“මමන්නපාණං” යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ආළවි නුවර අග්ගාළව චෛත්‍ය ස්ථානයෙහි වැඩවාසය කරන සමයෙහි කුටිකාර ශික්‍ෂාපදය අරබයා වදාළ සේක. ආළවි නුවර වාසී භික්‍ෂූහු ඉල්ලීම් බහුලව, විජ්ඤප්ති බහුලව කුටි කරවමින් “පුරුෂයකු දෙන්න, අත්වැඩ දෙන්න” ආදිය කියමින් වාසය කළහ. ඉල්ලීමෙන් පීඩාවට පත්වූ මිනිස්සු භික්‍ෂූන් දැක බියපත් වූහ, තැති ගත්හ, පලාගියහ. ඉක්බිති ආයුෂ්මත් මහා කාශ්‍යප තෙරුන් වහන්සේ ආළවි නුවරට එළඹ පිඬු පිණිස වැඩි සේක. මිනිස්සු තෙරුන් වහන්සේද දැක එසේම පිළිපැද්දාහුය. උන්වහන්සේ දන් වළඳා හවස්වරුවෙහි භික්‍ෂූන් අමතා “ඇවැත්නි, පෙර නම් ආළවි නුවර පිණ්ඩපාතය සුලබයි. දැන් පිණ්ඩපාතය දුලබ වූයේ ඇයි දැයි” විචාරා, ඒ කාරණය අසා බුදුරජාණන් වහන්සේ ආළවි නුවරට වැඩමවා අග්ගාළව චෛත්‍යස්ථානයේ වැඩවාසය කරද්දී භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ මෙම කරුණ දැන්වූහ. බුදුරජාණන් වහන්සේ මේ කරුණෙහිලා භික්‍ෂු සංඝයා රැස්කරවා ආළවි නුවර වැසි භික්‍ෂූන්ගෙන් “සැබෑද මහණෙනි, නුඹලා ඉල්ලීම් බහුලව කුටි කරව්දැයි” විමසූහ. “සැබෑව ස්වාමීනි”යි කී කල්හි ඒ භික්‍ෂූන්ට ගරහා “මහණෙනි, මේ ඉල්ලීම නම් සත්රුවන් පිරි නාග භවනෙහි වසන නාගයන්ට පවා අමනාප දෙයකි. මිනිසුන් ගැන කියනුම කවරේද? යම් කෙනෙකුගෙන් එක් කහවණුවක් උපයාගන්නා අයට ගලකින් මස් උපුටාගන්නා කාලයක් මෙන් වේ” යයි වදාරා අතීත කථාව ගෙනහැර පෑ සේක.
යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරද්දී බෝසතාණන් වහන්සේ මහත් සම්පත් ඇති බමුණු කුලයක උපන් සේක. ඔහු දුවපැන ඇවිදින කාලයේ තවත් පින් ඇති සත්ත්වයෙක් ඔහුගේ මවගේ කුසෙහි පිළිසිඳ ගත්තේය. ඒ දෙදෙනාම වැඩිවියට පත්ව මව්පියන්ගේ අභාවයෙන් සංවේගයට පත් සිත් ඇතිව සෘෂි පැවිද්දෙන් පැවිදිව ගංතෙර පන්සලක් සාදාගෙන විසූහ. ඔවුන්ගෙන් වැඩිමහල් තවුසාගේ පන්සල ගඟ ඉහළ විය. බාලයාගේ පන්සල ගඟ පහළ විය. ඉක්බිති එක් දිනක් මණිකණ්ඨ නම් නා රජු නාග භවනයෙන් නික්මී තරුණ මිනිස් වෙසින් ගංතෙර හැසිරෙන්නේ කණිටු සහෝදරයාගේ අසපුවට ගොස් වැඳ එකත්පසෙක හුන්නේය. ඔවුහු ඔවුනොවුන් සතුටු සාමීචි කතාකොට හිතවත් වූහ. වෙන්ව විසීමට නොහැකි වූහ. මණිකණ්ඨ නා රජු නිතර නිතර කණිටු තවුසා සමීපයට අවුත් කථාබස් කරමින් සිට යන්නට සූදානම් වු අවස්ථාවේ තවුසාට ඇති ස්නේහයෙන් මිනිස් සිරුර අතහැර දරණ වැලින් තාපසයා වෙළාගනිමින් වැළඳගෙන, තාපසයාගේ හිස මත මහත් වූ පෙණය තබාගෙන ටික වේලාවක් හිඳ, ස්නේහය සංසිඳුවා තාපසයාගේ සිරුරෙන් දරණවැල මුදාහැර, තාපසයාට වැඳ සිය භවනටම යයි. තාපසයා නාගයාට බියෙන් කෘෂ වූයේ, රළු වූයේ, දුර්වර්ණ වූයේ, සුදුමැලි වී පඬුවන් පැහැ ඇතිවූයේ, නහර ඉල්පුණු සිරුර ඇතිවූයේ විය.
