඒ අවස්ථාවෙහි ඒ (අනෙක්) අශ්වයන්ට ද ගෙට පිවිසෙන්නට හැකි විය.

බෝසතාණන් වහන්සේ දෙතුන් දිනක් වාසය කොට අසුන් කවා පොවා යන්නේ, “මෑණියනි, මේ අශ්ව පෝතකයා මුදල් ගෙන මට දෙව” යි කීහ. “දරුව! කුමක් කියහි ද? දරුවන් විකුණන අයත් ඇද්දැ?” යි කීවා ය. “අම්මේ, නුඹ මේ අස් පොව්වාට කුමක් පොවා පෝෂණය කරන්නෙහි ද?” “බත් කැඳ ද, දන්කුඩ ද, ඉඳුල් තණකොළ ද කවා කුඩු කැඳ ද පොවා පෝෂණය කරමි, දරුව” යි කීවා ය. “මෑණියනි! මම මූ ලබාගෙන රස බොජුන් අනුභව කරවන්නෙමි. සිටින ස්ථානයේ රෙදි වියනක් බැඳ ඇතිරිල්ලක් මත තබන්නෙමි” යි කීහ. “දරුව, එසේ ඇති කල්හි මගේ පුතා සැප අනුභව කෙරේවා! ඌ රැගෙන යව” යි කීවා ය. ඉක්බිති බෝසතාණන් වහන්සේ අස්පොව්වාගේ කකුල් හතරට ද, වලිගයට ද, කටට ද එකකට දහස බැගින් කහවණු හයදහසක් බැඳි පියල්ල තබා, මහලු ස්ත්‍රියට අලුත් වස්ත්‍රයක් අන්දවා සරසා සෛන්ධව පෝතකයා ඉදිරියේ තැබූහ. අශ්ව පෝතකයා ඇස් හැර මව දෙස බලා කඳුළු හෙළුවේ ය. මහලු තැනැත්තිය ද උගේ පිට පිරිමැද, “මම මා විසින් පෝෂණය සඳහා ලැබිය යුතු මුදල ලැබුවෙමි. දරුව! නුඹ යව” යි කීවා ය. එකල්හි ඌ වෙළෙන්දා සමග ගියේ ය.

බෝසතාණන් වහන්සේ දෙවන දවසේ අශ්ව පෝතකයාට රස බොජුන් සකසා, “පළමුව මූ විමසන්නෙමි; මූ තමාගේ බලය දන්නේ ද නැතිනම් නොදන්නේ දැ” යි සිතා, ඔරුවකට කුඩු කැඳ දමා දෙවූහ. අශ්ව පෝතකයා ද “මම මේ බොජුන් අනුභව නොකරන්නෙමි” යි ඒ කැඳ බොන්නට නොකැමති විය. බෝසතාණන් වහන්සේ ඌ විමසීම් වශයෙන් පළමු ගාථාව කීහ.

“භුත්වා තිණපරිඝාසං, භුත්වා ආචාමකුණ්ඩකං;
එතං තෙ භොජනං ආසි, කස්මා දානි න භුඤ්ජසී”ති.

“අශ්වය, ගවයන් කා ඉතිරි වූ තණ ද, කැඳ බත් ද කා වැඩුණ හෙයින් මෙය තට භෝජනය විය. දැන් එය කුමක් හෙයින් නොකන්නෙහි ද?”

යනුවෙන් පළමු ගාථාව වදාළ සේක.

එහි, භුත්වා තිණපරිඝාසං යනු නුඹ පෙර මහලු ස්ත්‍රිය විසින් දෙන ලද ඒ ඒ සතුන් විසින් කා ඉතිරි වූ ‘තිණ පරිඝාස’ නම් වූ ඉතිරි වූ තණ අනුභව කොට වැඩුණෙහිය. භුත්වා ආචාමකුණ්ඩකං යනු මෙහි කැඳ බත් ‘ආචාම’ යයි කියනු ලැබේ. කුණ්ඩකං යනු සහල් කුඩු ආදී වූ කුණ්ඩකමය. මෙය අනුභව කොට වැඩුනේ ය යන්න දක්වයි. එතං තෙ යනු මේවා පෙර ඔබේ ආහාරය විය. කස්මා දානි න භුඤ්ජසී යනු මා විසිනුදු තට එය ම දෙන ලදි. නුඹ මෙය කුමක් නිසා දැන් අනුභව නොකරන්නෙහි ද?

