2. තිලමුට්ඨි ජාතක වර්ණනාව (252)

star_outline

“අජ්ජාපි මෙ තං මනසි” (අදත් ඒ දේ මාගේ සිතේ ඇත) යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් එක්තරා කිපෙනසුලු භික්ෂුවක් අරබයා වදාළ සේක. එක්තරා භික්ෂුවක් කෝපය බහුලව සිටියේය. හෙතෙම සිත් තැවුල් බහුල වූයේ, ස්වල්ප මාත්‍රයක් කී පමණින් කිපෙයි, ගැටෙයි. කෝපය ද ද්වේශය ද නොසතුට ද පළකරයි. එක් දවසක් දම්සභාවෙහිදී භික්ෂූහු “ඇවැත්නි! අසවල් භික්ෂුව කිපෙනසුලුය, බලවත් සිත් තැවුල් ඇත්තේය, උදුනට දැමූ ලුණු මෙන් ‘තට තට’ යන ශබ්ද ඇතිව පිපිරෙමින් හැසිරෙයි. ක්‍රෝධ නොකරන මෙබඳු බුද්ධ ශාසනයක පැවිදිව කෝපය මාත්‍රයක්වත් මැඩපවත්වා ගැනීමට නොහැකි වී” යැයි කථාවක් මතුකළහ. බුදුරජාණන් වහන්සේ ඒ කතාව අසා එක් භික්ෂුවක් යවා ඒ (කෝප වන) භික්ෂුව ගෙන්වාගෙන, “සැබෑද මහණ? ඔබ ක්‍රෝධ කරන්නේදැයි” විචාරා, “සැබෑය, ස්වාමීනි” යැයි කී කල්හි, “මහණෙනි! මේ භික්ෂුව ක්‍රෝධයෙන් යුක්ත වූයේ දැන් පමණක් නොව පෙරත් ක්‍රෝධයෙන් යුක්ත වූයේ යැයි” වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.

අතීතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරන කල්හි ඔහුගේ පුත් බ්‍රහ්මදත්ත කුමාරයා නම් විය. පුරාණ රජවරු තමන්ගේ පුතුන් “මෙසේ මොවුන්ගේ මානය හා දර්පය නසන ලද්දේ වී, සීතල හා උෂ්ණය ඉවසන සුලු, ලෝක චාරිත්‍ර දන්නා අය වන්නෝ ය” යි සිතා, තමන්ගේ නුවර දිසාපාමොක් ඇදුරුතුමා සිටිද්දීම ශිල්ප ඉගෙනීම පිණිස දුරු රටකට යවති. එබැවින් ඒ රජතුමා ද සොළොස් වයස් ගතවූ පුත්‍රයා කැඳවා, තනි පටක් ඇති වහන් සඟලක් ද, කොළ කුඩයක් ද, කහවණු දහසක් ද දී, “දරුව! තක්සලා නුවරට ගොස් ශිල්ප ඉගෙන ගනු” යයි කියා යැවීය. කුමරා “යහපතැ” යි කියා මව්පියන් වැඳ නික්මී, පිළිවෙලින් තක්සලා නුවරට පැමිණ, ඇදුරුතුමාගේ නිවස විචාරා, (එහි යන විට) ඇදුරුතුමා මානවකයන්ට ශිල්ප උගන්වා අවසන් වී නැගිට ගෙදර දොරටුව ළඟ සක්මන් කරමින් සිටිනු දැක, ගුරුතුමා සිටින තැන දී ම පාවහන් ගළවා, කුඩය ඉවත් කොට, ගුරුතුමාට වැඳ සිටියේය. ඇදුරුතුමා කුමාරයාගේ විඩාවට පත් ස්වභාවය දැන ආගන්තුක සත්කාර කරවීය. කුමාරයා ආහාර අනුභව කොට මදක් විවේක ගෙන ගුරුතුමා වෙත එළඹ වැඳ සිටියේය. “දරුව! කොහි සිට ආවෙහිදැ” යි ඇසූ විට, “බරණැස සිට යැ” යි කීය. “කාගේ පුතෙක්දැ” යි ඇසූ විට, “බරණැස් රජුගේ පුතා යැ” යි කීය. “කුමක් සඳහා ආවෙහිදැ” යි ඇසූ විට, “ශිල්ප ඉගෙනීම පිණිස යැ” යි කීවේය. “නුඹ ගුරු පඬුරු ගෙනෙන ලද ද? නැතිනම් ධර්ම අන්තේවාසිකයෙකු (ගුරුවරයාට වත්පිළිවෙත් කරමින් ඉගෙනගන්නා ශිෂ්‍යයෙක්) වීමට කැමතිදැ” යි ඇසීය. හෙතෙම “මා විසින් ගුරු පඬුරු ගෙනෙන ලදැ” යි කියා, ගුරුතුමාගේ පාමුල දහසක් බැඳි මල්ල තබා වැන්දේය.