ඔහු දිනක් සහෝදරයා සමීපයට ගියේය. එවිට වැඩිහිටි සහෝදරයා “සොයුර, ඔබ මෙසේ කෘෂ වී, රළු වී, දුර්වර්ණ වී, පඬුවන් පැහැ ඇතිවී, නහර ඉල්පී ගියේ කුමක් නිසාදැ”යි විචාළේය. කණිටු තවුසා ඔහුට ඒ පුවත කියා සිටි විට, “සොයුර! කිම ඔබ ඒ නාගරාජයාගේ පැමිණීම කැමතිද, අකමැතිදැ”යි විචාළ විට “අකමැතිය”යි කීවේය. “ඒ නාගරාජයා නුඹ ළඟට එන්නේ කුමන පළඳනාවක් පැළඳගෙනදැ”යි විමසූ කල්හි “මැණිකක්” යැයි කීවේය. “එසේනම් නුඹ ඒ නා රජු නුඹ සමීපයට පැමිණ හිඳගන්නට කලින්ම ‘මට මැණික දෙන්නැ’යි ඉල්ලව. එවිට ඒ නාගයා නුඹව දරණවැලින් වෙළා නොගෙනම යන්නේය. දෙවන දවසේ අසපු දොරටුව ළඟ සිට ඌ එද්දීම ඉල්ලන්න. තුන්වන දවසේ ගංතෙර සිට දියෙන් මතුවන විටම එය ඉල්ලන්න. මෙසේ කළ විට නාගයා නුඹ සමීපයට නැවත නොඑන්නේය” යයි කීවේය.
තාපසයා “යහපතැ”යි පිළිගෙන තමන්ගේ අසපුවට ගොස්, පසු දින නා රජු පැමිණ සිටි විටම “තොපගේ ඔය පළඳනා මැණික මට දෙව”යි ඉල්ලීය. නා රජ හිඳ නොගෙනම පලාගියේය. ඉක්බිති දෙවන දවසේ අසපු දොරටුවෙහි සිට ඌ එද්දීම, “ඊයේත් මට මැණික් රත්නය නොදුන්නේය. අදවත් ලැබුණොත් හොඳය”යි කීවේය. නාගයා අසපුවට නොපිවිසම පලා ගියේය. තුන්වන දවසේ ඌ දියෙන් මතුවෙද්දීම “අද මම ඉල්ලන තුන්වන දවසයි. ඉල්ලන්නා හට මේ මැණික් රත්නය දැන්වත් දෙව”යි කීවේය. නා රජු දියෙහි සිටම තාපසයා ප්‍රතික්‍ෂේප කරමින් මේ ගාථා දෙක වදාළේය:
“මේ මාණික්‍ය රත්නය හේතුවෙන් මට උදාර වූ බොහෝ ආහාරපාන පහළ වේ. එබැවින් තොපට එය නොදෙමි. ඔබ පමණ ඉක්මවා ඉල්ලන්නෙහිය. එසේ හෙයින් තොපගේ අසපුවටද යළි නොඑන්නෙමි.
තෙල් ගලෙහි ගා මුවහත් කළ කඩුවක් ගත් තරුණයෙකු මෙන්, මේ මැණික් ගල ඉල්ලමින් තොපි මා තැති ගැන්වූහ. ඔබ අධිකව ඉල්ලන්නෙහිය. තොපට එය නොදෙමි. තොපගේ අසපුවටද යළි නොඑන්නෙමි.”
එහි අර්ථය මෙසේය:
- මමන්නපානං: මගේ කැඳ බත් ආදී දිව්‍ය බොජුන් ද අෂ්ටපාන භේදය ඇති දිව්‍ය පානයන් ද වේ.
- විපුලං: බොහෝ වූ.
- උළාරං: ශ්‍රේෂ්ඨ වූ, ප්‍රණීත වූ.
- තං තෙ: ඒ මැණික නුඹට.