ඒ අසා සෛන්ධව පෝතකයා අනිත් ගාථා දෙක කීවේ ය:

“යත්ථ පොසං න ජානන්ති, ජාතියා විනයෙන වා;
බහු තත්ථ මහාබ්රහ්මෙ, අපි ආචාමකුණ්ඩකං.

“බ්‍රාහ්මණය! යම් තැනක බොහෝ දෙනා උපතින් උසස් බව හා ආචාර ශීලයෙන් යුතු බව නොදනිත් ද, එහි දී කැඳ වතුර ද කුඩු ද (මම) පරිභෝග කරමි.

“ත්වඤ්ච ඛො මං පජානාසි, යාදිසායං හයුත්තමො;
ජානන්තො ජානමාගම්ම, න තෙ භක්ඛාමි කුණ්ඩක”න්ති.

“ඔබ වනාහි මා ශ්‍රේෂ්ඨ අශ්වයෙකු යැයි හොඳින් දන්නෙහිය. (මාගේ අගය) දන්නෙකු වන ඔබ වෙත පැමිණ, (තමාගේ තත්වය) දන්නෙක් වන මම ඔබේ කුඩු නොකමි.”

යනුවෙන් අනිත් ගාථා දෙක කීවේ ය.

එහි, යත්ථ යනු යම් තැනක ය. පොසං යනු සත්වයා ය. ජාතියා විනයෙන වා යනු ‘උසස් කුලයක උපන්නේ ද නැද්ද, යහපත් පැවැත්මෙන් යුක්ත ද නැද්දැ’ යි මෙසේ නොදනිත්. මහාබ්රහ්මෙ යනු ගරු ඇමතීමෙන් අමතමින් කීවකි. යාදිසායං යනු ‘යම්බඳු වූ මම’. තමන් සඳහා කියයි. ජානන්තො ජානමාගම්ම යනු මම තමන්ගේ බලය දන්නේ වෙමි; (එය) දන්නා වූ ම ඔබ වෙතට පැමිණ, නුඹ සමීපයේ කුඩු කැඳ නොබුදින්නෙමි. හයදහසක් දී ඔබ මා ලබා ගත්තේ කුඩු කැඳ අනුභව කරවනු කැමැත්තෙන් නොවේ.

ඒ අසා බෝසතාණන් වහන්සේ “නුඹ විමසීම පිණිස එය මා විසින් කරන ලදි. කිපෙන්න එපා” යනුවෙන් අස්වසා, යහපත් ආහාර අනුභව කරවා, රජ මිදුලට ගොස් එක් පසෙක අශ්වයන් පන්සියය නවතා, එක් පසෙක විසිතුරු තිරවලින් වට කොට, යට බුමුතුරුණු අතුරා, උඩට රෙදි වියන් බැඳ සෛන්ධව පෝතකයා නතර කළේ ය.