ධර්ම අන්තේවාසිකයෝ (වත්පිළිවෙත් කරමින් ඉගෙන ගන්නා අය) දිවා කාලයෙහි ගුරුතුමාගේ වැඩපල කොට රාත්‍රී කාලයේ ඉගෙන ගනිත්. ගුරු පඬුරු දුන් අය ගෙදර දෙටු පුත්‍රයන් මෙන් වී ශිල්ප ඉගෙනීම පමණක් කරති. එබැවින් ඒ ගුරුතුමා ද සැහැල්ලු සුබ නැකතකින් කුමරාට ශිල්ප ඉගැන්වීම ඇරඹීය. කුමාරයා ශිල්ප උගනිමින් එක් දිනක් ගුරුතුමා සමඟ නෑමට ගියේය. එකල්හි එක් මහලු ස්ත්‍රියක් තල සෝදා සුදු කොට අතුරා රකිමින් සිටියාය. කුමාරයා සුදු තල දැක කනු කැමැත්තේ වී, එක් තල මිටක් ගෙන කෑවේය. මහලු ස්ත්‍රිය “මේ ආසාව වැඩි කෙනෙකැ” යි සිතා කිසිවක් නොකියා නිහඬ වූවාය. ඔහු දෙවන දවසේ ද ඒ වේලාවේ එසේම කළේය; ස්ත්‍රිය ඔහුට (එදාත්) කිසිවක් නොකීවාය. ඔහු තුන්වන දිනයෙහි ද එසේම කළේය. එදා මහලු ස්ත්‍රිය “දිසාපාමොක් ඇදුරුතුමා තමන්ගේ අතවැස්සන් ලවා මා සතු දේ පැහැර ගන්වන්නේ යැ” යි දෙඅත් ඔසවා හඬා වැටුණාය. ඇදුරුතුමා නැවතී “කිමෙක්ද මෑණියනි?” යි විචාළේය. “ස්වාමීනි! ඔබ වහන්සේගේ අතවැසියා මා විසින් සකස් කළ සුදු තලවලින් අද එක් මිටක් කෑවේය; ඊයේ එක් මිටක් කෑවේය; පෙරේදා එක් මිටක් කෑවේය. මෙසේ කමින් මොහු මා සතු තල සියල්ල නසන්නේ යැ” යි කීවාය. “මෑණියනි! නොහඬන්න. මම නුඹට මුදල් දෙවන්නෙමි” යි (ගුරුතුමා) කීය. “ස්වාමීනි! මට මුදල්වලින් වැඩක් නැත. යම් සේ වනාහි මේ කුමාරයා නැවත මෙසේ නොකරයි ද, එසේ මොහු හික්මවන්නැ” යි කීවාය. ඇදුරුතුමා “එසේ නම් බලන්න මෑණියනි” යි මානවකයන් දෙදෙනෙකු ලවා ඒ කුමාරයා දෙඅතින් අල්ලවාගෙන, උණ පතුරක් ගෙන “නැවත මෙවැනි දේ නොකරව” යි කියා තුන් වරක් පිටට පහර දුන්නේය. කුමාරයා ගුරුතුමා කෙරෙහි කිපී, ඇස් රතු කරගෙන, දෙපාවල සිට හිස් මුදුන දක්වා බැලුවේය. ඔහු කිපී එසේ බැලූ බව ඇදුරුතුමා දැනගත්තේය. කුමාරයා ශිල්ප නිමවා, “යම් කලක මම රජ වෙම් ද, එදාට මොහු මරවන්නෙමි” යි ගුරුතුමා කළ දඬුවම හිතෙහි තබාගෙන (වෛර බැඳ), යන අවස්ථාවෙහි ගුරුතුමාට වැඳ, “ආචාර්යයෙනි, යම් දිනක මම බරණැස් නුවර රජකමට පත් වෙම් ද, එකල ඔබ වහන්සේ කැඳවාගෙන යාමට කෙනෙකු එවන්නෙමි. එකල්හි ඔබ වහන්සේ එනු මැනවැ” යි කියා සෙනෙහසින් යුතු කෙනෙකු මෙන් ප්‍රතිඥා ගෙන ගියේය.