- අතියාචකොසි: කාලයද ප්‍රමාණයද ඉක්මවා අදට තුන් දවසක් මට ප්‍රිය මනාප මැණික් රත්නය ඉල්ලමින්, ප්‍රමාණය ඉක්මවූ යාචකයෙක් වෙහි.
- න චාපි තෙ: මැණික නොදෙනු පමණක් නොව නුඹේ අසපුවටත් නොඑන්නෙමි.
- සුසූ යථා: යම්සේ යෞවනයෙක් හෝ තරුණ මිනිසෙක් වේ ද,
- සක්ඛරධොතපාණී: ගලෙහි මුවහත් කළ අත් ඇති හෙවත් තෙල් ගලෙහි මුවහත් කළ කඩුව අතින් ගත්.
- තාසෙසිමං සෙලං යාචමානො: මේ මැණික ඉල්ලමින් නුඹ, රනින් කළ මිටක් ඇති කඩුව කොපුවෙන් ගෙන ඔසවා ‘නුඹේ හිස ගසාදමමි’යි කියන තරුණයකු මෙන් මා තැති ගැන්වූවෙහි.
මෙසේ කියා ඒ නා රජ දියෙහි ගිලී තමන්ගේ නාග භවනටම ගොස් නැවත නොපැමිණියේය. ඉක්බිති ඒ තාපසයා ඒ දැකුම්කලු නා රජු නොදැකීමෙන් වඩාත් කෘෂ විය, රූක්‍ෂ විය, දුර්වර්ණ විය, පඬුවන් පැහැ විය, ඉල්පුනු නහර ඇත්තේ විය. ඉක්බිති දෙටු තවුසා “කණිටු තවුසාගේ තොරතුරු දැනගන්නෙමි”යි ඔහු සමීපයට අවුත්, බොහෝ සෙයින් පාණ්ඩුරෝගී වූ ඔහු දැක, “පින්වත, නුඹ කුමක් නිසා වඩාත්ම පාණ්ඩු රෝගියෙක් වූයෙහිදැ”යි විමසුවේය. “ඒ දැකුම්කලු නා රජු නොදැකීමෙන් ය”යි කී කල්හි, “මේ තාපසයා නා රජුගෙන් තොරව විසීමට නොහැකිය”යි සලකා තුන්වන ගාථාව වදාළේය:
“යමෙකුට යමක් ප්‍රිය යැයි දන්නේ ද, එය නොඉල්ලන්නේය. අධිකව ඉල්ලීමෙන් ද්වේෂය ඇතිවේ. බමුණා විසින් මැණික අයදින ලද නා රජු, එතැන් පටන් නොදැක්මටම ගියේය.”
එහි අර්ථය මෙසේය:
- න තං යාචෙ: ඒ භාණ්ඩය නොඉල්ලන්නේය.
- යස්ස පියං ජිගීසෙ: යම් භාණ්ඩයක් යම් පුද්ගලයෙකුට ප්‍රිය යැයි දන්නේ නම් (එය නොඉල්ලන්නේය).
- දෙස්සො හොති: අප්‍රිය වේ.
- අතියාචනාය: ප්‍රමාණය ඉක්මවා උතුම් භාණ්ඩයක් ඉල්ලමින් කරන ඒ අධික ඉල්ලීමෙන්.
- අදස්සනංයෙව තදජ්ඣගමා: එතැන් පටන් නොදැක්මටම ගියේය.
ඔහුට මෙසේ කියා “මෙතැන් පටන් ශෝක නොකරන්නැ”යි අස්වසා දෙටු සොයුරා තමන්ගේ අසපුවටම ගියේය. ඉක්බිති පසුකලෙක ඒ සහෝදරයෝ දෙදෙනාම අභිඥා සහ සමාපත්ති උපදවා බ්‍රහ්ම ලෝකයේ උපන්නාහුය.
බුදුරජාණන් වහන්සේ, “මහණෙනි! මෙසේ සත්රුවන් වලින් පිරුණු නා ලොව වසන නාගයන්ට පවා ඉල්ලීම ප්‍රියමනාප නොවේ. මිනිසුන් ගැන කියනුම කවරේදැ”යි මේ දම් දෙසුම ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. “එකල කණිටු තවුසා නම් ආනන්දය. දෙටු තවුසා නම් මම ම වූයෙමි”යි වදාළ සේක.
තුන්වන වූ මණිකණ්ඨ ජාතක වර්ණනාවයි.