රජතුමා අවුත් අසුන් දෙස බලමින් “මේ අශ්වයා කුමක් නිසා වෙන ම තැබුවේ දැ?” යි විමසී ය. “මහාරාජ, මේ සෛන්ධව අශ්වයෙකි. මොහු (අනෙක්) අසුන් අය බද්දෙන් මුදාහරින්නේ ය” යි කී විට, රජු “පින්වත! මේ සෛන්ධවයා ශෝභන දැ?” යි විචාළේ ය. බෝසතාණන් වහන්සේ “එසේ ය, මහරජතුමනි” යි කියා “එසේ නම් මූගේ වේගය බලමි” යි (රජු) කී කල්හි, ඒ අශ්වයා සරසා පිටට නැග “බලව මහරජතුමනි” කියා මිනිසුන් ඉවත් කරවා රජ මිදුලෙහි අශ්වයා දිවවී ය. මුළු රජ මිදුල අතරක් නැති ව අශ්ව පේළියකින් වට කළාක් මෙන් විය. නැවත බෝසතාණන් වහන්සේ “මහරජතුමනි, සින්ධව පැටියාගේ වේගය බලන්නැ” යි කියා අශ්වයා මුදා හැරියේ ය. එක් පුරුෂයෙක්වත් ඌ නුදුටුවේ ය. නැවත රතු රෙදි පටක් බඩෙහි ඔතා මුදා හළේ ය. (එවිට) රතු රෙදි පට ම පමණක් දුටුවාහු ය. ඉක්බිති අශ්වයා ඇතුල් නුවර එක් උයන් පොකුණක දිය මතුපිට මුදා හැරී ය. එහි දිය මතුපිට දුවන ඔහුගේ කුර අගවත් නොතෙමුණේ ය. නැවත වාරයක් නෙළුම් කොළ මත දිවවූයේ, එක් කොළයක්වත් ජලයෙහි නොගිලුනේ ය. මෙසේ අශ්වයාගේ ජව සම්පත්තිය දක්වා අසුපිටින් බැස, අත්පොඩි ගසා අල්ල ඉදිරිපත් කළේ ය. අශ්වයා පැමිණ පා හතර එකතු කොට අල්ලෙහි සිටියේ ය. ඉක්බිති මහබෝසතාණන් වහන්සේ රජතුමාට, “මහරජතුමනි, මේ අශ්ව පෝතකයා සියලු ආකාරයෙන් වේගය දක්වද්දී මුහුදු කෙළවර වුව ද (දුවන්නට ඉඩ) ප්‍රමාණවත් නොවේ” යයි කීහ. රජතුමා සතුටු වී මහා බෝධිසත්ත්වයන් වහන්සේට රාජ්‍යයෙන් අඩක් දුන්නේ ය. සෛන්ධව පෝතකයා ද අභිෂේක කොට මංගල අශ්වයා කළේ ය.

ඒ අශ්වයා රජුට ප්‍රියමනාප විය. ඔහුගේ සත්කාර ද බොහෝ විය. ඒ අශ්වයා වසන තැන ද සරසා පිළියෙල කරන ලද රජුගේ වාසභවනය මෙන් විය. සුවඳ සතර වර්ගයෙන් බිම ආලේප කළහ. සුවඳ මල් දම් එල්ලූහ. උඩට රන් තරු ඔබ්බවන ලද රෙදි වියනක් විය. වටේට විසිතුරු තිරවලින් වට කරන ලද්දේ විය. නිතර සුවඳ තෙල් පහන් දැල්වෙයි. ඌ මලපහ කරන තැනටත් රන් හැළියක් තැබූහ. නිතර ම රජෙකුට සුදුසු භෝජනය ම අනුභව කළේ ය. මේ අශ්වයා පැමිණි කාලයේ පටන් මුළු දඹදිව ම රාජ්‍යය රජු අතට පත් වූවාක් මෙන් විය. රජතුමා බෝසතාණන් වහන්සේගේ අවවාදයෙහි පිහිටා දානාදී පිං කොට දෙව්ලොව උපන්නේ ය.

බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා, චතුරාර්ය සත්‍ය ප්‍රකාශ කොට ජාතක කථාව ගළපා නිමවා වදාළ සේක. සත්‍ය දේශනාවගේ කෙළවර බොහෝ අය සෝවාන්, සකදාගාමි, අනාගාමී, අරහත් බවට පත් වූහ. “එකල මේ මහලු ස්ත්‍රිය ම මෙදා ද මහලු ස්ත්‍රිය වූවා ය. සෛන්ධව අසු වූයේ සැරියුත් ය. රජ වූයේ ආනන්ද ය. අශ්ව වෙළෙන්දා වනාහි මම ම වූවෙමි” යි වදාළ සේක.

කුණ්ඩකකුච්ඡි සින්ධව ජාතක වර්ණනාව සිව්වැනි යි.