හෙතෙම බරණැසට පැමිණ මව්පියන් වැඳ ශිල්ප දැක්වීය. රජතුමා “මම ජීවත්ව සිටියදීම මාගේ පුතු දකින ලදිමි; ජීවත්ව සිටියදීම මොහුගේ රාජ්‍යශ්‍රීය බලන්නෙමි” යි පුතු රාජ්‍යයෙහි පිහිටුවීය. හෙතෙම රජ සැප විඳිමින්ම, ගුරුවරයා විසින් කළ දෝෂය (පහරදීම) සිහි කර, උපන් කෝපයෙන් “මොහු මරවන්නෙමි” යි සිතා කැඳවාගෙන ඒමට ඇදුරුතුමා වෙත දූතයෙකු යැවීය. ගුරුතුමා “තරුණ කාලයේ දී මොහුට කරුණු අවබෝධ කරවන්නට නොහැකි වන්නේ යැ” යි නොගොස්, ඒ රජුගේ මධ්‍යම වයස් කාලයේ දී “දැන් මොහුට කරුණු අවබෝධ කරවන්නට හැකි වන්නෙමි” යි සිතා ගොස්, රජගෙදර දොරටුවෙහි සිට “තක්සලා නුවර ඇදුරුතුමා පැමිණියේ යැ” යි දන්වා යැවීය. රජතුමා සතුටුව බමුණා (ඇදුරුතුමා) කැඳවා, ඔහු තමන් සමීපයට පැමිණි බව දුටු විටම කෝපය උපදවා, ඇස් රතු කරගෙන, ඇමතියන් අමතා, “එම්බල! අදත් මගේ ඇදුරුතුමා විසින් පහර දුන් තැන රිදෙයි. ඇදුරුතුමා නළලින් මරණය රැගෙන ‘මැරෙන්නෙමි’ යි ආවේය. අද මොහුට දිවි නැතැ” යි කියා පළමු ගාථා දෙක කීවේය:

“එම්බල බ්‍රාහ්මණ කායික බාහුවෙන් මා අල්ලාගෙන එදා ඔබ තල මිටක් නිසා මට යම් ඒ ලාටු පහරක් ගැසුවෙහි ද, අදත් ඒ කාරණය මාගේ සිතේ පවතී.”

“බ්‍රාහ්මණය, ඔබ මෙහි පැමිණියේ යම් හෙයකින් ද (ඒ ඔබව මරා දමන හෙයිනි), එනිසා ඔබ ජීවිතය කෙරෙහි ඇලීමක් නැත්තේ යයි (සිතමි). යම් හෙයකින් ඔබ එදා මාගේ අත් දෙකෙන් අල්ලාගෙන තෙවරක් (වේවැල්) පහර දුන්නෙහිය.”

එහි යං මං බාහාය මං යනු පද දෙකෙහිම ද්විතීයා විභක්ති වචනයයි. (එහි අර්ථය නම්) අල්ලවාගෙන තැලීමේ අපේක්ෂාවෙන්, ඔබ යම් බඳු වූ මට තල මිටක කාරණයකින් තැලුවෙහි ද? තලන්නේ ද මාගේ දෙඅත් අල්ලවාගෙන තැලුවේය. ඒ තැලීම අදත් මාගේ සිතේ තිබේ; යනු එහි අර්ථයයි. නනු ජීවිතෙ න රමසී යනු ‘නුඹ තම ජීවිතය කෙරෙහි ඇලීමක් නැත්තෙහිය’ යි හඟිමි. යෙනාසි බ්‍රාහ්මණාගතො යනු ‘බමුණ, යම් හෙයකින් මෙහි මගේ සමීපයට ආවෙහි ද, එහෙයිනි’. යං මං බාහා ගහෙත්වාන යනු ‘යම් බඳු වූ මගේ දෑත් අල්ලාගෙන’ යන අර්ථයි. තික්ඛත්තුං අනුතාළයී යනු ‘තුන් වරක් උණ පතුරෙන් තැලුවෙහිය. දැන් අද ඒ දඬුවමෙහි විපාකය විඳුව’ යි මරණයෙන් තර්ජනය කරමින් මෙසේ කීය.

රජු එසේ මරණ තර්ජන කරමින් කියනු අසා ඇදුරුතුමා තෙවන ගාථාව කීවේය:

“යම් ආර්ය පුද්ගලයෙක් (නොමනා වැඩ) කරන අනාර්ය තැනැත්තාට දඬුවම් දී, ඒ දඬුවමින් ඔහු (පාපයෙන්) වළක්වයි ද, ඒ දඬුවම (ඔහු) හික්මවනු පිණිසය; එය වෛර පිණිස නොවේ යැයි පණ්ඩිතයෝ දනිති.”

එහි අරියො යනු සුන්දර යන්නට පර්යාය වචනයකි. ඒ ආර්යයා වනාහි සතර ආකාරයකි. එනම්: ආචාර අරිය (හැසිරීමෙන් ආර්ය වූ), දස්සන අරිය (දර්ශනීයත්වයෙන් ආර්ය වූ), ලිංග අරිය (වේශයෙන් ආර්ය වූ) හා පටිවේධ අරිය (අවබෝධයෙන් ආර්ය වූ) යනුවෙනි. එහි, සුන්දර පැවැත්මෙහි සිටින මිනිසෙක් හෝ වේවා, තිරිසනෙක් හෝ වේවා ඔහු ‘ආචාර අරිය’ නම් වේ. මේ බව මෙසේ ද කියන ලදි:

“වක්කංග පක්ෂිය! යම් හෙයකින් ඔබ වැඩිහිටියන් පුදහි ද, එහෙයින් ඔබ ආර්ය වතක් පුරන්නෙහිය. ඔබේ ඒ සැමියා (මේ දැලෙන්) මුදවමි. දෙදෙනාම කැමති පරිදි සැපසේ යන්න.”

රූපයෙන් ද, ඉරියව් පැවැත්මෙන් ද, සිතේ සතුට ඇති කරන ගතියෙන් ද, මනා පෙනුමෙන් ද යුක්ත වූයේ ‘දස්සන අරිය’ නම් වේ. මේ බව මෙසේ ද කියන ලදි:

“පැහැදුණු ඇස් ඇති ඔබ ආර්ය පෙනුමක් ඇත්තෙහිය. ඔබ උසස් කුලයකින් පැවිදි වූවෙකැයි සලකමි. නුවණ ඇති ඔබ ධනය හා භෝග අත්හැර කෙසේ නම් ගිහි ගෙයින් නික්ම පැවිදි වූවෙහි ද?”

ඇඳීම්, පෙරවීම් වශයෙන් පැවිදි වේශය (ලිංගය) ගෙන ශ්‍රමණයෙකු සමාන වී හැසිරෙන දුස්සීලයා වුව ද ‘ලිංග අරිය’ නම් වේ. ඒ සඳහා මෙය කියන ලදි:

“යමෙක් යහපත් වෘත ඇතියවුන්ගේ වෙස් ගෙන (එය) ආවරණයක් කර ගනියි ද, පිරිස් මැදට පනින සුලු වූයේ ද, නොමනා පිළිවෙතින් කුල දූෂණය කරන්නේ ද, කාය වාග් මනස් සංවරය නැත්තේ ද, කළ පව් සැඟවීම් සංඛ්‍යාත මායා ඇත්තේ ද, සීල සංයමයෙන් තොර වූයේ ද, හිස් වදන් ඇත්තේ ද, ව්‍යාජයෙන් (ප්‍රතිරූපකයක් ලෙස) හැසිරෙන්නේ ද, හෙතෙම මාර්ග දූෂකයා වේ.”

බුදුවරයන් වහන්සේලා වනාහි ‘(පටිවේධ) අරිය’ නම් වෙති. එහෙයින් “බුදු, පසේබුදු, බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා ආර්යයෝ යයි කියනු ලැබෙත්” යනුවෙන් කියන ලදි. ඒ ආර්යයන් සතර දෙනා අතුරින් මේ ජාතක කථාවෙහි දී ‘ආචාර ආර්යය’ අදහස් කරනු ලැබේ.

එහි අනරියං යනු දුසිල්, පහත් කරුණු ය. කුබ්බානං යනු ද එම අර්ථයම ඇති පදයයි; එනම් අනාර්ය, පහත්, ලාමක, පස්පව්වලට අයත් ක්‍රියා කරන පුද්ගලයාය. යො යනු ක්ෂත්‍රිය ආදීන් අතුරෙන් යම් කිසිවෙක්. දණ්ඩෙන යනු දඬු ආදී පහරදීමට ගන්නා යම් කිසිවකින්, “නැවත මෙබන්දක් නොකරව” යි කියමින් පහර දෙමින්. නිසෙධති යනු වරදින් වළක්වයි. සාසනං තං න තං වෙරං යනු “මහරජතුමනි! ඒ නොකළ යුතු දේ කරන දූ පුතුන්ට හෝ අතවැස්සන්ට (ශිෂ්‍යයන්ට) හෝ මෙසේ පහර දී වැළැක්වීම නම් මේ ලෝකයෙහි අවවාදයකි (ශාසනයකි); වෛර කිරීමක් නොවේ. ඉති නං පණ්ඩිතා විදූ යනු මෙසේ මෙය නුවණ ඇති අය දනිත්. ඒ නිසා මහරජතුමනි! නුඹ ද මෙසේ දැනගන්න. මෙබඳු තැනක වෛර කිරීම නුසුදුසුයි. ඉතින් මහරජතුමනි! මා විසින් ඔබ මෙසේ හික්මවනු නොලැබුවේ නම්, කල් යත්ම කැවුම් කොකිස් ආදිය ද පලාපල ආදිය ද සොරකම් කරමින් පටන් ගෙන, සොරකම්වල දැඩිව ඇලී, පිළිවෙලින් ගෙවල් බිඳීම්, මංපැහැරීම්, ගම් පැහැරීම් ආදිය කොට, ‘රාජ අපරාධකාරී සොරෙකැ’ යි කියා හොර බඩු සමඟම අල්ලාගෙන රජතුමා ඉදිරියට පැමිණවූ විට ‘යව්, මොහුට වරදට සුදුසු දඬුවම් පමුණවව්’ යයි රජු අණ කළ විට ඔබ දඬුවම් ලැබීමේ බියට පත්වන්නට ඉඩ තිබුණි. එසේ වී නම් ඔබ වහන්සේට මෙබඳු සම්පතක් කොයින් ලැබෙන්නේ ද? මේ සම්පත් නුඹ විසින් ලබන ලද්දේ මා නිසා නොවේ ද?” මෙසේ ඇදුරුතුමා රජතුමාට කරුණු අවබෝධ කරවීය. පිරිවරා සිටි ඇමතිවරු පවා ඇදුරුතුමාගේ කථාව අසා “දේවයන් වහන්ස! මේ සියලු ඉසුරු නුඹ වහන්සේගේ ගුරුතුමාටම අයිතියැ” යි කීවාහුය.

ඒ අවස්ථාවේ රජතුමා ගුරුතුමාගේ ගුණ සලකා, “ඇදුරුතුමනි, මේ සියලු සම්පත් ඔබට දෙමි; රාජ්‍යය පිළිගන්න” යැයි කීවේය. ගුරුතුමා “මහරජතුමනි! මට රාජ්‍යයෙන් අර්ථයක් නැතැ” යි එය ප්‍රතික්ෂේප කළේය. රජතුමා (මිනිසුන්) තක්සලාවට යවා ඇදුරුතුමාගේ අඹුදරුවන් ගෙන්වාගෙන, මහත් සම්පත් දී, ඔහු ව තම පුරෝහිත බමුණා කොට පිය තනතුරෙහි තබා, ඔහුගේ අවවාදයෙහි පිහිටා දානාදී පින් කොට දෙව්ලොව උපන්නේය.

බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා චතුරාර්ය සත්‍යය ප්‍රකාශ කළ සේක. සත්‍ය දේශනාව අවසානයෙහි (එම) කිපෙනසුලු භික්ෂුව අනාගාමී ඵලයෙහි පිහිටියේය. බොහෝ දෙනා සෝවාන්, සකදාගාමී, අනාගාමී ඵලවලට පත් වූහ. “එකල රජතුමා නම් දැන් මේ ක්‍රෝධ බහුල භික්ෂුව විය. ඇදුරුතුමා වනාහි මම ම වූයෙමි” යි වදාළ සේක.

දෙවන වූ තිලමුට්ඨි ජාතක වර්ණනාව නිමි.